උදය දේවි පීලි පනී : 17ක් රෝහලේ

154

ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ ‘උදය දේවි’ දුම්රිය අග්බෝපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමෙන් එහි දුම්රිය නියාමකවරුන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් 17 දෙනකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (07 වැනිදා) දහවල් 12.40 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ.

තුවාල ලැබූ අය අතර කාන්තාවන් 9 දෙනකු ද, පිරිමි පුද්ගලයන් 6 දෙනකු ද, දරුවන් දෙදෙනකු ද සිටින බව අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හපුආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය.

දුම්රිය පීලි පැනීමෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.

මෙම දුම්රිය පීලි පැනීමෙන් පසු තම සේවකයන් ගිලන් රථ ගෙන්වාගෙන තුවාලකරුවන්ව යුහුසුළුව රෝහල් කරා පිටත් කර හැරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

දුම්රිය පීලිපැනීමට වඩා මගී ජීවිත වටිනා හෙයින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ බව ද ඒ මහතා කීය.

දුම්රිය පීලි පැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව ද පැවසූ හෙතෙම, හානියට පත් වූ දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් සිදු කරමින් පවතින බව ද කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සමන් මල්ලවාරච්චි – ත්‍රිකුණාමලය, ඩබ්. එම්. වික්‍රමසිංහ කන්තලේ

advertistmentadvertistment
advertistmentadvertistment