සමෘද්ධිමත් රටක් වෙනුවෙන් සියලු‍ රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නවා – ජනපති තායිලන්ත අග්‍රාමාත්‍ය සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියයි

53

දෙරටේම අභිවෘද්ධිය වෙනුවෙන් ඵලදායී ලෙස එක්ව කටයුතු කළ හැකියි – තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින්

ශ්‍රී ලාංකික ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීම වෙනුවෙන් ලොව සියලු‍ රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා සමඟ පෙරේදා (03දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව නායක දෙපළ සහභාගී වූ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමිනි. මෙහිදී වික්‍රමසිංහ මහතා මෙසේද ප්‍රකාශය කළේය.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) අත්සන් කිරීම ආසියාන් හවුල්කරුවකු සමඟ ශ්‍රී ලංකාව අත්සන් කරන දෙවන නිදහස් වෙළෙඳ ගිවිසුම වන අතර පළමු ගිවිසුම සිංගප්පූරුව සමඟ අප අත්සන් තැබුවා. මෙම ගිවිසුම ඇති කර ගැනීමේදී දෙරටේම රජයන් කැපවීමෙන් සහ කාර්යක්ෂම කටයුතු කරනු ලැබුවා. මෙය අපගේ ආර්ථික හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක් බව කිවයුතුයි. නිදහස් වෙළෙඳ ගිවිසුම මඟින් දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ඉහළ නංවනු ඇතැයි අපේක්ෂා කරනවා. මීට අමතරව, අප දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සඳහා ගුවන් සේවා ගිවිසුම යාවත්කාලීන කර ඇති අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් කරනු ලැබූවා. මෙම ගිවිසුම් දෙකම දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක හුවමාරුව වැඩිදියුණු කිරීමට ඉවහල් වනු ඇත.

සමෘද්ධිමත් රටක් වෙනුවෙන් සියලු‍ රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නවා - ජනපති තායිලන්ත අග්‍රාමාත්‍ය සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියයි

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරට අතර සංචාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් අන්‍යෙන්‍ය පදනම මත වීසා රහිතව සංචාරය කිරීම සඳහා පහසුකම් සැලසීමේ ගිවිසුමකට එළැඹීම පිළිබඳව සලකා බැලීමටද අපි එකඟ වුණා. මෙම වැඩපිළිවෙළ කඩිනමින් අවසන් කිරීමට අපගේ නිලධාරීන් කටයුතු කරනු ඇතියි. දෙරට අතර ආරක්ෂක කටයුතුවලට අදාළ සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳවද අප ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක නිරත වූ අතර ඉදිරියේදී දෙරට අතර ආරක්‍ෂක අංශයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීමටද අපේක්ෂා කරනවා.විශේෂයෙන්ම මිනිස් ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම ඇතුළු අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දෙරටේ ආරක්ෂක ආයතන අතර තොරතුරු සහ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම වැදගත් වෙනවා. බිම්ස්ටෙක්, ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමය, ආසියානු සහයෝගීතා කතිකාව සහ ආසියාන් කලාපීය සංසදය වැනි කලාපීය සංසදවලදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය මනා සහයෝගයකින් කටයුතු කිරීම පිළිබඳවද අප සාකච්ඡා කළා. ඉන්දියානු සාගර කලාපයේ හවුල්කරුවන් ලෙස අප තායිලන්තය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

මාගේ රජයේ විදේශ ප්‍රතිපත්තිය ගිනිකොනදිග ආසියාව සමඟ ආර්ථික ඒකාබද්ධතාව ශක්තිමත් කර ගැනීමයි. ආසියාවේ සහ පැසිෆික් කලාපයේ රටවල ආර්ථිකයන් 15ක් සහ ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සහ ජනගහනයෙන් 30%ක් ආවරණය වන පරිදි ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වන කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයෙහි කොටසක් වීමටද අප කැමැත්තෙන් පසු වෙනවා. ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීමට පටන් ගන්නා අවස්ථාවේ ප්‍රකෘතිමත්වීම සහ වර්ධනය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ගොඩනඟාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ආසියාව සමඟ ආර්ථික පරිවර්තනය හා ඒකාබද්ධතාව පිළිබඳ ඉතා වැදගත් ගමනක් ආරම්භ කර තිබෙන අතර එහිදී තායිලන්තයේ සහයෝගය ද අප බලාපොරොත්තු වනවා.

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින් මහතා

සමෘද්ධිමත් රටක් වෙනුවෙන් සියලු‍ රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නවා - ජනපති තායිලන්ත අග්‍රාමාත්‍ය සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියයි

අප දෙරට අතර පවතින ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා මත විශේෂයෙන්ම ථෙරවාදි බුදු දහම මත පදනම්ව අපගේ ශක්තිමත් සහ සමීප සබඳතා එමඟින් යළි යළිත් තහවුරු කෙරුණා. ඒ වගේම අප දෙරට අතර අත්සන් තැබුණු නිදහස් වෙළෙඳ ගිවිසුම අනුව ඉදිරියේදී දෙරට අතර වෙළෙඳාම සහ ආයෝජන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇති බව මා විශ්වාස කරනවා.

නව ගුවන් සේවා ගිවිසුම මඟින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංචාරක සහ සැපයුම් සේවා වැඩි දියුණු කරනු ඇතියි. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය සහ තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ ධාරිතා ගොඩනැඟීම, තොරතුරු සහ තාක්ෂණය බෙදාගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම තවත් ඉදිරි පියවරක් ලෙස මෙම ගිවිසුම හැඳින්විය හැකියි.වීසා නොමැතිව දෙරට අතර ගමන් කිරීමට අවස්ථාව සැලසීම පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳවද දෙපාර්ශ්වය තවදුරටත් සාකච්ඡා කරනවා.

පසුගිය වසරේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුතුරාජා සහ සක්සුරින් නැවත තායිලන්තයට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් පහසුකම් සැලසීම තායිලන්ත රජය විසින් අගය කරනු ලබනවා. අනෙකුත් ඇතුන් දෙදෙනාද අපගේ මිත්‍රත්වයේ සහ සමීප සබඳතාවේ සංකේතයක් වන බැවින් ඔවුන් හොඳින් රැකබලා ගැනීමට ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිබඳවද අපි ස්තූතිවන්ත වෙනවා. දෙරටේම ජනතාවගේ අභිවෘද්ධිය සඳහා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්තයට සහ ශ්‍රී ලංකාවට ඵලදායී ලෙස එක්ව කටයුතු කළ හැකි බව මගේ විශ්වාසයයි.

advertistmentadvertistment
advertistmentadvertistment