කුසල් සහ සධීරගේ ධීර පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව හිස ඔසවයි

179

හයිද්‍රාබාද් හි රජිව් ගාන්ධි පිටිය ලකුණු සැණකෙළියක් බවට පත් කළ කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම ප්‍රමුඛ ශ්‍රී ලංකා පිතිකරුවෝ පකිස්තානය සමග සමඟ ඊයේ (10 වැනිදා) පැවති තරගයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 344ක් ලබා ගැනීමට සමත් වූහ.

එහිදී පන්දු 65 කින් වාර්තා වූ කුසල්ගේ ශතකය 1979 වසරේ සිට වසර 2023 දක්වා වූ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙස වාර්තා වූයේය.

හසන් අලී විසින් යොමු කරන ලද 27 වන පන්දු වාරයේ පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් තම ශතකය සම්පූර්ණ කළ කුසල් සිය ඉනිම නිමා වනවිට හයේ පහර 6 ක් වාර්තා කර තිබුණි.

කුසල්ගේ එම වේගවත් ඉණිම නිමා වූයේ ද 6 පහරක් එල්ල කිරීමට ගොස් හතරේ සීමාව ආසන්නයේ සිට ඉමාම් උල් හක් උඩ පන්දුවක් රැක ගනිමිනි.

ඒ වන විට කුසල් හතරේ පහර 14 ක් එල්ල කර තිබූ අතර තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය වූ දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයේදී ද හයේ පහර 8 ක් එල්ල කිරීමට කුසල් සමත් වී තිබිණි.

කුසල්ගේ දැවී යෑමෙන් පසුව ලකුණු ලබා ගැනීමේ යාන්ත්‍රණයේ සම්පූර්ණ වගකීම සියතට ගත් සධීර ඊයේ සිය පළමු එක් දින ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට සමත් වූයේය.

තරගයේ 46 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී තම ශතකය ලබා ගත් සධීර හසන් අලීගේ සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූයේය.

ඔහුගේ ඉනිම පන්දු 89 කදී නිමා වෙද්දී හතරේ පහර 11 ක් සහ 6 පහර 2 ක් වාර්තා වී තිබුණි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ලබා දීමට ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අසමත් වූයේය.

අනතුරුව කුසල් මෙන්ඩිස් සමග එක් වූ පැතුම් නිශ්ශංක දෙවෙනි කඩුල්ල සඳහා ශතක සම්බන්ධතාවයක් පැවැත්විය.

පන්දු 61 කදී පැතුම්ගේ ඉනිම නිමා වන විට හතරේ පහර 7 ක් සහ 6 පහරක් සමග ඔහු ලකුණු 51 ක් ලබා ගත්තේය.

චරිත් අසලංක එක ලකුණකට සහ දසුන් ශානක ලකුණු 12 කට දැවී යෑම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 350 සීමාව ඉක්මවා යැමට නොහැකි විය.

කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රම දෙදෙනා පන්දු වාර 11.3 ක් තුළ දී දෙවන කඩුල්ල සඳහා වේගවත් ලකුණු 111 ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

හසන් අලී විසින් කඩුලු 4ක් දවා ගත්තද ඔහුගේ පන්දුවාර 10 තුළ ලකුණු 71ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

ඒ අතර හැරිස් රවුෆ් ක්‍රියාත්මක කළ විසිඑක්වන පන්දුවාරයේදී ලකුණු 20 ක් ලබා ගැනීමට කුසල් – සධීර පිතිකරුවෝ වගබලා ගත්හ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 344/9(50)

පැතුම් නිශ්ශංක 51, කුසල් පෙරේරා 00,කුසල් මෙන්ඩිස් 122, චරිත් අසලංක 01, සධීර සමරවික්‍රම 108, දනන්ජය ද සිල්වා 25, දසුන් ශානක 12, දුනිත් වෙල්ලාලගේ 10, මහීෂ් තික්ෂන 00, මතීෂ පතිරණ නොදැවී 01, අතිරේක 14

පන්දු යැවීම

ශහීන් ෂා අෆ්රිඩි 66/1, හසන් අලී 71/4, මොහොමඩ් නවාස් 62/1, හැරිස් රවුෆ් 64/2, ශදාබ් ඛාන් 55/1

advertistmentadvertistment
advertistmentadvertistment