තාත්තාගේ ගීත විකුණන්නේ නැහැ
පැරණි සාමාජිකයන්ගේ සමග අලුත් වැඩක් කරනවා

අලුත් අවුරුද්දක් ළං වෙනකොට අපිට අමතක කරන්න බැරි චරිත අතර ඉහළින්ම තියෙන නමක් තමයි ලයනල් රංවල. දේශීය ජන සංගීතය රැකගැනීම වෙනුවෙන් එතුමා බිහි කළ රංවල බළකාය අද ඉදිරියට ගෙනියන්නෙ පවුලේ වැඩිමහල් පුතු වන සහන් රංවල. ඉතිං සුපුරුදු පරිදි මේ අවුරුද්දේ අලුත් තොරතුරු දැනගන්න අපි සහන් සමග පිළිසඳරක යෙදුණා.

රංවල බළකායෙන් ලෝකෙටම සුභ අලුත් අවුරුද්දක්

රංවල බළකාය සහන් රංවලත් එක්ක මෙදා පාර අවුරුදු සමරන්නෙ කොහොමද?

අපි මෙවර අලුත් අවුරුද්දත් එක්ක කෙරෙන” කෙරුණු වැඩ ගොඩක් තියෙනව. අලුත් අවුරුද්ද කියන්නෙ අපේ ජීවිතයේ අභියෝගාත්මක කාලවකවානුවක්. මාර්තු 29 වැනිදා මාතර අපේ දරුවොත් එක්ක අවුරුදු වැඩසටහනක් පැවැත්වූවා. නුවර සහ මාතලේ දරුවොත් එක්ක මාර්තු 05 වැනිදා වැඩසටහනක් පැවැත්වූවා. අප්‍රියෙල් 06 වැනිදා දෙවැනි වරටත් ‘කොළඹගම’ නමින් වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ අලුත්” පරණ අවුරුදු උළෙලක් පැවැත්වූවා. ඒ කියන්නෙ පරණ දේවල් වගේම ඒවා අලුත් කළ විදිහකුත් එක්ක තමයි ඒක කළේ. අවුරුදු සැණකෙළියක් කිව්වොත් හරි. මේ සැණකෙළිය චැනල් වන්, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සහ වෝටර්ස් එජ් ආයතනයේ එකතුවෙන් තමයි සංවිධානය කළේ. මේ සඳහා දසදහසක පමණ පිරිසක් සහභාගී වුණා. ඊට අමතරව අලුත් අවුරුද්ද වෙනුවෙන් විවිධ ආයතන සංවිධානය කළ විවිධ වැඩසටහන් ගණනාවකටම මෙවර අපි සහභාගී වුණා. ඒත් එක්කම විශේෂ වැඩසටහනක් මෙවර අපි සංවිධානය කළා. ඒ තමයි ‘ලෝකෙටම සුභ අලුත් අවුරුද්දක්’ නමින්, ලෝකෙ පුරාම ඉන්න අපේ රටේ ළමයින් රංවල බළකායේ ගීත ඒ ඒ රටවල ඉඳන් ළමයි ඉදිරිපත් කරන අකාරය තමයි ඒකෙ තියෙන්නෙ. මේ වැඩසටහන අප්‍රියෙල් 14 වැනිදා ස්වර්ණවාහිනිය හරහා උදෑසන 6.30ට හැමෝටම බලන්න පුළුවන්.

මෙවර නැකැත් සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර තියෙනව. සහන්ගෙ අදහස මොන වගේද?

යම් වැඩක් කල් නොදමා හරියට කරන්න අපිට උදව් වෙන දෙයක් හැටියට තමයි පෞද්ගලිකව මම නැකැත් කියන දේ දකින්නෙ. මේ කරන කියන දේවල් වලින් ධනාත්මක දේවල් අපි ගත යුතුයි. මම නැකැත් ශාස්ත්‍රය පිළිබඳව විශේෂඥයෙක් නෙමෙයි. ඒක ඒ අයට අයත් කාර්යයක්. අපි රටක් විදියට එකතුවෙලා එක සංකල්පයකින්” එක අදහසකින් වැඩක් කරන එකේ යම් සුන්දරත්වයක් තියෙනව. අන්න ඒකට මේ නැකැත පාවිච්චි කරන්න පුළුවන් කියන එකයි මට හිතෙන්නෙ.

රංවල බළකායෙන් ලෝකෙටම සුභ අලුත් අවුරුද්දක්

අලුත් පරම්පරාව අපේ දේට” අපේකමට නැඹුරුවක් තියෙනවද?

ඔව්” ගොඩක් හොඳ නැඹුරුවක් තියෙනව. මම හිතනව අපේ පරම්පරාවට සාපේක්‍ෂව වත්මන් පරපුර තුළ ඒ පිළිබඳව තියෙන උනන්දුව වැඩියි කියල.

ඒ මොන විදිහටද?

අපි එක ජාතියක කෑම විතරක් නෙමෙයිනෙ කන්නෙ. නොයෙකුත් ආහාර ගන්නවා. හැබැයි දේශීය ආහාර කියන දේට ගෞරවයක් තියෙනව. අසනීපෙකදි බටහිර ඖෂධ ගත්තට දේශීය ඖෂධත් අවශ්‍යයි කියන හැඟීම තියෙනව. අන්න ඒ වගේ ලෝකයේ විවිධ සංගීත ශෛලීන් රසවිඳින එක ගැන අපි කාටවත් දොස් කියන්නෙ නැහැ. අපිත් රසවිඳිනව. නමුත් අපේ දේ අතහැරල නැහැ.

ලයනල් රංවලයන් සහ මේ අවුරුදු කාලේ ගීතය අමතක කරන්නම බැහැ?

ඇත්තටම තාත්තා දවසක් ජයතිස්ස බොරළුගොඩ මහත්මයාත් එක්ක කියල තියෙනව ‘බොරළුගොඩ” කවද හරි අපි මැරුණත් මිනිස්සුන්ට මේ ගීතය අවුරුද්ද මතක් කරල දෙයි නේද. කියල. ඒ අදහස තාත්තා කොහොම ගත්තද කියන්න දන්නෙ නැහැ, නමුත් ඇත්තටම ඒ කිව්වා වගේ අද වන විට මේ ගීතය වගේම ආරම්භක වාදනය වගේ දේවල් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක බද්ධවෙලා වගේ තමයි රට පුරා අහන්න දකින්න තියෙන්නෙ. මටත් වාසනාව තිබුණා මේ ගීතයේ කොටසක් ගායනා කරන්න.

මේ ගීතයට දැන් කොච්චර වයසද?

තාත්තා මේ ගීතය ගායනා කළේ 1993 වසරේ.

මේ ගීතය ඔබ අලුතින් ගායනා කළාද?

නැහැ නැහ, තාත්තාගේ ගීත මම අලුතින් ගායනා කළේ නැහැ.

මේ ගීතය විවිධ දේ සඳහා භාවිත කරන් ඔබෙන් ඉල්ලුවා?

තාත්තා නැති වුණේ 2002 අවුරුද්දෙ. 2003 අවුරුද්දෙ ඉඳන් දැන්වීම් වගේ වාණිජමය කාරණා සඳහා අනන්තවත් මගේ ඉල්ලලා තියෙනව. අවුරුදු පතා මම ඒක විකිණුවා නම් විශාල මුදලක් හොයාගන්න තිබුණා. නමුත් කවදාවත් මට එහෙම හිතුණෙ නැහැ. මට දැනුණෙ ඒක මිනිස්සුන්ට අයිති දෙයක් කියල. මම එහෙම කළා නම් ඒ ගීතයේ ආයු කාලය අඩුවෙන්නත් තිබුණා.

මේ සඳහා මුල්ම යෝජනාව එන්නෙ කොතැනදීද?

තාත්තගෙ දේහය ගෙදර තියෙන දවසෙම තමයි මුලින්ම කෙනෙක් මට යෝජනා කරන්නෙ, තාත්තගෙ ක්‍රමය ඒ කාලෙට හරි, නරකද දැන් රී මේක් කළොත් කියල. මම හිතන දේ තමයි, තාත්තා කළේ ගීත කිහිපයයි, ඒවා එයාගෙම කටහඬින් තියෙන්න ඕනා. ජීවත්වෙලා ඉන්න අපිට අලුතින් ගීත හදන්න පුළුවන්. අපේ අරමුණ තාත්තගේ ගීත කියන එක නෙමෙයි, ඔහු පෙන්වා දුන්න මග යන එක.

ඔබේ ගෝලයන් ඔබ අභිබවා යන අවස්ථා කියෙනවද?

අනිවාර්යයෙන් එහෙම වෙනව. මේ වන විටත් එහෙම වෙලා තියෙනව.

අමන්ද්‍යා උත්පලීත් ඔබේ සිසුවියක්?

අමන්ද්‍යා අපිත් එක්ක සම්බන්ධ වෙන්නෙ 2007 අවුරුද්දෙ. ඇය ඒ වන විට පුංචි දැරියක්. ‘පොඩි අයට ජන ගී’ ගීත එකතුවට ගායනයෙන් සම්බන්ධ වුණා. ක්‍රමානුකූලව වැඩෙමින් හොඳ වැඩක් කිරීමේ අරමුණින් තමයි ඇය වැඩ කළේ. අද වන විට ස්ථාවර, දක්‍ෂ වගේම යම්කිසි බරක් තියෙන, ජීවිතේ ගැන දැක්මක් තියෙන ශිල්පිනියක් බවට පත්වෙලා.

ඔබේ ගෝලයන් ඔබව අභිබවනවාට කැමතිද?

ඔවුන් මාව අභිබවනවා කියන්නෙ මේ කරගෙන යන වැඩේ මට හරි ලේසි වෙනව කියන එක. මොකද මේක අපේ කණ්ඩායමට විතරක් තියෙන වගකීමක් නෙමෙයි, රටක් විදිහට අපේ සංගීතය ගොඩනගන එක ලංකාවේ සෑම සංගීත ශිල්පියකුටම තියෙන වගකීමක්. අපි හැර තවත් කෙනෙක් මේක කරනවා නම් අපි ඒත් කැමතියි.

අලුත්ම වැඩක් කරන්න යනව කියල ආරංචියි?

ඔව්, අපේ කණ්ඩායමේ එවකට හිටපු පැරණි සාමාජිකයන් වන ගාමින්ද ප්‍රියවිරාජ්” සුදේව හෙට්ටිආරච්චි වගේ අය එකතුවෙලා ගීතයක් කරන්න අදහසක් තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment