සුපර් ලීග් පාපන්දු කුසලාන තරගාවලියේ ශූරයන්ට තිළිණ ප‍්‍රදානය අද

125

අද (20 දා) රාත‍්‍රී 07.00 ට තලවතුගොඩ පිහිටි ග‍්‍රෑන්ඞ් මොනෑක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැත්වෙන මෙරට පළමු සුපර් ලීග් පාපන්දු කුසලාන තරගාවලියේ ශූරයන් හට තිළිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයට සමගාමීව 1995 වසරේ කොළඹදී පැවැති දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් දේශීය පාපන්දු කෙළිබිමට අමරණීය නමක් එක්කළ ක‍්‍රීඩකයන් අගයමින් සම්මාන ප‍්‍රදානය කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

1995 වසරේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති දකුණු ආසියාතික රටවල පාපන්දු ශූරතාවලිය හෙවත් සාර්ක් රන් කුසලාන තරගාවලියේ ශූරතාව  දිනාගැනීමට සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමට හැකි විය. ශ‍්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමක් ජාත්‍යන්තර තරගාවලියකදී ප‍්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ලෙස එය අදටත් නොබිඳී පවතින්නකි. එවර තීරණාත්මක අවසන් තරගයේ දී ප‍්‍රබල ඉන්දියාව ගෝල් 01 – 00 කින් පරාජය කිරීමට ශ‍්‍රී ලංකා පිලට හැකි විය.

එම ස්වර්ණමය ජයග‍්‍රහණයට විසිපස් වසරක් සපිරීම සංකේතවත් කරමින්ම සම්මාන ප‍්‍රදානය සිදුකරන අතර ඒ සදහා සහභාගි වන ක‍්‍රීඩකයන් හට මුදලින් ත්‍යාග පිරිනැමීමට ද ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය බලාපොරොත්තු වේ.

මෙරට තුළ පදිංචිව සිටින ක‍්‍රීඩකයන් 16 දෙනකු සහ එම තරගාවලියේ පුහුණු අභ්‍යාසක ලෙස කටයුතු කළ බ‍්‍රසීල ජාතික මාකෝස් පෙරේයිරා මහතා මෙහිදී ඇගයීමට ලක් කෙරේ. ඔවුන්ට හිමිවීමට නියමිත ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 18 කි.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරෙන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මාන උළෙලේදී සුපර් ලීග් තරගාවලියට සහභාගි වූ සෑම කණ්ඩායමකටම මුදල් ත්‍යාග පිරිනැමෙන අතර ලබන සතියේ ආරම්භ කෙරෙන අන්තර් පළාත් ශූරතා පාපන්දු තරගාවලියේ නිල සමාරම්භක උත්සවය පැවැත්වීමට පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

මෙවර සුපර් ලීග් පාපන්දු තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායම් 10 වෙත රුපියල් ලක්ෂ 235 ක් පිරිනැමීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබීම කැපී පෙනෙන්නකි

මේ අතරවාරයේ කොළඹ දී ක‍්‍රියාත්මක කෙරුණු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අනුශූරතාව තහවුරු කරගත් ශ‍්‍රී ලංකා ජාතික පිල නියෝජනය කළ ක‍්‍රීඩකයන් ද ඇගැයීමට ලක්කෙරෙන බව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමාර් මහතා අනාවරණය කළේය. ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් හට මෙහිදී ශ‍්‍රී ලංකා පාපන්දු වර්ණ ද පිරිනැමේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment