මේ ආත්ම භාවයේම උතුම් සෝවාන් මාර්ගඵල ලාභියකු වීමට නම්…..

723

වර්තමාන අප ජීවත්වන සමාජයේ බෞද්ධයන් බහුතර පිරිසක් උතුම් ධර්මාවබෝධය මේ ආත්මභාවය තුළදීම උදාකර ගැනීමට බලවත් කැපකිරීම් කරන බව රහසක් නොවේ. එවැනි සත්පුරුෂයන් අව්‍යාජයෙන්ම තථාගත ශ‍්‍රී සද්ධර්මය තම නැණ පමණින් උතුම් ගුරු ඇසුර තුළින් ප‍්‍රායෝගිකව පරිහරණය කළ යුත්තේය.

 මේ මනුෂ්‍යලෝකයේ උතුම් මිනිසත් බව අප ලබා ඇත්තේ අතීත ජන්මයන්හි අප කළ උසස් පුණ්‍යකර්ම කුසල බලයෙනි. එමනිසා, ශ‍්‍රී ගෞතම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය මේ ලෝකයේ පවතින බුද්ධෝත්පාද කාලවකවානුවක මිනිස් ආත්මයක උපතක් ලැබීම අපේ උසස්ම භාග්‍යවන්තකම හෙළිදරව් කරයි. එවැනි දුර්ලභ උතුම් අවස්ථාවක් නිකරුණේ මගහැරී යෑමට ඉඩහැරීම සැබෑ බෞද්ධ පිංවතකුට සිදුවන මහත් වූ අලාභයකි.

 මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකරගෙන සෝතාපන්න වීමට අවශ්‍ය නම්, එම පිංවතා හෝ පිංවතිය පහත කරුණු 04 තම ප‍්‍රායෝගික වර්තමාන ජීවිතයට අනුගත කර ගතයුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක.

 1. කල්‍යාණ මිත‍්‍ර සේවනය

 2. සද්ධර්ම ශ‍්‍රවණය

 3. යෝනිසෝමනසිකාරය

 4. ධම්මානුධම්ම ප‍්‍රතිපදාව යන උතුම් කාර්යයන් 04 යි, ඒ.

 තථාගතයන් වහන්සේ සියලූ දෙව් මිනිසුන්ගේ සංසාර විමුක්තිය පිණිස දේශනා කළ ශ‍්‍රී සද්ධර්මය සමස්ත වශයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණි මිත‍්‍ර සේවනය හා එම උපකාර හා මඟපෙන්වීම මතම යැයි බුදුරජුන් දේශනා කළ සේක. අපට පවිතුරු ධර්මය අසන්නට ලැබෙන්නේ කල්‍යාණ මිත‍්‍රයන්ගෙන්මයි. අපේ මේ මිනිස් ලෝකයට පහළ වුනු උසස්ම කල්‍යාණ මිත‍්‍රයා වන්නේ කථාගතයන් වහන්සේමය. නමුත්, මේ වනවිට ඒ උත්මයාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ ඇති සේක.

 නමුත්, තථාගතයන් වහන්සේ විසින්ම ස්වකීය ගුරු තනතුරේ තබාගන්නා ලද්දේ උන්වහන්සේ අවබෝධකොටගත් ශ‍්‍රී සද්ධර්මයමයි. ඒ උත්තරීතර සද්ධර්මය තවම පිවිතුරුව අප ජීවත්වන ලෝකයේ පවතී. එපමණක් නොව, ඒ ධර්මය ප‍්‍රගුණ කරමින් ඉතා උසස් ආධ්‍යාත්මික තත්ත්වයන්ට හා අවබෝධයට පත්වී ඇති ගිහි පැවිදි උතුමන් වර්තමාන ලෝකයේ දිවිගෙවන බව නොරහසකි.

 අපි බුද්ධිමත්ව එකිනෙකාගේ පෞද්ගලික මතවාද වලට නොරැුවටී, නිවැරදි බුද්ධ දේශනා හදාරමින්, ඒ උතුම් ධර්ම කරුණු අවංකව ජීවිතයට අනුගත කර ගනිමින් අපේ චින්තනය මෙහෙයවීමයි අපි කළයුතු වන්නේ. එවිට අපිට යෝනිසෝමනිසිකාරය නැමැති ඊළඟ කාරණය ඇති කරගන්න හැකි වෙනවා.

 යෝනිසෝමනිසාකාරය යනු සැබෑ බුද්ධ භාෂිතයට අනුකූලව නුවණින් විමසීමේ හැකියාවයි. එම හැකියාව ප‍්‍රගුණ කරමින් ධර්මානුකූලව තමන්ගේ සිත, කය හා වචනය යන තුන්දොර මෙහෙයවීම ධම්මානුධම්ම ප‍්‍රතිපදාව ලෙස දැක්විය හැකිය. කල්‍යාණ මිත‍්‍රයන්ගේ ඇසුර ලබාගැනීම වර්තමාන යුගයේ අපට දුෂ්කර වුවත්, ඉතාම උසස් සිල්වත්, ගුණවත් පාරමිතා පුරන බෝධිසත්ව ගුනෝපේත භික්‍ෂූන් වහන්සේලා විසින් රචිත දහම් පොත් පත් පරිශීලනය කිරීමද කල්‍යාණ මිත‍්‍ර සේවනයක්ම වේ. අප චිත්ත සන්තාන තුළ වසර කෝටි ගණන් තිස්සේ අවිiාව හා තණ්හාව මූලික කර ගත් කෙළෙස් ධර්මතා මේ භව ගමන මේ දක්වාම ඉදිරියට ගෙනා බව ධර්මානුකූලව අපි පිළිගත යුතුයි. තුණුරුවන් පිළිබඳව අචල ශ‍්‍රද්ධාව අපව උතුම් නිවන් මග තුළ ඉදිරියට රැුගෙන යයි. සැබෑම ධර්මානුසාරි හා ශ‍්‍රද්ධානුසාරි ශ‍්‍රාවකයා ධර්මය තුළින් තථාගතයන් වහන්සේව නොබෝ කලකින්ම ස්වකීය ප‍්‍රඥාව තුළින් දකින්නේය.

 විශ‍්‍රාමික පාඨශාලාචාර්ය
 එස්. එම්. විජයරත්න
 බිංගිරිය

 සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment