පින්සර හොර සම්මාදම් නඩේ ගම්පොලදී අතේ මාට්ටු

556

සමන් දේව රුවක් ප්‍රදර්ශනය කරමින් ජනතාව රවටලා
උපාසකටයි චීවරධාරීන් දෙදෙනාටයි පොලිසියෙන් දැඩි අවවාද

මිනිසුන් මුදල් ලබාදෙමින්
පොලිස් භාරයට ගත් හොර සම්මාදන් නඩයට ස්ථානාධිපතිවරයා අවවාද කරන අයුරු

පින්සර සංවිධානය ලෙස නාම පුවරු ගසාගෙන පින්කම් කරන මුවාවෙන් පව් කරමින් සිටි හොර සම්මාදම් කණ්ඩායමක් ගම්පොල මූලස්ථාන පොලිසියේ භාරයට ගනු ලැබීය.

මෙම හොර සම්මාදම් නඩය මෙහෙයවූ චීවරධාරියකු සමග ගිහියන් දෙදෙනෙකු මෙසේ පොලිස් භාරයට ගෙන ඇත.

පින්සර හොර සම්මාදම් නඩේ ගම්පොලදී අතේ මාට්ටු
ව්‍යාජ සංවිධානයේ නාමපුවරුව

බෞද්ධයාගේ මහත් පූජාවට ලක් වූ ශ්‍රීපාදස්ථානය මුල්කර ගනිමින් මොවුන් මුදල් හා භාණ්ඩ එකතු කර ඇත.

මෙවර ශ්‍රීපාද සමය ඇරඹීම මුල්කරගෙනය ශ්‍රී සුමන සමන් දේව පූජාව නමින් කුඩා ලොරි රථයක ගසාගෙන එහි පිටුපස විසිතුරු ලෙස සරසා සමන් දෙවිඳුන්ගේ රූපය ගසා ජනතාව මුලා කරමින් මෙම මුදල් එකතුකිරීම සිදු කර ඇත.

මේ පිළිබඳව ගම්පොල ප්‍රදේශයේ මහජනතාවගේ ලද පැමිණිලි මත මෙම ලොරි රථය හා පිරිස ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ සෘජු අධීක්ෂණය මත ඔහු භාරයට ගෙන මෙසේ ප්‍රශ්න කරනු ලැබීය.

මේ සඳහා අවසර රැගෙන ඇති බව මෙම භික්ෂූන් වහන්සේ පැවසීම නිසා ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් හා බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිවරයා හා ගම්පොල උඩපලාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ප්‍රධාන සංඝනායක බෝවල විමලධම්ම නාහිමියන්ගෙන් ද ස්ථානාධිපතිවරයා විමසූ අතර ඒ සඳහා අවසරයක් දී නොමැති බව හෙළි විය.

මෙහිදී විමලධම්ම නාහිමියන් එම භික්ෂූන් වහන්සේට පවසා සිටියේ භික්ෂූන් වහන්සේ නමක් ලෙස ශාසනය රැකගෙන දායකයා යහමගට ගැනීමට කටයුතු කිරීමෙන් මිස දෙවියන් විකුණා මුදල් හම්බ කර බෞද්ධයන් නොමඟ නොවිය යුතු බවය.

මේ හොර සම්මාදන් වැඩේ නතර කොට වහාම ප්‍රදේශයෙන් පිට විය යුතු බව ද උන්වහන්සේ දන්වන ලැබීය.

සම්මාදමේ යෙදුන භික්ෂූන් වහන්සේ මෙහිදී පවසා සිටියේ මිනිසුන්ගෙන් සල්ලි හෝ කිසිවක් නොඉල්ලූ බවත් ඔවුන් කැමැත්තෙන් දෙන බවත් ය. නමුත් පොලිසිය ආසන්නයේ ඇති රාජ්‍ය ආයතනයක සේවකයන් දන්වා සිටියේ එම ආයතනයට මේ පිරිස පැමිණ ඉල්ලූ භාණ්ඩ හා මුදල් සූදානම්ව කර ඇති බවය.

මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පිරිසට දැඩි ලෙස අවවාද කරමින් ප්‍රකාශ කර සිටියේ තමා ශ්‍රීපාද අඩවියේ පොලිස් ස්ථානභාරව සිටි බවත් 128 වතාවක් ශ්‍රීපාද මළුවට ගොස් ඇති බවත් ශීපාදස්ථානයේ ගෞරවය මේ ආකාරයට විනාශ කිරීමට ඉඩ දිය නොහැකි බවත්ය.

මෙම භික්ෂූන් වහන්සේ පිළිබඳව පැමිණිලි රැසක් පොලිසිය වෙත ලැබී ඇති බවත් පැවසූ ස්ථානාධිපතිවරයා උපාසකයෙකු ලෙස සුදු හැඳ උතුරු සළු පොරවා සිටි ගිහියාට හා ලොරි රථයේ රියදුරාට දැඩි ලෙස අවවාද කර සිද්ධිය පොලිස් පොතේ සටහන් කර සම්මාදම නතර කරනු ලැබීය.

ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment