ලෝක විවාහක රූ රැජන කිරුළ වේදිකාව මතදීම බලෙන් ගැලවීම ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමක් වගෙයි

1129

පුෂ්පිකා ද සිල්වා උසාවිය හමුවේ කියයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගවැදී ජයග්‍රහණය ලබාගත් තමාට පැළැන්දූ ලෝක විවාහක රූ රැජන කිරුළ ඉන් මොහොතකට පසුව තම වේදිකාව මතදීම සැකකාරියන් විසින් බලහත්කාරයෙන් ගලවා දැමීම කාන්තාවක් තවත් කාන්තාවක ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමකට සමාන වන්නේ යැයි ලෝක විවහක රූ රැජන ලෙස අභිෂේක ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඊයේ (11 දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් ප්‍රකාශ කළාය.

ලෝක විවාහක රූ රැජන කිරුළ වේදිකාව මතදීම බලෙන් ගැලවීම ප්‍රසිද්ධියේ නිරුවත් කිරීමක් වගෙයි

සියලු දේට වඩා තමාට සිය ආත්මගරුත්වය වටිනා නිසා තමා නීතිය හමුවට පැමිණියත් තමාට කළ අපහාසයට හා අවමානයට සැකකාරියන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින්නේ නම් එය අවසන් කරගන්නා බව දැනුම් දුන් බව ද එයට ඔවුන් එකඟ නොවීම නිසා මෙලෙස එම නඩුව සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට පැමිණි බව ද පැවසූ සාක්‍ෂිකාරිය මාධ්‍ය හමුවේ සැකකාරියන්ගේ හැසිරීම නිසා තමාට විශාල අගතියක් සිදු වූ බව ද ප්‍රකාශ කළාය.

කුරුඳුවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ගාමිණී බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ එම සාක්‍ෂිකාරිය සාක්‍ෂි ලබා දුන්නාය.

2021.04.04 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති රූ රැජන තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට තමා විසින්ම ඊට මොහොතකට පෙර පැළැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීම හා ඇයට සුළු තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ලෝක විවාහක රූ රැජන කැරලයින් ජුරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

ලෝක විවාහක රූ රැජන තරගාවලියට ඉදිරිපත්වීම සඳහා විවාහක කාන්තාවක වීම මෙන්ම ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම තරගාවලියේ කොන්දේසියක් නොවන්නේ දැයි පළමුවන සැකකාරිය වන කැරලයින් ජුරි මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ද සිල්වා මහතා සාක්‍ෂිකාරියගෙන් විමසා සිටියේය. දික්කසාද වූ අයකු යන කරුණ සඟවා තරගාවලියට ඉදිරිපත්වීම නිසා එවන් ගැටලුවකට මුහුණදීමට සිදු වූ බව පිළිගන්නේ දැයි නීතිඥ නලින් ද සිල්වා මහතා වැඩිදුරටත් සාක්‍ෂිකාරියගෙන් විමසා සිටියේය. ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීම එක් කොන්දේසියක් වන නමුත් විවාහක කාන්තාවක් වූ තමා ඒ වන විට සැමියාගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩු පවරා තිබීම සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත්වීමට බාධාවක් නොවන බව පළමුවන සැකකාරිය විසින්ම තමාට පවසා තිබුණේ යැයි එහිදී සාක්‍ෂිකාරිය අධිකරණයට පැවසුවාය.

නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් 26 වැනිදා දක්වා කල් තැබීමට තීරණය කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ලේ දෙවන හා තෙවන සාක්‍ෂිකරුවන්ට එදින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment