ගින්දරී 4 හදනවා…. උදයකාන්ත වර්ණසූරිය

358
පවතින දැඩි ආර්ථික දුෂ්කරතා වගේම දිනපතාම සන්ධ්‍යා කාලයේ සිදුවන විදුලිය බිඳ වැටීම් මධ්‍යයේ වූවද උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 සිනමා නිර්මාණය ගින්දරී වගේ තිරගත වෙනවා කියලා තමයි ආරංචිය. මේ මාසයේ පළමුවැනිදා තිරගත කිරීම ආරම්භ කරපු ගින්දරී 3 සිනමා නිර්මාණය තිරගත කිරීම ආරම්භ කරපු පළමු සති දෙකේ ලක්‍ෂ දෙසිය විසිහයකට අධික ආදායමක් උපයා තිබෙනවා කියලයි දැනගන්නට ලැබෙන්නේ. අවුරුදු හතකට පස්සේ සිංහල සිනමා වංශකතාවේ අලුත් පිටුවක් පෙරළපු ගින්දරී 3 ගැන දැනගන්න වගේම සිනමාවට ජීවය දුන්නු උදයකාන්ත වර්ණසූරියට අපි මේ ඉඩකඩ වෙන් කළා.

● ගින්දරී 3 අර්බුද රැසක් මැද්දේ අති සාර්ථක ලෙස තිරගතවීම ගැන මොකද හිතෙන්නේ?

මෙහෙමයි අද කාලේ චිත්‍රපටයක් තිරගත කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ පවතින අර්බුද මැද්දේ චිත්‍රපටයක් බලන මානසිකත්වයක නෙමෙයි මිනිස්සු ඉන්නේ. රටේ අර්බුදය යම්තාක් දුරට විසඳීලා කියලා දැක්කට ඇත්තටම ඒ අර්බුදය විසඳිලා නැහැනේ. අනික අද අපේ රට තියෙන්නේ මහ ආර්ථික අගාධයකනේ. එහෙම බලුවම මේ වගේ කාලයක චිත්‍රපටයක් සාර්ථකව තිරගත වෙනවා කියන්නේ මටත් හොදයි ඒ වගේම සිනමා කර්මාන්තයටත් ලොකු පිබිදීමක්නේ. පසුගිය කාලයේ අපේ සිනමාව දරුණු අගාධයකටන් ඇදවැටිලා තිබුණේ. සිනමාවක් නැහැ කියලනේ ගොඩක් දෙනෙක් කිව්වේ. ඒ කතා බිඳදමමින් මේ චිත්‍රපටය තිරගත වීම තුළින් අපි දකින්නේ සිනමාව ප්‍රේක්‍ෂකයා හැර ගිහිල්ලා නැහැ කියලයි. කිසියම් වින්දනයක් ලබන්න පුළුවන් චිත්‍රපටයක් හැදුවොත් ප්‍රේක්‍ෂකයෝ සිනමා හල්වලට එනවා. ඒකට හොඳම උදාහරණය තමයි ගින්දරී.

ගින්දරී 4 හදනවා.... උදයකාන්ත වර්ණසූරිය

● උදයකාන්තට යළි සිනමාව පුබුදුවාලීමට හැකි වුණා කියලා විශ්වාසයක් තිබෙනවාද?

අපේ රටේ සිනමා ශාලා කිහිපයක්ම මේ වෙනකොට වැහිලා ගිහිල්ලා තියෙනවා. ඒවා ඉහළම ආදායම ලැබූ සිනමා ශාලා. නුගේගොඩ ක්වීන්ලන්ඩ්” මෙට්‍රෝ සිනමා ශාලාව” ගල්කිස්ස ඕඩියන් වගේ දැවැන්ත සිනමා ශාලා රැසක්ම අද වසා දමලා. ඉතිං ඔය වගේ තත්ත්වයක තමයි අපි මෙහෙම ආදායම් වාර්තා පිහිටුවන්නේ. ඒක ලොකු දෙයක්. තව හොඳ සිනමා ශාලා හැදෙනවා නම් මීට වඩා ප්‍රේක්‍ෂකයෝ ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. තවත් දෙයක් තමයි ගින්දරී වෙළෙඳනාමය වටා වෙනම ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. බහුබූතයෝ 1” ගින්දරී 1” 2 චිත්‍රපට සියල්ලම සාර්ථක වුණා. ඒ චිත්‍රපට නරඹපු අති විශාල ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා. ඒ ප්‍රේක්‍ෂක පිරිස තමා යළි මගේ ගින්දරී 3 වටාත් එකතු වෙන්නේ. අනික මේ චිත්‍රපටය නැරඹුවා කියලා ප්‍රේක්‍ෂකයාගේ බලාපොරොත්තු කඩවෙන්නේ නැහැ. විශාල වින්දනයක් ලබනවා කියලත් මම හිතනවා.

● සිනමාහල්වල ප්‍රවේශ පත්‍රයක මිලත් ඉහළ ගියා නේද?

හැම වෙළෙඳ භාණ්ඩයකම මිල දෙගුණයකින් තුන් ගුණයකින් ඉහළ ගිහිල්ලයි තියෙන්නේ. ඉතිං සිනමාහල්වල ප්‍රවේශ පත්‍රයක මිල බඩු මිලට සාපේක්‍ෂව වැඩිවෙලා නැහැ. ප්‍රේක්‍ෂයන්ට ඒකත් එක්තරා විදිහට සහනයක්. කිසියම් ආර්ථික හා මානසික පීඩාවක සිටින ජනතාව කිසියම් විදිහක මානසික සහනයක් ලබන්න මේ චිත්‍රපටය වටා ගොනුවෙනවා ඇති කියලා මට හිතෙනවා.

ගින්දරී 4 හදනවා.... උදයකාන්ත වර්ණසූරිය

● මේ හින්දම ගින්දරී 4 නිර්මාණය කරනවා කියන්නේ ඇත්තද?

බහුබූතයෝ නිර්මාණය කරනකොට මට දෙවැනි චිත්‍රපටයක් කරන්න අදහසක් තිබුණේ නැහැ. ඒක ලැබූ සාර්ථකත්වයක් එක්ක දෙවැනි කොටසක් කරන්න පුළුවන් කියලා හිතුණා. දෙවැනි කොටස සාර්ථක වුණ නිසයි ගින්දරී 3 හැදුවේ. තුන්වැනි කොටස වෙනුවෙන් මට හොඳ කතාවක් හිතේ මැවුණා. ඉතිං ඒ කතාව තමයි තුන්වැනි කොටසේ තියෙන්නේ. දැන් මේ වෙනකොට හතරවැනි කොටස සඳහාත් හොඳ සුන්දර කතාවක් හිතේ ගොඩ නැගෙමින් පවතිනවා. සමහර විට මගේ අතින් ගින්දරී 4 වැනි කොටසත් නිර්මාණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් ලංකාවේ සිංහල සිනමාවේ තවත් වාර්තාවක් වෙන්න පුළුවන්” කොටස් හතරක් හදපු පළමුවැනි චිත්‍රපටය විදිහට. එහෙම වාර්තාවක් තියන්න මගේ පොඩි අදහසක් තියෙනවා.

● බහුබූතයෝ හි හිටපු පබෝධාව ගින්දරී 4 ටත් විකුණගන්න පුළුවන් කියල හිතනවද?

තවම පුළුවන්. මහේන්ද්‍රයි” රොඩ්නිත් පුළුවන්. අනික ඔය තුන්දෙනාගෙන් ඇරෙන්න ගින්දරී හදන්න බැහැ. මම හිතන්නේ ඒ තුන්දෙනත් එක්ක තමයි මම ගින්දරී 4 ත් කරන්න ඕනෑ.

ගින්දරී 4 හදනවා.... උදයකාන්ත වර්ණසූරිය

● ගින්දරී 3 රූගත කිරීමේ දීත් රසබර අත්දැකීම් එහෙමත් ඇති නේද?

බහුබූතයෝ රූගත කරනකොට ගින්දරී ගැන කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. පබෝධා හැඩට ඇඳගෙන යනකොට මිනිස්සු බැලුවා තමයි නමුත් 2” 3 යනකොට ගින්දරී අඳුරගෙන හිටියානේ. ඒක ගින්දරී වටා සෙනඟ රැස්වෙන්න පටන්ගත්තා. අද කාලේ චිත්‍රපටයක් ෂූටින් කළාට කවුරුවත් බලන්නේ නැහැනේ. එහෙම තත්ත්වයක්නේ අද කාලේ තියෙන්නේ. නමුත් ගින්දරී රූගත කරනකොට අපිට ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන් පළමු කොටසටත් දෙවැනි කොටසටත් වඩා මම මේ චිත්‍රපටයට වෙහෙසුණා. ඊට වඩා මුදලක් වියදම් කළා. මොකද මේකේ විශාල දර්ශන තල ප්‍රමාණයක් වගේම නළු නිළියනුත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මම දැනගෙන හිටියා එහෙම මහන්සිවෙලා කළා වගේම වියදම් කළාට අසාර්ථක වන එකක් නැහැ කියලා. මොකද පළමු කොටස වගේම දෙවැනි කොටසත් සාර්ථක වුණා.

● ගින්දරී තිරගත කළේ සුදුසුම කාලයේ කියලා හිතනවාද?

මෙහෙමයි” මම මේ චිත්‍රපටය කරලා අවුරුදු තුනක් වෙනවා. 2019 අවුරුද්දේ මුල් කාලයේ තමයි මම චිත්‍රපටය කළේ. ඒ කාලේ ආවනම් මේ චිත්‍රපටය මීට වඩා සාර්ථක වෙන්න තිබුණා. ඊට පස්සේ මම ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපටය කළා. දේශපාලන වාතාවරණය ගැන මගේ තිබ්ච්ච කලකිරීම සහ බියජනක ස්වරූපය නිසා ඊට පස්සේ නොහිතපු විදිහට කොවිඩ් වසංගතය ආවා. ඒ හින්දා චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න බැරි වුණා. ඒ කාලේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණානම් මීට වැඩිය සාර්ථක වෙන්න තිබුණා කියලා මම හිතනවා.

ගින්දරී 4 හදනවා.... උදයකාන්ත වර්ණසූරිය

● වසංගතය සහ ආර්ථිකය කඩාවැටීම නිසා සිනමාවට වුණු ඛේදනීය ඉරණම ගැන මොකද හිතන්නේ?

කොරෝනා වසංගතය මෙරට සිනමාවට විතරක් නෙමෙයි මුළු ලෝක ආර්ථිකයටම මරු පහරක් එල්ල කළානේ. දැන් ඒ වසංගතය සමනය වෙමින් තිබෙන නිසා අනෙක් රටවල් හිස ඔසවා ගෙන එනවා. නමුත් ලංකාවේ ඊට වඩා වෙනස් දෙයක් වුණානේ. කොවිඩ් වසංගතය ඇවිල්ලා අනෙක් රටවලට වසන්තය උදාවුණා වගේ තත්ත්වයක් ඇතිවුණ

අවස්ථාත් තියෙනවානේ. අපේ රටේ තිබෙන අනවශ්‍ය දේශපාලන අතපෙවීම් හින්දා ගැටලු රැසකට මුහුණ දුන්නානේ. ඒක වෙන රටවල් මුහුණ නොදීපු ප්‍රශ්නයක්නේ. වැරදි දේශපාලනය හින්ද අපේ රට දරුණු ආර්ථික අවපාතයකට ලක්වුණානේ. කොරෝනා වසංගතතයට වඩා අපි ඒකෙන් බැටකෑවනේ. අපි ඉන්නේ සිනමාවත් එක්ක. අපිට සිනමාව අතහරින්න බැහැ. මේ ප්‍රශ්න අස්සේ හරි චිත්‍රපටයක් සාර්ථක වීම සිනමාවට පොද වැස්සක් වැටුණා හා සමානයි.

ගින්දරී 4 හදනවා.... උදයකාන්ත වර්ණසූරිය

ක්‍ෂේත්‍රයේ අය ගින්දරී ගැන මොනවද කිව්වේ?

ක්‍ෂේත්‍රයේ අය මේ චිත්‍රපටය සාර්ථක වීම ගැන සන්තෝෂ වෙනවා. මොකද චිත්‍රපට රැසක් තව පෙළගැස්සිලා තියෙනවා ප්‍රදර්ශනයට. ඔවුනුත් දැන් කිසිබයක් සැකක් නැතිව සූදානම් වෙනවා තමන්ගේ චිත්‍රපටය තිරගත කිරීමට. ඒකත් ලොකු දෙයක්නේ. පසුගිය කාලයේ කට්ටිය බයවෙලා හිටියනේ චිත්‍රපටයක් දුවන එක ලෙහෙසි නැහැ කියලා. හොඳ චිත්‍රපටයක් කළොත් ඒක වටා යම් කිසි ප්‍රේක්‍ෂක පිරිසක් ඉන්නවා කියලා ඔප්පු වුණා. ඇත්තටම සිනමා ක්‍ෂේත්‍රයේ හොඳ චිත්‍රපට කිහිපයක්ම තියෙනවානේ ප්‍රදර්ශනය කිරීමට. ඔවුනුත් දැන් සූදානම් වෙනවා ඒවා මුදාහැරීමට.

සිනමාව කියන්නේ හරිම සුන්දර කලා මාධ්‍යයක්නේ. මේක ඇත්තටම කලා මාධ්‍යවල එකතුවක්. සිනමා ශාලාවල සෙනඟ ඉන්නවා දැක්කහම ඇත්තටම අපිට ලොකු සතුටක් තියෙනවා. මේ චිත්‍රපටයට විශේෂයෙන්ම වැඩිම පිරිසක් එන්නේ රාත්‍රී දර්ශනයට. ඒ වෙලාවට තමයි මිනිසුන්ට තමන්ගේ පවුලත් එක්ක චිත්‍රපටයක් බලන්න එන්න පුළුවන් වෙලාව. පසුගිය කාලයේ බොහෝ සිනමා ශාලාවල රාත්‍රී දර්ශන පෙන්වා ගන්න බැරිව හිටියා. නමුත් මගේ චිත්‍රපටයට එහෙම ප්‍රශ්නයක් නැහැ. වැඩිම ප්‍රේක්‍ෂක පිරිසක් එන්නේ රාත්‍රී දර්ශනවලට. හැම සිනමා ශාලාවකම රාත්‍රී දර්ශන දැන් පෙන්වනවා. ඒකත් ලොකු දෙයක්නේ.

රාත්‍රියට චිත්‍රපට පෙන්වන්න බැහැ කියන කතාව බොරු බව ගින්දරී ඔප්පු කරලා තියනවා.

ගින්දරී 4 හදනවා.... උදයකාන්ත වර්ණසූරිය

උදයකාන්ත මේ දිනවල ඇත්තටම ගින්දරී 3 සමඟ විතරම ද කාලය ගත කරන්නේ?

මම වෙන වෙන ව්‍යාපාර ගැන හිතන්නේ නැහැ. මගේ එකම සතුට චිත්‍රපට නිර්මාණය කිරීම. මම නිෂ්පාදකවරයෙක් විදිහටත් චිත්‍රපට ක්‍ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා. මම දැනට ලියපු තිරනාටක හත අටක් විතර තියෙනවා. ප්‍රේක්‍ෂකයන්ගේ වින්දනය උදෙසා ලියපු තිර නාටක සුවිශේෂයි. සාජන් පුඤ්ඤසෝම තමයි මම ඊළඟට කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව බහුභාර්යා දෙවැනි කොටස” ගිනි අවි සහ ගිණිකෙළි දෙවැනි කොටස වගේ දේවලුත් ලියලා තියෙනවා. ඒවා නිර්මාණය කරන්න තමයි මගේ ආසාව තියෙන්නේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment