නිවසට වාසනාව ගෙන එන්න ප්‍රධාන දොර හරියට තබන්න

1962

“පදෙ පදෙ කෘත ශ්‍රේෂ්ඨං ද්වාරං සඵල දායකම්” යනුවෙන් නිවසක සුබ පාදයක් පාදයක් පාසා කරන ලද උතුම් ද්වාරය අනගි සුබපල ප්‍රදානය කරන බව වාස්තු විද්‍යා පූර්වාචාරීන් විසින් දක්වා ඇත. ඒ අනුව නිවසක ප්‍රධාන දොර තැබීම ඉතාම නිවැරදිව කළ යුතුය. එහි වාස්තු දෝෂ සෘජුවම බලපාන්නේ ගෘහ මූලිකයාට බැවින් විශේෂයෙන් ප්‍රධාන දොර නිවැරදිව තැබීමෙන් ගෘහ මූලිකයා ද ශක්තිමත් වී නිවසට සෞභාග්‍ය උදාකර ගත හැකිවෙයි. මෙහිදී ප්‍රධාන දොර සුබ පාදයට හසු වන සේ නිවැරදි ස්ථානයක පිහිටුවීම මූලික වශයෙන් කළ යුතුය. එම නිවැරදි ස්ථානය තෝරා ගැනීම සඳහා ප්‍රධාන දොර තබන අත්තිවාරම කොටස් 09 කට බෙදාගත යුතුය. දොර උතුරු දිශාවට තබන්නේ නම් බිත්තිය වයඹ දිසාවේ සිට 3, 4 පාදවලට අයත් වන සේ දොර තැබිය යුතුය. දොර නැගෙනහිර දිශාවේ තබන්නේ නම් ඊසාන කෙළවරේ සිට 3, 4 පාද වලට හසුවන ලෙස ද, දොර දකුණු දිශාවට තබන්නේ නම් ගිනිකොණ කෙළවරේ සිට 3, 4 පාද වලට හසුවන සේ තැබිය යුතුය. දොර තබන්නේ බටහිර දිශාවට නම් නිරිත කෙළවරේ සිට 3, 4 පාදවලට හසුවන සේ දොර තැබිය යුතුය. ජයන්ත පාදය හා මහේන්ද්‍ර පාදය නමින් හඳුන්වනු ලබන එම ස්ථානවල දොර තැබූ විට ධන ධාන්‍ය ආදී සම්පත් ලැබ අසල්වැසියන්ගේ උදව් උපකාර හිමි කර ගනිමින් ගෞරවනීය ලෙස ජීවත්වීමේ හැකියාව ලැබේ.

ප්‍රධාන දොරේ උළුවස්ස අනෙක් දොර උළුවහුවලට වඩා විශාල විය යුතු අතර ගෘහ මූලිකයාට හිස පහත් නොකර ඇතුළුවිය හැකි උසකින් යුක්ත විය යුතුය. දොරෙහි පළල උළුවස්සේ උසින් භාගයකට සමාන ලෙස තිබීම වඩාත් සුබදායකය. ප්‍රධාන දොර ඉබේ වැහෙන ඇරෙන එකක් වීම ගෘහ මූලිකයාට බරපතළ අසුබ ගෙන දෙන කාරණයකි. නිවසේ ප්‍රමාණයට නොගැළපෙන ලෙස විශාල ලෙස හෝ කුඩා ලෙස හෝ ප්‍රධාන දොර තැබීම ද අසුබදායකය.

ධ්වජ ආය වර්ගයේ නිවසක් නම් ප්‍රධාන දොර නැගෙනහිර දිශාවෙන් ද (අනෙක් දිශාවන් ද අසුබ නැත) සිංහ ආය වර්ගයේ නිවසක් නම් ප්‍රධාන දොර උතුර, නැගෙනහිර හෝ දකුණු දිශාවලින්ද වෘෂභ ආය වර්ගයේ නිවසක් නම් ප්‍රධාන දොර නැගෙනහිර දිශාවෙන් ද, ගජ ආය වර්ගයේ නිවසක් නම් ප්‍රධාන දොර උතුරු දිශාවෙන් හෝ දකුණු දිශාවෙන්ද තැබීම සුබදායක බව වාස්තුවිද්‍යා පූර්වාචාරීන්ගේ මතයයි. නිවසේ ප්‍රධාන දොර අනු දිශාවකට මුහුණ ලා තිබීම කෙසේවත් සුබ නැත.

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු අශුභතා දහ අටක්ද අෂ්ඨ දශ වේධ දෝෂ නමින් වාස්තු විද්‍යාවේ දැක්වේ. පැරණි සෘෂිවරුන් විසින් පෙන්වා දී ඇති මෙම අසුබ කරුණුවලට නිවසේ ප්‍රධාන ද්වාරය එල්ල වී තිබීමද නිවැසියන්ට මහත් පීඩා ඇති කරන්නකි.

බ්‍රහ්මවේධදෝෂය

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපස බිත්තියේ හරි මැදින් එනම් බ්‍රහ්ම පාදය දර්ශනය වන පරිදි තැබීම බ්‍රහ්ම වේධ දෝෂයයි. මෙමගින් නිවැසියන්ට කීර්ති ප්‍රශංසා අහිමි වන අතර සොර සතුරු බිය ඇති විය හැකිය.

වෘක්ෂවේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරටුවට එල්ල වන සේ අතු පතර විහිදුණු විශාල ගසක් පිහිටීම වෘක්ෂ වේධ දෝෂයයි. එමඟින් නිවසට ආලෝකය නොලැබීම, සුළඟින් හානි සිදුවීම මෙන්ම මෙම දෝෂයෙන් ගෙහිමියාට හා දූ දරුවන්ට හානි සොර සතුරු කරදර, සතුන්ගෙන් හානි, දියුණුවට බාධා වැනි අහිතකර ප්‍රතිඵල ඇති වේ.

සුසාන වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට සුසාන භූමියක්, ආදාහනාගාරයක්, සොහොන් කොත් ආදිය පිහිටීම සුසාන වේධ දෝෂය යි. මෙම දෝෂය නිසා ධන විනාශය, රෝග පීඩා, සිත්තැවුල්, නිවස තුළ හා අසල්වැසියන් සමග සාමය සමගිය බිඳ වැටීම, ගෘහ මූලිකයා නිවසේ නොරැඳීම වැනි දේ සිදු විය හැකිය.

මාර්ග වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරට එක එල්ලේම පාරක වංගුවක් හෝ හන්දියක් පිහිටා තිබීමෙන් ගෙහිමියාට කරදර බාධක, විපත්, රාජ බය, සොර බය, මරණ බය ආදිය ඇතිවිය හැකිය.

කෝණ වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරට කෙළින් වෙනත් නිවසක මුල්ලක් පිහිටීම හෝ මංසන්ධියක්, නගර සන්ධියක්, ග්‍රාම සන්ධියක් පැවතීම මෙම දෝෂයට අයත් වේ. එයින් හදිසි අනතුරු, සොර සතුරු කරදර, භූත ප්‍රේත දෝෂ, බලාපොරොත්තු කඩවීම වැනි අසුබ යෙදේ.

පංක වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට පාලු පතලක්, ගොහොරු වළක්, අපිරිසිදු මඩ වළක් පිහිටා තිබීමෙන් මෙම දෝෂය යෙදේ. මෙම දෝෂය ඇති විට නිවැසියන්ට නිතර රෝග පීඩා, සිතට අසහනය, සමගියට බාධා, ගෞරවය කීර්තිය නැති වීම ආදිය සිදු වේ.

ස්ථම්භ වේධ දෝෂය

ප්‍රධාන දොරට ඉදිරියෙන් කණුවක් පිහිටා තිබීමෙන් ඇතිවන මෙම දෝෂය නිසා නිවසේ ස්ත්‍රීන් නොමනා ක්‍රියාවන් ට පෙළඹිය හැකිය. නිවස තුළ සාමය, සමගිය, යස ඉසුරු දුරු වන බවද සොර සතුරු බිය දඬුවම් ආදිය විඳීමට සිදුවන බව ද වාස්තු විද්‍යාවේ දැක්වේ.

වර්චස්ථාන වේධ දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට වැසිකිළි, කැසිකිළි, කුණු කසළ දමන ස්ථාන ආදී අපිරිසිදු ස්ථාන පැවතීමෙන් නිවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීම, සර්පයන් වැනි සතුන්ගෙන් බිය, සොර සතුරු බිය සහ සාමය බිඳ වැටීම් ආදිය ඇති වේ.

ජල නිර්ගමන වේධ දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට බිත්තිය මෙන් තුන් ගුණයකට නුදුරින් ගලා බස්නා ඇළක් දොළක් වැනි දිය පාරක් පැවතීම ජල නිර්ගමන වේධ දෝෂයයි. මෙබඳු පිහිටීම් ඇති විට නිවසේ අයට ලෙඩ රෝග, වස්තු විනාශ වීම, මැසි මදුරු උවදුරු, ජල ගැලීම් වැනි දේ ඇති විය හැකිය.

රජක වේධ දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට රෙදි සේදීම සඳහා භාවිතා කරන තොටමුණක්, පොදු ළිඳක් වැනි ස්ථානයක් වැනි පිහිටා තිබීම ද අසුබය නිවැසියන්ට නිලතල තනතුරු ලබා ගැනීමට අපහසු වීම, සතුරු කරදර, සෞඛ්‍ය පිරිහීම, පෞද්ගලිකත්වයට හා කීර්තියට හානි වීම යන අසුබ යෙදේ.

රාජ වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට රාජ්‍ය ආයතන, රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ නිවාස, කාර්යාල, හමුදා මූලස්ථාන ආදිය පැවතීම රාජ වේද දෝෂයයි. මෙමගින් රාජ බය දණ්ඩබය සොර සතුරු කරදර හදිසි විපත් අනවශ්‍ය සබඳතා දූ දරුවන්ගේ වැඩකටයුතුවලට බාධා ඇතිවීම මෙන්ම නිවැසියන් තුළ ඊර්ෂ්‍යාව ක්‍රෝධ සහිත සිතිවිලි ද ඇති වේ.

කුම්භකාර වේධ දෝෂය

උළු ගඩොල්, වළං පෝරණු නිවස ඉදිරිපිට පිහිටීමෙන් මෙම දෝෂය යෙදේ. එබඳු නිවැසියන්ගේ ගේ දොර දේපළ පිළිබඳ ආරවුල් නීති ප්‍රශ්න සොර සතුරු බිය බලතල අහිමි වීම සෞඛ්‍යට සෞඛ්‍යට හානි ආදිය ඇතිවේ.

කූප වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොර ඉදිරිපිට ළිඳක් පිහිටා තිබීම මෙම දෝෂයට අයත් වේ. මෙම දෝෂය නිසා නිවැසියන්ට මානසික අසහන මීමැස්මොරය වැනි කල් පවතින රෝගාබාධ, සාමය සමගිය බිඳ වැටීම, නින්දා අපහාස විඳීමට සිදුවීම වැනි දේ සිදු වේ.

තිරශ්චීන වේධ දෝෂය

ගවගාල්, කුකුළු කොටු, බලු කූඩු වැනි දේ ප්‍රධාන දොර ඉදිරිපිට පිහිටීමත්, ගව

ඝාතකාගාර, මස් මාළු අලෙවිසල් ආදිය නිවස ඉදිරිපිට පැවතීමත් මෙම දෝෂයට අයත් වන අතර එමගින් නිවැසියන්ට ලෙඩ රෝග මානසික බිඳවැටීම් නීති ගැටලු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම වස්තු විනාශ වීම හදිසි විපත් ආදිය ඇතිවන බව ශාස්ත්‍රීය නියමයයි.

දේවතා වේධ දෝෂය

ප්‍රධාන දොරට එල්ලවන සේ බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා එවැනි මන්දිර පිහිටීමෙන් දේවතා වේද දෝෂය යෙදෙන අතර එවිට නිවැසියන්ට වස්තු විනාශය බලාපොරොත්තු රහිත කරදර බාධක මානසික ශක්තිය හීන වීම ආදී දෝෂ ගණනාවක් ඇති වෙන බව වාස්තු විද්‍යාවේ දැක්වේ.

ද්වාර වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරට අභිමුඛව බිත්ති උසින් දෙගුණයකට වඩා කවෙනත් නිවසක ප්‍රධාන දොර තිබීමෙන් ඇති වන මෙම දෝෂය නිසා නිවැසියන් ට කීර්ති ප්‍රශංසා උසස් අයගේ සබඳතා අහිමි වන අතර සොර සතුරු බිය ඇස්වහ, කටවහ වැනි දේ ඇති වේ.

ම්ලේච්ඡ වේධ දෝෂය

ප්‍රධාන දොර ඉදිරිපිට අහිගුණ්ඨික, පහත් අදහස් ඇති, පහත් වෘත්තීන්වල යෙදෙන අය හා අංශභාග වැනි රෝගාබාධ, මානසික ආබාධ ඇත්තන් සිටීමෙන් යෙදෙන මෙම දෝෂය නිසා නිවැසියන්ගේ දියුණුව අඩාල වීම මානසික ආතතිය තනතුරු අහිමි වීම සබඳතා බිඳ වැටීම ධන හානිය ආදිය ඇති වේ.

ගණිකා වේධ දෝෂය

නිවසක ප්‍රධාන දොර ඉදිරිපිට ගණිකා මඩමක් තිබීම නිසා මෙම දෝෂය යෙදේ. මෙමගින් නිවැසියන්ගේ ආත්ම ගෞරවය පිරිහෙන බව ද වස්තු විනාශය දූ දරුවන්ගේ පරිහානිය අකල් මරණ පවුලේ අසමගිය ඇති වන බවද ශාස්ත්‍රීය නියමයයි.

දැරණියගල
කපිල ඉන්ද්‍රික ගුණදාස
ජ්‍යොතිර්වේදී වාස්තුවිද්‍යා උපදේශක විදුහල්පති දේශමාන්‍ය දේශබන්ධු ආචාර්ය උපාධි (ඉන්දියා)
දු.ක 0768248000

advertistmentadvertistment
advertistmentadvertistment