මහින්දානන්දගේ දෙහි කැපිල්ල ගැන අල්ලස් විමර්ශන අරඹන්න – දේශීය ආදායම් සේවා සංගමය

462

මෙරට මහ පරිමාණ ව්‍යාපාරිකයන් හා ආයතන ගණනාවක් බදු පැහැර හැරීම සිදුකර ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකී බදු මුදල් අයකර ගැනීමට අපොහොසත් වී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා (31 දා) පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කඩිනමින් අවධානය යොමුකර පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යැයි දේශීය ආදායම් සේවා සංගමය කියා සිටී.

විශේෂයෙන්ම මෙරට මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාර, ඔට්ටු හා සූදු ව්‍යාපාර, ඇඟලුම් ව්‍යාපාර, තේ අපනයන ව්‍යාපාර, මත්පැන් ව්‍යාපාර හා ඉන්ධන බෙදාහැරීමේ ව්‍යාපාර හා සම්බන්ධ එම ව්‍යාපාරවල පිරිවැටුම, ලාභය හා ගෙවූ බදු මුදල් සම්බන්ධයෙන් කරුණු රාශියක් මන්ත්‍රීවරයා හෙළි කළ බවද දේශීය ආදායම් සංගමයේ සම ලේකම් එච්. ඒ. එල්. උදයසිරි මහතා පැවසීය.

ඇතැම් ව්‍යාපාර විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් පැහැර හැරීම සම්බන්ධ තොරතුරු, ඇතැම් ව්‍යාපාර හා පුද්ගලයන්ගේ ආදායම් බදු වාර්තා හා ලිපි ගොනු තමා ළඟ ඇති බවට සිදුකරන ලද ප්‍රකාශ ඉතා බරපතළ බවද ඔහු කීය.

මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයන් තුළින් රාජ්‍ය බදු ආදායමට බරපතළ හානියක් සිදුවීමට හේතුවී ඇති බදු පැහැර හැරීම් ගණනාවක් සම්බන්ධයෙන් වූ කරුණු රාශියක් හා දේශීය ආදායම් පනතට අනුව රහස්‍යභාවය ආරක්‍ෂා කළ යුතු සංවේදී ව්‍යාපාරික තොරතුරු හා පුද්ගලික තොරතුරු රාශියක් ඔහු සතුව ඇති බව තහවුරු වන බවද උදයසිරි මහතා කියා සිටී.

ඒ අනුව මේ පිළිබඳව අල්ලස් කොමිෂන් සභාවේ කඩිනම් අවධානය යොමු කර විධිමත් පරීක්‍ෂණයක් සිදුකර බදු ආදායම අහිමි කිරීමට ක්‍රියාකරන ලද පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

චමින්ද සිල්වා, ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment