නරක පවුලටලු! හොඳ ආණ්ඩුවට රාජපක්‍ෂ පවුල ගැන නාමල්ගේ විවරණය

912

සියලු විරෝධතාවල හා වැඩවර්ජනවල ප්‍රමුඛ සටන් පාඨය ගෝඨා ගෝ හෝම් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන රාමුවක් ඇති රටක එය යථාර්ථයක් නොවන බව බොහෝ දෙනා දැන සිටියහ. ඡන්දයකින් බලයට පත්වූ ජනාධිපතිවරයෙක් ආපසු ධූරයෙන් ඉවත් කළ හැකි ආකාරය ද ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක්ම වී ය. ගෝඨා ගෝ ගමෙහි වාද, සංවාද, විවාදවලට පැමිණි ඇතැම් නීතිවේදීන් උද්ඝෝෂකයන්ට ඒ පිළිබඳ ඉතා හොඳින් පැහැදිලි කර දුන්හ. එය කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළින් ගෙන එන දෝෂාභියෝගයක් ඔස්සේ බව තරුණ නීතිවේදීන් පැහැදිලි කර දුන්හ. එසේ නම් මුලින්ම යැවිය යුත්තේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා බව ඔවුහු හොඳාකාරවම තේරුම් ගෙන තිබිණි. රාජපක්ෂවාදී නොවන සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කොට ඒ තුළින් ගෙන එන දෝෂාභියෝගයක් ඔස්සේ ජනාධිපතිවරයා ඉවත් කළ හැකි බව යථාර්ථය විය.

මේ අතරතුර රාජපක්ෂ පාලනය අවසන් කොට ආණ්ඩුවේ හා විපක්ෂයේ සිටින විවිධ පක්ෂවල මන්ත්‍රීවරු එක්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්නට යෝජනාවන් කීපයක් ද ඒ වන විටත් පාර්ලිමේන්තුව හමුවට පැමිණ තිබිණි. ඒ පිළිබඳව මහනායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන්ගේ යෝජනා කිහිපයක් ද විය.

මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කවර හෝ කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි නම් ඔවුන්ට ආණ්ඩුවක් සකස් කර ගැනීම සඳහා අවසර දීමට තමන්ගේ අකමැත්තක් නැති බවය.

● ස ජ බයෙන් පිරිසකුත්
සාකච්ඡාවට ඇවිල්ලා…

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී පාර්ලිමේන්තුව තුළින් තෝරාගන්නා වෙනත් අගමැතිවරයකු යටතේ සෙසු පක්ෂවල ද සහයෝගය ඇතිව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ එකොළහේ සන්ධානය ආරම්භ කළ සාකච්ඡා පසුගිය සතිය වන විට දී සාර්ථක වූ බවක් පෙන්නුම් කළේය. ඊට හේතුව සමගි ජන බලවේගයේ ද පිරිසක් එම සාකච්ඡාවලට එකඟත්වය පළ කර තිබීමයි.

විමල් වීරවංශ උදය ගම්මන්පිල ටිරාන් අලස් දයාසිරි ජයසේකර විජයදාස රාජපක්ෂ අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් සමග මේ සඳහා සාකච්ඡා කරන්නට පසුගිය සති අන්තයේ සමගි ජන බලවේගය ද පිරිසක් පැමිණියහ. හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, රාජිත සේනාරත්න ඇතුළු තවත් කිහිප දෙනෙක් එක්කාසු වූ මෙම සාකච්ඡාවේදී හෙළිදරව් වී තිබුණේ සජිත් ප්‍රේමදාස ඇතුළු කීප දෙනෙක් හැරුණු විට චම්පික, ෆොන්සේකා, රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු බහුතරයක් මේ සඳහා ඒ වන විට කැමැත්ත පළ කර ඇති බවකි. දෙපැත්තම සාකච්ඡා කර සුදුසු අගමැතිවරයෙක් යෝජනා කර ජනාධිපතිවරයාට බහුතරය පේනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟත්වය පළ කිරීමට මෙහිදී මූලික එකඟතා පළවී ඇත. ඒ අනුව පසුගිය සඳුදා වන විට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා විපක්ෂයේ ඇති සූදානම ද විමල් උදය වාසු දයාසිරි පාර්ශ්වයේ යම් යම් ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූහ.

ඒ අනුව විවිධ පාර්ශ්වයන් ගණනාවක් විසින් ඒ වන විටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී විපක්ෂය ඉල්ලන සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා සහාය වන ලෙස සුහද ඉල්ලීම් ගණනාවක්ම කර තිබිණි. ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ සහෝදරයන් හා නෑදෑයන් අතරද උණුසුම් සාකච්ඡාවක් ඇති වූ බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග ඔස්සේ කරුණු වාර්ථා විය.

● රාජපක්ෂ එලවන්න
සජිත් පාගමනක…

සමගි ජන බලවේගයට සම්බන්ධ එක්තරා පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟත්වය පළ කරමින් සාකච්ඡාවලට සහභාගි වූ අතර එහි නායක සජිත් ප්‍රේමදාස ඇතුළු තවත් පිරිසක් රජයට එරෙහි දැඩි විරෝධතාවයක නිරත වෙමින් සිටියහ. රාජපක්ෂ පාලනයට එරෙහිව ඔවුහු පාගමනක් සංවිධානය කළේ ඒ අතරතුරයි. මහනුවර දළදා මාළිගාවෙන් පටන් ගෙන කොළඹට පැමිණීමට සංවිධානය කර තිබූ එම පා ගමන ආරම්භ කළේ පසුගිය සඳුදා උදේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙනි. පළමුව දළදා වහන්සේගෙන් ද ඉන් පසුව මහා නායක හිමිවරුන්ගෙන් ද ආශිර්වාද ලබාගත් සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිස පෙරවරු නමයට පා ගමන ආරම්භ කළහ. හරින් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර කිංස් නෙල්සන්, නලින් බණ්ඩාර, හර්ෂ ද සිල්වා මෙම පා ගමනේ සංවිධායකයෝ වූහ.

පාගමන මහනුවර නගරය පසුකර පේරාදෙණියට එන්නට එදා දවසම ගතවිය. පළමු දිනය කෙටි දුරකින් අවසන් කිරීම ඔවුන්ගේ සැලසුම වූහ. පේරාදෙණියේ දී විශ්වවිද්‍යාල උගතුන් පිරිසක් විසින් පෙළපාලිය පිලිගනු ලැබූහ.

පේරාදෙණියේ නතර වී රාත්‍රී ආහාරය ගන්නා අතරතුර සජිත් ඔහුගේ හිතවතුන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන්නට වූහ.

“නායකතුමාට මහන්සි නැද්ද පයින් ගිහින්” ගයන්ත කරුණාතිලක එදින ගමන ගැන විමසමින් ඇසුවේය.

“මට මොන මහන්සියක්ද? මට මේවා හොඳට පුරුදුයි” සජිත් කීවේය. පේරාදෙනිය නගරයේ බොහෝ පිරිසක් එක්ව සිටීම නිසා ඔවුන්ට තමන් නොපෙනුන නිසා වාහනයකට නැඟ හිටගෙන ටික දුරක් ගමන් කිරීමට සිදුවූ ආකාරයද විස්තර කළේය.

“සුද්දෝ අපේ රට යටත් කරගත්තේ නුවර අල්ලලා. අපි නුවරින් පටන්ගෙන කොළඹට ඇවිත් රාජපක්ෂලා එලවනවා” නලින් බණ්ඩාර කීවේය.

“නුවර ඉඳලා කොළඹට එන පා ගමන් හැම එකක්ම විශේෂයි. නුවර ඉඳලා කොළඹට පා ගමන් ආපු හැම වතාවකදීම ආණ්ඩු පෙරළලා තියෙනවා. ජන බල මෙහෙයුමේ අපි ආපු හැටි මතකයි. එතකොට ගාමිණී අතුකෝරළ ජීවතුන් අතර. ගාමිණී පා ගමනේ මුල ඉඳලා අගටම අපිත් එක්ක ආවා” රාජිත සේනාරත්න කීවේ අසල සිටි තලතා අතුකෝරළ පෙන්වමිනි.

“අපේ අයියා පයින්ම කොළඹට ආවා වගේ නායකතුමත් පයින්ම කොළඹට එනවානේ” තලතා අතුකෝරළ මන්ත්‍රීවරිය අසන විට සජිත් කීවේ තමන් ජනතාව සමග පයින්ම කොළඹට එන බවය.

“අපි පා ගමන ආවාට පාර්ලිමේන්තුවේ තියෙන වැඩ කොටස අතපසු කරන්නේ නෑ. මම පාර්ලිමේන්තුවේ වෙන හැම දෙයක්ම බලාගෙන ඉන්නේ” මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

ස ජ බය මෙම පා ගමන සංවිධානය කර තිබුණේ සතියක් පුරා කොළඹ පැමිණ ඉරිදා කොළඹ රැස්වීමක් පවත්වා අවසන් කිරීමටය.

● ගෙදර නොයන්නයි
මහින්දට බලපෑම්…

මේ උණුසුම් අවස්ථාවේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් වීම හැර වෙනත් විකල්පයක් නැතැයි තර්ක කළ අය බොහෝය. ඒ හා සමානවම මහින්ද රාජපක්ෂ තවදුරටත් තනතුරේ තබා ගන්නට වෑයම් කළ පිරිස ද වැඩිය. පහුගිය දිනවල අපි ආණ්ඩුව ඇතුළේ දැක ගත්තේ මේ දෙපාර්ශ්වයේ ගැටුමයි.

අගමැති මහින්ද රාජපක්ෂ ද එක්තරා මට්ටමකින් දෙගිඩියාවක සිටියේය. ජන හඬට හිස නමමින් ගෙදර යනවද නැද්ද යන දෙගිඩියාව ඔහුට විය. එහෙත් ඔහුට හිතවත් තවත් පිරිසක් තර්ක කළේ ආණ්ඩුව පටන් ගත් දා පටන් බරපතළ විවේචන එල්ල කරමින් විපක්ෂය ලෙස කටයුතු කළ ජවිපෙය, පෙරටුගාමී සංවිධානය ඇතුළු නොයකුත් රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවන මෙම විරෝධතා ව්‍යාපාරවලින් මුළුමහත් ශ්‍රී ලාංකික පොදුජනතාවගේ හඬ නියෝජනය වන්නේ ද කියාය. පුළුල් ජනතා වරමකින් පත්වූ පොදුජන ආණ්ඩුවක් මෙවන් අන්තවාදී පිරිසකගේ අවස්ථාවාදී ක්‍රියාදාමයක් හරහා ගෙදර යා යුතු දැයි ඔවුන් තර්ක කර සිටියහ.

එම තර්ක විතර්ක නිසා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ හිතත් චංචල විය.

මේ සම්බන්ධයෙන් පොහොට්ටුවේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන්ගේ මතය විමසා බැලීමට මහින්ද අගමැතිවරයාට අවශ්‍ය විය. ඔහු කංචන ජයරත්නට කතා කරමින් වහාම ලංකාව පුරාම සිටින පළාත් පාලන නියෝජිතයන් ගෙන්වන හමු දෙකක් සංවිධානය කරන්නට නියම කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංවිධානය වෙනමත් සෙසු ප්‍රාදේශීය සභා හා මහ නගර සභාවල සභාපතිවරුන් හා මන්ත්‍රීවරු වෙනමත් අගමැතිවරයාට හමුවන්නට රැස්වීම් දෙකක් සංවිධානය කළේය.

පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සංවිධානය අගමැතිවරයා හමු වූයේ ඉකුත් අඟහරුවාදා දහවල් ය.

මුලින්ම රටේ පවතින තත්ත්වය විස්තර කරමින් සාකච්ඡාව ආරම්භ විය. මේ දුෂ්කර අවස්ථාවේ රජය කුමක් කළ යුතු දැයි සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවත්වන්නට තීරණය කළ බව අගමැතිවරයාගේ පැත්තෙන් කියවිණි.

“තත්ත්වය සාකච්ඡා කළාට කමක් නෑ අගමැතිතුමා. හැබැයි මේ ටික දෙනෙක්ගේ ඉල්ලීම්වලට කන්දීලා ඔබතුමා ඉල්ලා අස්වෙන්න නම් එපා…” පළාත් සභා මන්ත්‍රීවරු කෑ ගසන්නට වූහ. මේ අතර එක් අයකු නැඟිට මහින්ද රාජපක්ෂ මහතා මේ අවස්ථාවේ ඉල්ලා අස්විය යුතු නැතැයි කියා යෝජනාවක් ගෙනාවේ ය. මුළු පළාත් සභා මන්ත්‍රී සංසදයම ඒකත් ඡන්දයෙන් එම යෝජනාව සම්මත කළහ. එම යෝජනාව සියලු දෙනාගේම අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත භාර දීමට ද ලිපියක් සකස් කෙරිණි.

“අගමැතිතුමනි… රට දුෂ්කර අවස්ථාවකට මුහුණ දුන්න බව ඇත්ත. විදුලිය පැය 13 කැපුවා. රටේ ගෑස් නැති වුණා. පෝළිම් හැදුනා. පෙට්‍රල් ඩීසල් භූමිතෙල් නැතිවුණා. මිනිස්සු පෝළින් හැදිලා මහ පාරට බැස්සා. මිනිස්සු පන්න පන්න ආණ්ඩුවට බැන වැදුනා. ඒ ඔක්කොම ඇත්ත.

හැබැයි දැන් මේ පෝළිම් ප්‍රශ්නය ඉවරයි. ලයිට් කැපිල්ල අඩු කරල රටේ ඉන්ධන ගෑස් සැපයුම සුලබ කරලා බඩු මිල පාලනය කළානම් මේ තත්ත්වය පාලනය වෙනවා. හැමදාම තිබුණු උද්ඝෝෂණ සුළු පිරිසක් කරාවි. රට බේරාගත් නායකයා හැටියට ඔබතුමා පස්ස ගහන්න එපා.”

අගමැතිවරයා එම යෝජනාවට කන්දෙමින් අනතුරුව කතා කළේය. තමන් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැතැයි ඔහු පළාත් සභා මන්ත්‍රීවරු හමුවේ කියා සිටියේය.

බදාදා දිනයේ ද පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරු සහභාගි වූ තවත් රැස්වීමක් පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ මහර සභාපතිනි සුසීමා චාන්දනී, අත්තනගල්ල සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර, මොරටුව නගරාධිපති සමන්ලාල්, කැස්බෑව නගරාධිපති ඇතුළු පිරිසකි. ඒ වන විට ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟත්වය පළකර ඇතැයිද ඒ සඳහා අගමැතිවරයා ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ද කියා කතාවක් රට පුරා ප්‍රචාරය වී තිබිණ.

“අපි වැඩ කරන්නේ ඔබතුමා එක්ක… ඔබතුමා තමයි අපේ නායකයා. අපිව අතරමං කරන්න එපා…” සුසීමා චාන්දනී ද කීවාය.

“අපි ගුටිකෑවා දුක් වින්දා හිරේ ගියා මේ ආණ්ඩුව හදන්න. දැන් මේක කඩා බිඳ දමන්න අවස්ථාවාදීන්ට ඉඩ දෙන්න බෑ”..සමන් ලාල් කීවේය.

මේ අයුරින් බොහෝ අය කතා කරන්නට වූහ….

“නෑ නෑ ඔය ගොල්ල කලබල වෙන්න එපා. මම දන්නවා අපේ විරුද්ධවාදීන් තමයි අස්වෙන්න කියලා බල කරන්නේ… අපේ ඇතුලේ ඉන්න සමහරුත් විකල්ප හොයනවා. හැබැයි බහුතරය මට විරුද්ධ නැති බව මං දන්නවා. මම ඉල්ලා අස් වෙන්නෙත් නෑ. ජනාධිපතිතුමා මට එහෙම එකක් කියලත් නෑ… ඉදිරියටත් එහෙම එකක් එතුමා මට කියන්නේ නැති වේවි කියල මම හිතනවා. කලබල වෙන්න එපා. මම අස්වෙන්නේ නෑ….”

අගමැතිවරයා පැහැදිලිවම කියා සිටියේය…

මේ අතරතුර විජයානන්ද හේරත් එක්තරා ප්‍රවෘත්තියක් රැගෙනවිත් අගමැතිවරයාට දුන්නේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීමට කැමැත්ත පළ කළ ජනාධිපතිවරයා ඒ සඳහා සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන්ට සිකුරාදා හවස පැමිණෙන්නැයි කියා ආරාධනා කර තිබූ පුවත පළ වූයේ ඒ අවස්ථාවේය. විජයානන්ද ගෙන ආවේ එයයි. අගමැතිවරයා ඒ මොහොතේම එය අසල උන් ප්‍රසන්න රණතුංගට පෙන්නුවේය.

සාකච්ඡා කරන්න එතුමට අයිතිය තියෙනවා නේ… අපි බලමු ප්‍රතිඵලය මොකක්ද කියලා….

මේ අයුරින් එම රැස්වීම ද අවසන් වූයේ මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙන්නේ නැති බවට දැඩි සහතිකයක් පළාත් පාලන නියෝජිතයන් වෙත ලබා දෙමිනි.

● තෙල් ගෑස් විදුලිය ගැන
පක්ෂ නායක හමුවක්…

පසුගිය බ්‍රහස්පතින්දා උදයේ පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පක්ෂනායක රැස්වීමක් කැඳවණු ලැබීය. කථානායකවරයා මේ ඉන්ධන අර්බුදය ගැන කතා කරන්නට පටන් ගත් පසු දැනට විපක්ෂයේ වාඩි වී සිටින නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා දැඩි විවේචනයක් එල්ල කරමින් කතා කළේය…

“අපේ රටේ විදුලි ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. වැඩිවන ඉල්ලුමට අනුව සැපයුම ලබාදෙන්න නිෂ්පාදනය වැඩි කරන්න මොනවද නිලධාරීන් කළේ. මේ නිලධාරීන් ඉන්නකං විදුලිබල මණ්ඩලය අර්බුද විසඳන්න බෑ. නියමිත සැලැස්මකට අනුව සූර්ය බලයෙන් නිවෙස්වලට විදුලිය ලබා දුන්නනම් අපට ඩීසල බලාගාරවලින් වැඩි මිලට විදුලිය ගන්න ඕනේ නෑ. පුනර්ජනනීය බලශක්තිය සපයන්න කරපු යෝජනාවලට නිලධාරීන් අනුමැතිය දෙන්නේ නෑ. මේගොල්ලෝ මේ අර්බුදයෙන් හම්බකරන් කනවා. අර්බුදය වවාගෙන කනවා. බලන්න ඒගොල්ලන්ගේ පඩි. විදුලි බල මණ්ඩලය පාඩුනම් මේ නිලධාරීන් කොහොමද මෙච්චර විශාල පඩි ගන්නේ.. මේ හැම තැනකම කුමන්ත්‍රණ තියෙනවා අපි මේවා ගැන මීට වඩා හිතන්න ඕන…” නිමල් සිරිපාලගේ චෝදනාව ඉතා දැඩි උණුසුම් එකක් විය.

ඉන් පසුව සාකච්ඡා වී තිබුණේ විදුලි බිල වැඩි කිරීම ගැනය…

“ඒකට පාරිභෝගික උපයෝගිතා කොමිටියේ අනුමැතිය ඕන…”

මන්ත්‍රීවරු එම කොමිසමේ අය හොයද්දී ඔවුන් කිසිවෙක් ඊට සහභාගි වී සිටියේ නැත. ඒ ගැන ද මන්ත්‍රීවරු අප්‍රසාදය පළ කර සිටියහ.

“පාරිභෝගික උපයෝගිතා කොමිසම මේවා කතා කරනකොට මෙතන ඉන්න ඕන” කිරිඇල්ල යෝජනා කරද්දී කථානායකවරයාද ඊට එකඟ විය.

“හරි මෙතන ඇමැතිවරු දෙන්නම ඉන්න නිසා මම අහනවා. ඔයගොල්ලන්ට දැන් තියෙනවද ඉදිරියේදී මේ ඉන්ධන අර්බුදය විසඳන්න මිල පාලනය කරන්න මොකක් හරි ප්ලෑන් එකක්. මොකක්ද විදුලිය හා ඉන්ධන ලබා දෙන්න තියන වැඩපිළිවෙළ ඔයාලගේ…” නිමල් සිරිපාල එසේ ප්‍රශ්න කළත් ඇමැතිවරු දෙදෙනාටම ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් හෝ උත්තරයක් නොවීය.

“ ඔක්කොම පෙට්‍රල් ඩීසල් ගෑස් ගැන විතරයි කතාව… හැබැයි භූමිතෙල් පරිභෝජනය කරන පුංචි මිනිස්සුන්ව අමතක කරලා…” මනෝ ගනේෂන් තවත් අවනඩුවක් කීවේය.

කංචන විජේසේකර මෙහිදී පැහැදිලි කිරීමක් කළත් එය මන්ත්‍රීවරු සතුටු කරවන අන්දමේ උත්තරයක් නොවීය.

“පුනර්ජනනීය බලශක්තිය ගැන යෝජනා ගොඩක් තියෙනවා. නිලධාරීන් ඒවා ප්‍රමාද කරනවා. කැමැත්ත දෙන්නේ නෑ…. එහෙම වෙන්නෙ ඇයි” දිනේෂ් ගුණවර්ධන අසා සිටියේය. විශේෂයෙන්ම ඔවුන් ඇසූවේ නිවෙස්වල හදන විදුලිය මහා පද්ධතියට එකතු කරගන්නේ නැත්තේ ඇයි කියාය.

● අභ්‍යන්තර සාකච්ඡා
උණුසුමින් ඇවිළෙයි..

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම සඳහා අනුමැතිය පළ කරමින් විපක්ෂයේ පක්ෂ නායකයන්ට තමන් හා සාකච්ඡා කරන්නට ආරාධනා කිරීමත් සමඟ රටේ දේශපාලන කරළිය තව තවත් උණුසුම් විය. ආණ්ඩු පාර්ශ්වයේ ද සාකච්ඡා ඇති විය. ආණ්ඩුව සතුව මන්ත්‍රීවරු 113 තබාගැනීමට විවිධ මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබිණ.

ඒ අතර ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ නව සන්ධානයේ සාකච්ඡාව ද උණුසුම් එකක් ව තිබුණේ හමුවීම් කතාබහ කිරීම හා විසඳුම්ද අධික වී තිබුණ නිසාය. මේ නිසා විමල්, ගම්මන්පිල, රතනහිමි, විජේදාස රාජපක්ෂ, වාසු, දයාසිරි ඇතුළු ක්‍රියාකාරීන් කාර්යබහුලව සිටියහ.

“මේ සාකච්ඡාවට ඉන්න පුළුවන් ජනාධිපතිවරයා විතරයි. වෙනත් පුද්ගලයෝ හෝ පාර්ශ්ව සහභාගි වෙනවා නම් අපට බෑ…” එම කොන්දේසිය ජනාධිපතිවරයා වෙත දන්වා යවනු ලැබීය.

● ඩලස්ට අභියෝග කළ
නූතන තිස්ස…

මේ අතර ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා හවස හදිසියේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් පවත්වන්නට තීරණය කළේය. තීන්දුව ඉතා ඉක්මනින් මැති ඇමැතිවරු වෙත ලබා දුන්නත් සමහරු හිටියේ දුර බැහැරය.

කණ්ඩායම් රැස්වීම ජනාධිපති මන්දිරයේ හවස හතරට පමණ කැඳවා තිබුණු අතර ඊට පෙර මන්ත්‍රීවරු පිරිසක් අගමැති මහින්ද රාජපක්ෂ හමුවන්නට ගියහ…

“ජනාධිපතිතුමා මොනව කියන්න හිතාගෙන අද මේ රැස්වීම කැඳෙව්වාද දන්නෑ…”

“අපි ඕනම දෙයකට මුහුණ දෙමු… කොහොමටත් අපි ඔක්කොම ඉන්නේ අගමැති තුමා එක්ක….” එසේ කතාබහක් එතැන ඇති විය. ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු කිහිප දෙනෙක්ම වූහ….

“ඉස්සෙල්ලා ජනාධිපතිතුමා මොනවද කියන්නේ කියල අහගෙන ඉමු… කලබල වෙන්න එපා…” අගමැති මහින්ද අවවාද කළේය.

හවස ජනාධිපති මන්දිරයේ පැවැත්වූ කණ්ඩායම් රැස්වීමේ ආරම්භය සාම්ප්‍රදායික එකක් විය. මුලින්ම කතාබහ කළේ ලබන සතියේ පාර්ලිමේන්තුවේදී න්‍යාය පත්‍ර අනුකූලව කළ යුතු වැඩ කටයුතු ගැනය. ඉන්පසුව අලි සබ්රි නැගිට අද රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හා රටේ මූල්‍ය ශක්තිය හා හැකියාව ගැන ලොකු විස්තරයක් කළේ ය. අද රට ලෝකය තුළ සිටින්නේ කොතැනද කියා ඔහු පැහැදිලි කළේය.

දෙවනුව ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කරන ලද සාකච්ඡාවේ ප්‍රගතිය ගැන කතා කළේය…

“ඉන්පසුව මහින්දානන්ද නැගිට කරුණු පැහැදිලි කරන්නට පටන් ගත්තත් ඔහුට ඒ තරම් මන්ත්‍රීවරු ඇහුම්කන් දුන්නේ නැත. අරුන්දික ප්‍රනාන්දු නැගිට කතා කරන්නට පටන් ගත්තේ එවිටය.

“අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ රට යුද්ධයෙන් බේරගෙන මේ රටට කළ සේවය අමිලයි. අමරණීයයි. මුළු රටම ඒක දන්නවා. ඒකට මුළු රටම ණය ගැති බව ඇත්ත. හැබැයි දැන් මේ රටේ වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. හැබෑ අරගලයක් තියෙනවා. දැන් මේ අරගලයට උත්තර බඳින්න යුද්ධයේ කීර්තිය හිලව් කරලා බෑ. අපට අඩියක් දෙකක් පස්සට ගන්න වෙනවා. ජනතාව මුළු ආණ්ඩුවටම ගෙදර යන්න කියද්දී අපිට මුරණ්ඩු වෙන්න බෑ. කරුණාකරලා අපේ නායකතුමන්ලා දෙපළ පවුලෙ අයත් එක්කත් කතාබහ කරලා අපි කණ්ඩායම්වල අයත් එක්කත් කතා කරලා මේ වෙලාවේ සුදුසුම පියවර ගන්න.

අපි ගන්න තීන්දුවත් බෙදිලා අරගෙන වැඩක් නෑ. අපි එකතුවෙලා තීන්දුවක් ගමු. ජනාධිපතිතුමා අගමැතිතුමා පැත්තට ප්‍රශ්නය යොමු කරන්නෙ නැතුව අපි ඔක්කොම අගමැති තුමා ඇමැතිවරු ඉල්ලා අස්වෙලා සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩදෙන එක හැරුණාම වෙන විකල්පයක් නෑ…” අරුන්දික කීවේය.

“අරුන්දික ඇමැතිතුමා අපිත් එක්ක එකක් කියලා දැන් මෙතන තව එකක් කියනවා. රාජපක්ෂ පවුල පවුල කිය කිය හැමදේටම චෝදනා කරනවා. වරදක් වුණොත් ඒකට පලි පවුල. හරි දෙයක් කළොත් ආණ්ඩුව. මොකක්ද මේ අපේ පවුලත් එක්ක තියෙන ප්‍රශ්නය..” නාමල් කිව්වේය.

“යෝජනාව ඉතා හොඳයි. හැබැයි මේකත් මතක තියාගන්න. අපි ඇඳුම් ගලවලා විසි කරන්න ඕනේ නැහැ සුදුසු ඇඳුමක් මහා ගන්න තුරු… එහෙම නැත්තං අපිට නිරුවතින් තමයි ඇඳුම් හොයන්න වෙන්නේ… ඒක නිසා ඔබතුමා ඉස්සරවෙලා ඔබතුමාට ඔය යෝජනාව ඉදිරිපත් කරන්න කියපු අයත් එක්ක කතා වෙලා ඔය කියන ආණ්ඩුවේ අගමැති කවුද, ඇමැතිවරු කවුද කියලා අපිට සැලැස්මක් ඉදිරිපත් කරලා පෙන්නන්න…” සනත් නිශාන්ත අභියෝගාත්මකව කීවේය.

“අගමැතිතුමාට අයින් වෙන්න කියලා එක එක්කෙනා කියන්න ඕනේ නැහැ. ඒක එතුමට තීරණය කරන්න දෙන්න…” පවිත්‍රා කීවාය. ඉන්පසු ජනාධිපති කතා කරන්න පටන් ගත්තේය.

“මම මේ හැමෝටම අහගන්නයි කියන්නේ. මම කොයි වෙලාවෙවත් අගමැතිතුමාට අයින් වෙන්න කියලාත් නැහැ. අයින් වෙන්න කියන්නෙත් නැහැ. හැබැයි මේ රටේ තියෙන ඇත්ත ප්‍රශ්නය කවුරුත් තේරුම් ගන්න ඕන. අපි ආණ්ඩුවක් හැදුවා වැඩ කළා. අපිට ප්‍රශ්න ආවා. දැන් පිරිසක් ආණ්ඩුවෙන් ස්වාධීන වෙලා ඉන්නවා. දැන් මේ ආණ්ඩුව බෙදිලා. ඉස්සරහට බෙදිලා ඉඳගෙන අපිට තියෙන ප්‍රශ්න ජයගන්න බෑ. හැබැයි අපි බෙදෙන් නැතුව එකතු වෙලා ගමන පටන් ගත්තොත් අපිට මේක යළිත් ගොඩනඟා ගන්න පුළුවන්.”

“අපි මන්ත්‍රීවරු 150 ගණනක් හිටපු බහුතර ආණ්ඩුවක්. දැන් අපෙන් පිරිසක් ගිහින්. අපි යළි ගොඩ නැගෙන්න අවශ්‍යයි” කෙහෙලිය කීවේය. මේ වෙලාවේ තිස්ස කුට්ටිආරච්චි නැගිට කතා කරන්නට විය.

“ඇයි කෙළින් කතා කරන්නැතුව වටෙන් කතා කරන්නේ. දැන් ඔය සමහරු අගමැති තුමා අයින් කරන්න ඕනේ කියලානේ කියන්නේ. ඒ සාකච්ඡාවල ඉන්න අය අපි පැහැදිලිව දන්නවා. ඩලස් මැතිතුමාව අගමැති කරන්න කට්ටියක් දඟලනව. කුමන්ත්‍රණ කරනවා. ඒ වගේම ඩලස් ඇමැතිතුමත් ඒකට කැමතියි. ඕකනේ ඇත්ත. ඉතිං අපි ඕක කෙළින් කතා කරමුකෝ.” තිස්ස කුට්ටි පත්තු කළේ බෝම්බයකි.

“බොහොම කනගාටු වෙනවා සහෝදරයා මට ඒ කරපු චෝදනාව ගැන. මම ඔය කිසිම කුමන්ත්‍රණයකට නෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් මං ගැන හොඳට දන්නවා. එතුමන්ලා දන්න මම මොනවද කළේ කියලා මේ පාර්ශ්වය වෙනුවෙන්. කරුණු නොදැන මට ඔය වගේ චෝදනා නගන්න එපා. අනිත් එක මම කියන්න කැමැතියි… සමාජ මාධ්‍යවලින් සමහරු සංවිධානාත්මකව මට මඩ ගහනවා කොටා කොටා කියලා. මම කොට බව ඇත්ත. හැබැයි මගේ ආත්ම විශ්වාසය එවරස්ට් කන්දටත් වඩා උස බව අමතක කරන්න එපා.” ඩලස් තරමක් සංවේදීව මේ ටික පැහැදිලිව කීවේය.

“හරි හරි… ඉතින් ඔබතුමා කියන්නකො. මොකක්ද යෝජනාව. මොකක්ද දැන් අපිට කරන්න කියන්නේ….” තිස්ස කුට්ටි නැවතත් කෑගැසුවේය.

ඩලස් ඊට උත්තර දෙන්නට නැගී සිටින්නට පළමුව ඉදිරිපෙළ සිටි ජ්‍යෙෂ්ඨ නායකයෝ කිහිපදෙනෙක්ම තිස්ස කුට්ටි දෙසට හැරී මොන මොනවාදෝ කියා ඔහුට බැණ වැදුනහ.

“පිටුපසින් සිටි කිහිප දෙනෙක් ද කෑගසන්නට වූහ…. මේ වෙලාවේ සියල්ලෝම සන්සුන් කරමින් අගමැතිවරයා නැගී සිටිමින් මෙසේ කීවේය.

“කවුරුත් මේක මතක තියාගන්න. මේ ඩලස් අලහප්පෙරුම කියන්නේ මම බොහෝ කාලයක් තිස්සේ දන්න මගේ හොඳ මිත්‍රයා. මෙතුමාව දේශපාලනයට ගෙනාවේ මම. මෙතුමා ඉතා දක්ෂ ව කැපවීමෙන් අපේ පිල වෙනුවෙන් වැඩකළා. රට වෙනුවෙන් කැප වුණා. ඒ බව කවුරුත් දන්නවා. එතුමා කොහොම කෙනෙක් ද කියලා මම දන්නවා. ඒක නිසා ඔය වගේ විවේචන එතුමා ගැන මම ඉදිරියේ කිරීම මටත් කරන අගෞරවයක්…”

“ඩලස් ඇමැතිතුමා අගමැතිතුමාගේ යහළුවා කියලා කිව්වනේ… අන්න ඒ වගේ තමයි. මම අගමැතිතුමාගේ පුංචි කාලෙ ඉඳලම හිටපු සහෝදරයා. ඒක නිසා අවිශ්වාස කරන්න එපා…” ජනාධිපති ගෝඨාභය ද සිනහවෙමින් කීවේය.

“කවුරුත් මෙතනින් අයින් වෙන්න ඕන නෑ. උද්ඝෝෂකයෝ ගේන සටන් පාඨ වලට අපි යටත් වෙන්න ඕනේ නෑ. අනිත් එක ජවිපෙවත් සජබයවත් ආණ්ඩුව ගන්න එන්නෙත් නෑ. එයාලට ඕන මේ රට අස්ථාවර කරන්න විතරයි.” ඩයනා ගමගේ කීවාය.

“මන්ත්‍රීතුමිය හරියට හරි. අපි මේක ගැන තවදුරටත් කතා කළ යුතු නෑ. අපි කවුරුවත් අයින් විය යුත්තේත් නෑ. අපි දැන් මේක මෙතනින් අවසන් කරමු.” කියමින් අගමැති මහින්ද රාජපක්ෂ කතාබහ අවසන් කර සභාව විසුරුවා හැරියේය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment