කොටහේන දීපදුත්තමාරාම පුරාණ තායි විහාරයේදී අගමැති අතින් නිල වශයෙන් වෙසක් සතිය ඇරැඹෙයි

125

කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේදී ඊයේ (02දා) නිල වශයෙන් වෙසක් සතිය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් සිදු විය. එහිදී අග්‍රාමාත්‍යවරයා බෞද්ධ ධජය එසවීමෙන් වෙසක් සතිය නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය.

බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමෙන් අනතුරුව 1885 දී ප්‍රථමයෙන් ඔසවනු ලැබුයේ මෙම කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි විහාරස්ථානයේදී වීම විශේෂත්වයකි. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

“1885 මාර්තු 27 වැනිදා ගැසට් පත්‍රයකින් වෙසක් දිනය නිවාඩු දිනයක් කිරීම නිසා බෞද්ධ ආරක්ෂක සභාව මඟින් වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීමට දසදෙනකුගෙන් යුත් කමිටුවක් පත්කළා. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, දොන් කරෝලිස් හේවාවිතාරණ, ඒ.පී.ධර්ම ගුණවර්ධන, විලියම් ද ආබ්‍රේව්, පී.ඩී. ගුණවර්ධන, චාල්ස් ද සිල්වා, එන්.එස්. ප්‍රනාන්දු, පීටර් ද ආබ්‍රේව්, විලියම් ප්‍රනාන්දු ඇතුළු පිරිස එයට ඇතුළත් වුණා.

එම කමිටුවේදී 1885 අප්‍රේල් 28 දා උදේ කොළඹ කොටහේනේ දීපදුත්තමාරාමයේදී බෞද්ධ කොඩියක් එසවීමට තීරණය වුණා. කොටහේනේදී ඔසවනු ලැබූ මෙම බෞද්ධ කොඩිය දශක 15 කට ආසන්න කාලයක් ලෝකය වටේ අදටත් එසැවීම සුවිශේෂී කරුණක්. මේ කමිටු තීරණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූ අතර ඕල්කට්තුමාගේ සහයෝගයෙන් බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට ලැබුණා. මෙම පුණ්‍ය භූමිය පූජා භූමියක් බවට ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවට රජය වෙනුවෙන් ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක වස්කඩුවේ මහින්දවංශ නාහිමි ඇතුළු මහා සංඝරත්නය, තායිලන්ත තානාපති පොජ් හාන් පෝන්, බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, සරත් වීරසේකර, බෞද්ධ සංවිධාන නියෝජිතයෝ, සිසු දරුවෝ සහ දායක දායිකාවෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment