අම්මාගේ හීන සැබෑ කළ ප්‍රාර්ථනා

124

ජානු සහ සුසුම් රස්තියාදුව ටෙලි නිර්මාණ හරහා මේ දිනවල කතාබහ වෙන චරිතයක් තමයි ප්‍රාර්ථනා සෙව්වන්දි කියන්නෙ. මීට කලකට පෙර සිද්ධාර්ථ ගෞතම සහ රාවණ ටෙලි නිර්මාණ හරහාත් ඇය පුංචි තිරයට පැමිණි බව ඔබට මතක ඇති. ප්‍රාර්ථනා සමග අප කළ කතාබහක පෙළගැස්මයි මේ.

ප්‍රාර්ථනා” ජානු ටෙලිනාට්‍යයේ චරිතය ගැන අපි මුලින්ම කතා කළොත්?

ජානු ටෙලියේ මගේ චරිතය වෙන්නෙ සමන්මලී. ඇය රැකියාවක් කිරීමේ අරමුණින් ගමෙන් කොළඹ එන තරුණියක්. ඒ ගමනෙදි අනවශ්‍ය යහළුවො මුණගැහීමෙන් ඇයට ජීවිතේ බොහෝ හැලහැප්පීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මෙතනදි මට වැඩකරන්න තියෙන්නෙ පාලිත සිල්වා අයියාත් එක්ක. මේ මම ඔහු සමග වැඩකරන පළමු වැනි වතාව. ඒ වගේම සුදර්ශනී ගැලනිගම අක්කාවත් මතක් කරන්න ඕනා. මගේ රංගන ජීවිතයට ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගන්න පුළුවන් වුණා.

අම්මාගේ හීන සැබෑ කළ ප්‍රාර්ථනා

● කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව. දැනටමත් ගොඩක් දෙනෙක් කතාකරන්නෙ සෝනු කියල.

● සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයේ විජී සෝනුට සමානද?

සෝනු කොළඹ එන්නෙ රැකියාවකට වුණත් විජීට පොඩි කාලෙ පටන්ම තියෙන්නෙ නිළියක් වීමේ ආසාවක්. ඇය කොළඹ එන්නෙ ඒ වෙනුවෙන්. විජී කපටියි. සෝනු ටිකක් රැවටෙන චරිතයක්. මේ චරිත දෙකේම යම් යම් සමානකම් තියෙනව.

● වැඩි ප්‍රතිචාර මොන චරිතයටද?

ජානු ටෙලි නාට්‍යයේ සෝනුට තමයි වැඩි ප්‍රතිචාර ලැබෙන්නෙ.

● ප්‍රාර්ථනාගේ ජීවිතයට සමානකම් දක්වන්නෙ මොන චරිතයද?

ඇත්තටම කිව්වොත් මේ චරිත දෙකෙන් එකක්වත් මගේ ජීවිතයට සමාන නැහැ.

● ක්‍ෂේත්‍රයට එන්න මගපෑදෙන්නෙ කොහොමද?

2018 වසරේදි මිස් ශ්‍රී ලංකා යූ. එස්. ඒ. පැජන්ට් එකට මම සම්බන්ධ වෙනව. මම මේ තරගයට සම්බන්ධ වෙන්නෙ මගේ අම්මගේ ආසාවට. මෙතනදි මට මිස් ෆොටෝ ජෙනික් වගේම මිස් බියුටිෆුල් ලයිෆ් කියන ජයග්‍රහණ දෙක හිමි වෙනව. එතැනින් පස්සෙ බ්‍රයිඩ්ල් සහ මෝස්තර නිරූපණයට ආරාධනා බොහොමයක් ලැබෙනව. ඒවායින් තෝරාගත් ඒවාට සම්බන්ධ වෙමින් ඉන්න අතරතුර පළමුවෙන්ම සිද්ධාර්ථ ගෞතම ටෙලි නාට්‍යයට මට ආරාධනාවක් ලැබෙනව. තිළිණි පෙරේරා අක්කා තමයි මට මේ ගැන කියන්නෙ. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පස්සෙ ටෙලියට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. ඊළඟ ආරාධනය එන්නෙ රාවණ ටෙලි නාට්‍යයේ ප්‍රධාන සෙන්පතිනියට.

● පවුලේ විස්තර කොහොමද?

මගේ ගම බණ්ඩාරගම. මගේ පවුලේ ඉන්නෙ අම්මයි” තාත්තයි” මමයි.

● පවුලේ එකම දරුවා රංගනයට යොමුවෙනවාට ගෙදරින් කැමති වුණාද?

මගේ අම්මා සහ තාත්තා කලාවට බොහොම ලැදියි. නමුත් මේ ක්‍ෂේත්‍රය ගැන පැතිරෙන කතා නිසා මුලදි ඔවුන්ගේ හිතේ බයක් තිබුණා. ඒ නිසාම ෂුටිං යන වෙලාවට අම්මාත් මං එක්ක යනවා. නමුත් දැන් ඔවුන් දන්නව මම පරිස්සමට වැඩ කරන්න දන්නව කියල. ඒ වගේම මම ඔවුන්ට සිද්ධවෙන හැමදේම කියනව.

අධ්‍යාපන කටයුතු කළේ රංගන ශිල්පිනියක් වීමේ අරමුණින්ද?

පාසල් කාලයේ කලා විෂයයක් හැටියට හැදෑරුවේ සංගීතය විතරයි. දන්න කාලෙක පටන් රංගන ශිල්පිනියක් වීමේ ආසාවක්” අරමුණක් මට තිබුණෙ නැහැ. අපේ පාසලේත් විවිධ ටෙලි නාට්‍ය රූගතකිරීම් කළා. ඔවුන්ගෙන් ඒ කාලෙත් මට ආරාධනා ලැබුණා. නමුත් ඒවාට සම්බන්ධ වෙලා නැහැ. මම හරිම නිහඬ චරිතයක්.

● ලැබෙන ආරාධනා යහපත් මට්ටමක තියෙනවද?

බොහෝ වෙලාවට ලැබෙන ආරාධනා ගැන සතුටු වෙන්න පුළුවන්. නමුත් මම වැඩ කරන්නෙ තෝරාබේරාගත් අධ්‍යක්‍ෂවරු එක්ක. මොකද කියන්න කනගාටුයි” සමහර අධ්‍යක්‍ෂවරු අපිව නාට්‍යයට තෝරාගෙන”

පිටපතත් අතට දීලා ෂූටිං පටන්ගන්න කලින් අයුතු යෝජනා කරන අවස්ථා තියෙනව. මට වගේම අපේ ඇතැම් සහෝදර ශිල්පිනියන්ටත් මේ වගේ දේවල් වෙලා තියෙනව.

● මේ ඔබේ පුද්ගලික අත්දැකීමක්ද?

ඔව්” මම වැඩිය නාට්‍යවලට සම්බන්ධ නොවෙන්න ඒකත් එක හේතුවක්. සමහර ටෙලි නාට්‍යවලට මාව තෝරාගෙන තියෙනව. නමුත් අවසන් මොහොතේ ෂූටිං වලට කලින් එහෙම එන්න කියල යෝජනා කරල තියෙනනව.

● මේ දේවල් නිසා ඔබ ක්‍ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද?

ඇත්තටම ලොකු කලකිරීමක් තියෙනව. මම කාලයක් ටෙලි නාට්‍ය අතහැරල අනෙක් වැඩකටයුතු කරගෙන ගෙදරට වෙලා හිටියා.

● මේ නාට්‍ය දෙකට සම්බන්ධ වුණේ කොච්චර කාලෙකට පස්සෙද?

මම මේ නාට්‍ය දෙකට සම්බන්ධ වෙන්නෙ අවුරුදු එකහමාරකට විතර පස්සෙ. මේ කාලය තුළ සංජය තුසිත මුරගල සහ සංක ප්‍රසාද් අධ්‍යක්‍ෂණය කළ ‘සඳලු සේයා. ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී විකාශය වීමට නියමිතව තියෙනව.

● කැපිලි කෙටිලිවලට මුහුණ දීලා තියෙනවද?

අපොයි ඔව්” රාවණ ටෙලි නාට්‍ය රූගත කරන කාලෙ ඒ වගේ සිද්ධියකට මුහුණ දුන්නා. පිට අයගෙන් නෙමෙයි” අපේ සහෝදර ශිල්පිණියන් දෙදෙනෙක්ගෙන්මයි.

● මොනවද ඔබේ සීමාවන්?

මම කැමති නැහැ වැඩිපුර අඟපසඟ පෙනෙන” කැපී පෙනෙන ඇඳුම් අඳින්න. ඒ වගේම පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න අපහසු ජවනිකාවලට පෙනී සිටින්න වගේ දේවල් තමයි.

● නිතරම සීමාවන් තුළ වැඩකරන්න ගියොත් ඔබ එකතැනම නේද?

ඔව්” දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක එහෙමත් හිතෙනව. නමුත් මම බලාපොරොත්තු වෙනව හොඳ නිර්මාණ ලැබෙයි කියල.

● ප්‍රාර්ථනා රඟපෑමෙන්ම ඉදිරියට යන්නද හිතන්නෙ?

රඟපෑම බොහෝ දුරට දැන් මගේ වෘත්තිය වෙලා තියෙන්නෙ. ඊට අමතරව විලාසිතා නිරූපණයේ යෙදෙනවා. ඉදිරියේදී මගේම ව්‍යාපාරයක් පටන්ගන්නත් අදහසක් තියෙනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment