මානුෂීය ධනවාදය තුළින් යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් ගොඩ නඟනවා

57

සමගි ජන බලවේග රජයක් තුළ ආර්ථිකය පුළුල් කර මානුෂීය ධනවාදී ක්‍රමයක් තුළ ධන උත්පාදනය ක්‍රියාත්මක කර සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ එම සම්පත් සමසේ බෙදී යන යුක්තිය සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් අප රටේ ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා රක්වාන පැවැති ජන හමුවක දී මේ බව කියා සිටියේය.

විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“අපේ රට ගොඩ එන්නට නම් සෘජු විදේශ ආයෝජන ගන්න ඕන. ඒ වගේම ඩොලර් උපයන්න ඕන. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්තයකට යොමු වෙන්න ඕන. ඩිජිටල් විප්ලවයක් ක්‍රියාත්මක කරන්න ඕන. ඩිජිටල් තාක්ෂණයට මුල් තැන දෙන්න ඕන. මේ රටේ අධ්‍යාපන ක්‍රමයේ සම්පූර්ණ වෙනසක් ඇති කරන්න ඕන. ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය, පරිගණක විද්‍යා කේන්ද්‍රීය අධ්‍යාපනය තොරතුරු තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණ කේන්ද්‍රීය අධ්‍යාපනයකට යොමුවිය යුතුයි.

මේ රටේ පාසල් දහදාස් එකසිය පනස් පහක් තිබෙනවා. මේ පාසල් පද්ධතිය තුළ සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනියරින්, මැත්ස්, මෙඩිසින්, මැනේජ්මන්ට් සයන්ස්, එන්වයරමන්ට් සයන්ස් ආදී නව විෂයන්ට ප්‍රමුඛතාව ලබා දී අලුත් විෂය නිර්දේශ නිර්මාණය කර ඒවා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළේ ඉල්ලුමට සැපයුම නිර්මාණය වන ආකාරයට අපි අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕන. මේ රටේ 10155ක් රජයේ පාසල් ජාත්‍යන්තර තලයේ ඉහළ ගුණාත්මක පාසල් බවට පත් කිරීමේ වගකීම මේ රටේ ජනතාව අපිට භාරදෙන කොට මේ රටේ නායකයා ලෙස ඒ යුතුකම වගකීම ඉටු කරන්න අපි භාර ගන්නවා.

රටක් හැටියට අපි ඉදිරියට යා යුතුයි. ඒ යා යුත්තේ තාක්ෂණය දැනුම නව ක්‍රමවේද තුළින්. දැනුම මත කේන්ද්‍ර ගතවූ ආර්ථිකයක් නිර්මාණය කළ යුතුයි. අපනයනවලට මුල්තැන ලබා දීලා අපේ රට අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්න ඕන. අපේ රටේ වෙරළ තීරය වටා වෙරළ තීරයේ සිට නාවුක සැතපුම් 200ක් අපිට අයිතියි. 1982 ඇති වූ එකගතාවක් තුළ මේ මුහුදු සම්පත අපිට අයිති වුණා. නමුත් අපිට බැරි වුණා නීල ආර්ථිකය ගොඩනඟලා නව තාක්ෂණ ක්‍රමවේද තුළින් ඒ මුහුදු සම්පත රටට සෞභාග්‍ය උදා කරන ප්‍රවාහයක් බවට පත් කරන්න.

අද රටේ අපි යොමුවන්න ඕන හරිත ආර්ථික ක්‍රමවේදයකට. ඒ හරිත ආර්ථිකය හරහා අපිට පුළුවන් ලෝක ආධාර ලබාදෙන කාබන් විමෝචන ක්‍රම අනුගමනය කර හරිත කේන්ද්‍රීය, පරිසර කේන්ද්‍රීය නව ආර්ථිකයකට යොමු වෙන්න හැකියි. ඒ හරහා ඩොලර් උපයන්න පුළුවන්.

අපේ රටේ තාරුණ්‍යයට මුල් තැන දෙන්න ඕන. දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් දැනුමෙන් සවිබල ගන්වන්න ඕන. ඒ වගේම රටේ දුගී දුප්පත්කම තුරන් කරන්න කටයුතු කරන්න ඕන.

පහුගිය රජය සහ වර්තමාන රජය රාජපක්ෂ සහ රාජපක්ෂ සෙවණැලි රජය මේ රටේ ජනතාව වළපල්ලට ඇද දැම්මා. සියයට 250කින් විදුලි බිල වැඩි කරලා. බදු පිට බදු ගහනවා. හැම අංශයකින් ම බඩු මිල වැඩි වෙලා. මහජනතාව හාමතේ. දූදරුවේ පන්ති කාමරවල කලන්තේ දානවා. අම්මලාට තාත්තලාට සපත්තු කූට්ටමක් අරන් දෙන්න හැකියාවක් නැහැ. පාසල් පොත් බෑගයක් පාසල් උපකරණ අරන් දෙන්න විදිහක් නැහැ. ඉතාම අන්ත අසරණ භාවයට රට පත්ව ඇති මොහොතක අපි තමුන්නාන්සේලාට දෙන බලාපොරොත්තුව තමයි සමගි ජන බලවේග රජයක් තුළ ආර්ථිකය හැකිලවීම නොව ආර්ථිකය විශාල කර පුළුල් කර මානුෂීය ධනවාදී ක්‍රමය තුළ මේ රටේ ධන උත්පාදනය ක්‍රියාත්මක කරලා සමාජ වෙළෙඳපොළ ආර්ථිකය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ උපයන සම්පත සමසේ බෙදී යන යුක්තිය සාධරණත්වය රජයන ආර්ථික රටාවක් අපි ඇති කරනවා.

අපිට යන්න තියෙන්නේ එක මඟයි. රටට තිබෙන්නේ එක විකල්පයයි. එක උත්තරයයි. ඒ උත්තරය තමයි තුන් වෙනි මාවත මැද මාවත.

advertistmentadvertistment
advertistmentadvertistment