වාතලයට මුසුවූ සංහිඳියාවේ ආත්මය

261

බටහිර රටවල දෙමළ ඩයස්පෝරා සාමාජිකයෝ පිරිසක් පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටියහ. ඔවුන් ප්‍රධාන වශයෙන් ආගමික නායකයන් සමඟ පමණක් නොව සිවිල් සහ දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ මිතුරන් හා ඥාතීන් සමඟ රැස්වීම් මාලාවක නිරත වී ඇත. ඔවුන්ගේ රැස්වීම්වල පැවැති විශේෂත්වය වන්නේ බෞද්ධ භික්ෂූන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ හමුවීම් සඳහා ඉහළ සාධනීය ප්‍රචාරයක් ලබාගැනීමයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආධාරකරුවන් සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්නන් ලෙස හඳුන්වා, ඔවුන් මෙරටට පැමිණියහොත් ඔවුන්ව සැකයෙන් බලා අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබූ කාලයක්ද පැවැතිණි. මෙම අවස්ථාවේදී ඔවුන්, 2014 දී වරක් සහ 2021 දී තවත් වරක් තහනම් සංවිධානයක් ලෙස නම්කළ ගෝලීය දෙමළ සංසදයේ ධජය යටතට පැමිණ ඇත. එම අවස්ථා දෙකේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු බලය ලබාගෙන, අභාවයට ගොස් තිබූ සාම ක්‍රියාදාමයන් යළි ආරම්භ කිරීමත් සමඟ, එම තහනම ඉවත් කෙරිණි.

දෙමළ ඩයස්පෝරා දූත පිරිසගේ සංචාරය සහ ඔවුන්ගේ සංචාරය නිසා ඇති වූ ප්‍රසිද්ධිය බටහිර රටවල ඔවුන්ගේ සමහර සමීප කණ්ඩායම්වල කෝපයට හේතු වී තිබේ. ඒ බව සඳහන් කරමින් ඔවුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ සඳහන් කර ඇත. “දෙමළ ඩයස්පෝරාවේ නියෝජිතයන් සහ සිංහල-බෞද්ධ පූජ්‍ය පක්ෂයේ සහ දකුණේ සිවිල් සමාජයේ කොටසකගේ මෑතකාලීන මුලපිරීම පිළිබඳව අපි ජනමාධ්‍ය මූලාශ්‍ර හරහා දැනගත්තෙමු. මෙම කණ්ඩායම්, දෙමළ ඩයස්පෝරාවේ තෝරාගත් සහ සීමිත නියෝජිතයන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබීම කනගාටුවට කරුණකි. දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයන් කිහිපදෙනකු පමණක් නියෝජනය කරන Global Tamil Forum (GTF) සමඟ මෙම සම්බන්ධ වීම, අපගේ ප්‍රජාව සාමූහිකව නියෝජනය කරන සංවිධානවල ඒකාබද්ධ හඬ සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර නොගනී. GTF විසින් කලින් සිදුකළ නියෝජනය තවදුරටත් සිදුනොකරන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.”

ඔවුන්ගේ සංචාරයේ දේශීය සංවිධායකයන්ගේ සහ ඔවුන්ගේම සාක්ෂිවලට අනුව, GTF සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේදී, මහනුවර ඇතුළුව කොතැනක සිටියත් උණුසුම් පිළිගැනීමක් ලැබී ඇති අතර, එහිදී ඔවුහු ඉහළම බෞද්ධ නාහිමිවරුන් වන අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයේ මහනායක හිමිවරුන් හමුවූහ. එසේම එල්.ටී.ටී.ඊ.ය විසින් කලකට පෙර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ අති පූජනීය දළදා මාළිගාවට ඔවුහු ගිය අතර යාපනයේදී, කොළඹදී සහ මඩකලපුවේ දී අනෙකුත් ආගමික පූජකවරුන් හා සිවිල් සමාජ නියෝජිතයන් ද මුණගැසුණහ. සිවිල් සමාජ සාමාජිකයන් සමඟ ඔවුන්ගේ රැස්වීම්වලදී දුරස්ථ බවක්, ආතතියක් සහ සැකයක් නොතිබිණි. මෙය සැබවින්ම ජාතික ගීය විසින්ම තහවුරු කරන පරිදි “එක මවකගේ දරුවන්” විය යුතු ආකාරයයි.

නිවැරදි වේලාව

ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ස්ථාවර සහ දිගුකාලීන දේශපාලන විසඳුමක් කරා ගමන් කරවීමට සුදුසුම කාලය වර්තමානය වනු ඇත. බහුතර ජනතාව ගොදුරු වී ඇති දරුණු ආර්ථික අර්බුදය හමුවේ, වාර්ගික ගැටුම ප්‍රමුඛතාවක් නොවන බව ඔවුන්ට අවබෝධ කර දී ඇති අතර, රට ආර්ථික දූෂණයෙන්, මංකොල්ලකෑමෙන් සහ පන්ති වරප්‍රසාදවලින් මුදාගැනීම වැදගත් බව අවධාරණය කර තිබේ. මේ දිනවල යාපනයේ හෝටල් පිරී ඇත්තේ ඩයස්පෝරාවේ සිට තම පවුලේ අය සහ මිතුරන් බැලීමට පැමිණි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයගෙනි. අවන්හල් ද ඔවුන්ගෙන් පිරී ඇත. මිල අධික වුවද, සාමාන්‍ය ශ්‍රී ලාංකික වැටුප් ලබන්නකුට ළඟාවිය නොහැකි වුවද, ශ්‍රී ලංකාවේ වෙසෙන අයට ඩයස්පෝරාවේ තම ඥාතීන් සමඟ එම අවන්හල්වල ගාස්තු ගෙවාදැමිය හැකිය.

GTF ශ්‍රී ලංකා සංචාරයේ විශේෂත්වය වන්නේ ඔවුන් වසරක පමණ කාලයක සිට නායක බෞද්ධ භික්ෂූන් සමඟ සම්බන්ධ වී සිටීමයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළ ප්‍රධාන ඩයස්පෝරා කණ්ඩායමක් වුවද, GTF සාමාජිකයෝ ප්‍රධාන පාර්ශ්ව දෙකේ මහානායක හිමිවරුන් සමඟ සාකච්ඡා කර දළදා මාලිගාවට පැමිණියහ. බෞද්ධ පූජ්‍ය පක්ෂය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඔවුහු ඒ බව කියාසිටියහ. “අපි වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් අතර අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සම්බන්ධ වී සිටිමු. 2023 අප්‍රේල් මාසයේදී නාගර්කොට් (නේපාලය) හි පැවැති මූලික ව්‍යුහාත්මක සාකච්ඡාව, එකිනෙකාගේ දෘෂ්ටිකෝණය දැකීමට සහ මෙම ජාතික සංවාදය ආරම්භ කිරීමට රාමුවක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට අපට උපකාරී විය. ශ්‍රී ලංකාවේ සහ ඩයස්පෝරා ප්‍රජාවන්හි මෙම වැදගත් පළමු මුලපිරීම අඛණ්ඩව පවත්වාගෙන යෑමට මග පෙන්වීම සඳහා අපි ‘හිමාලය ප්‍රකාශනය’ සමග එකඟ වීමු. මෙය ඉතා වැදගත් ලියවිල්ලක් වේ. එය දෙපාර්ශ්වය අතර එකඟතාවක් නියෝජනය කරන අතර, එක් පාර්ශ්වයක අන්තවාදී ප්‍රාර්ථනා ලැයිස්තුවක් පමණක් නොවේ.

GTF සහ බෞද්ධ භික්ෂූන් අතර සංවාදයක් තුළින් ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය මනාව සකස් කරන ලද ලියවිල්ලකි. යුක්තිය සහ සංහිඳියාව තුළින් ශ්‍රී ලංකාව ඒකීය තත්ත්වයකට ගෙනඒම සඳහා කළ යුතු දේ පිළිබඳ ආත්මය එය ග්‍රහණය කරයි. හිමාලය ප්‍රකාශනය (නේපාලයේ ඔවුන්ගේ රැස්වීමේ ස්ථානය) යන නම ලබා දී ඇති එම ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඉල්ලා සිටින්නේ:

  • කිසිදු ප්‍රජාවකට තම අනන්‍යතාව සහ අභිමානය අහිමිවීමේ තර්ජනයක් ඇති නොවන රටේ බහුත්ව ස්වභාවය ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
  • ආර්ථික අර්බුදයෙන් ගොඩඒම, දේශීය නිෂ්පාදනය දිරිමත් කරන සුදුසු සංවර්ධන ආකෘතියක් තෝරාගැනීම, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ වෙනත් අය සම්බන්ධ කර ගැනීමට සහ ආයෝජනයට පහසුකම් සැලසීම, රට වර්ධන මාවතක පවතින බව සහතික කිරීම සහ ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් බවට පත්කිරීම.
  • පුද්ගල සහ සාමූහික අයිතීන් සහතික කරන සහ සියලු ජනතාව අතර සමානාත්මතාවය සහ සමාන පුරවැසිභාවය ප්‍රවර්ධනය කරන, වගකියන ආයතන සහතික කරන සහ පළාත්වලට ප්‍රමාණවත් බලතල බෙදාහැරීමක් සහතික කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම හා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල බෙදාගැනීමේ විධිවිධාන විශ්වාසවන්තව ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුකිරීම.
  • එක්සත් සහ නොබෙදුණු රටක බලය බෙදාහැරීම, මිනිසුන්ගේ ආගමික, සංස්කෘතික සහ වෙනත් අනන්‍යතා පිළිගෙන එම අනන්‍යතාවලට ගරුකිරීම සහ ජනවාර්ගික කණ්ඩායම් හා ආගමික කණ්ඩායම් අතර විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කිරීම.
  • සංහිඳියාවෙන් සහ එහි අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමට කැපවී සිටින ශ්‍රී ලංකාවක් පරිකල්පනය කිරීම සහ එවැනි දුක් වේදනා නැවත කිසිදා ඇති නොවන බව සහතික කිරීම සඳහා වගවීම ඇතුළු ක්‍රියාමාර්ග නිර්මාණය කිරීම.
  • ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ගිවිසුම් සහ අන්තර්ජාතික බැඳීම්වලට අනුකූලවීම, ස්වාධීන හා ගතික විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පියවර ගැනීම සහ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී හා සමෘද්ධිමත් ජාතීන් අතර සිය එහි අභිමානය සහතික කිරීම.

GTF සමඟ සම්බන්ධවීමට නායකත්වය දෙන බෞද්ධ භික්ෂූන් වහන්සේ අතර, කොවිඩ් රෝගයෙන් මියගිය අය බලහත්කාරයෙන් ආදාහනය කිරීමට එවකට පැවැති ආණ්ඩුව දැඩි හා අවිද්‍යාත්මක තීරණයක් ගත් අවස්ථාවේදී, වසංගතය පවතින විට තම මළවුන් භූමදාන කිරීමට ඉස්ලාමීය ආගමේ අයට ප්‍රතිපත්තිමය හා ධෛර්ය සම්පන්න ස්ථාවරයක් ගත හැකි බව පැවැසූ මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමි සහ මාදම්පාගම අස්සජි හිමිද වෙති. මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දැරූ කළුපහන පියරතන හිමි ද ඊට ඇතුළත්ය. නේපාලයේ එකඟතාව ඇතිකර ගැනීමේදී, 2005 වසරේ සාමූහික නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කරන ලද විශාකා ධර්මදාස විසින් ලොව පුරා සිටින සාම කාන්තාවන් 1000 ක කණ්ඩායමක කොටසක් ලෙස කටයුතු කිරීම ප්‍රධාන දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් සහ බෞද්ධ පූජකවරුන් අතර පොදු පදනමක් නිර්මාණය කිරීමට උපකාරී විය.

වාතලයට මුසුවූ සංහිඳියාවේ ආත්මය

පරස්පර විරෝධී සාක්ෂි

GTF කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ උච්චතම අවස්ථාව වූයේ ඔවුන්, සහභාගි වූ බෞද්ධ පූජකවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඒකාබද්ධ හමුවයි. මේ හමුවට විශාල ජනමාධ්‍ය ආවරණයක් ලැබිණි. සාමය ගොඩනැගීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් දරන ප්‍රයත්නයට තමාගේ සහාය ලබාදෙන බවට ජනාධිපතිවරයා එම රැස්වීමේදී කණ්ඩායමට සහතික වී තිබේ. මෙම සහතිකය තම කාර්යයට රටේ ඉහළම දේශපාලන අධිකාරියේ ආශිර්වාදය ඇති බවට සමාන අදහස් ඇති අයට සහතිකයක් ලබාදෙනු ඇත. කෙසේවෙතත්, අභියෝගයට මුහුණදීමට දේශපාලන නායකත්වය ලබාදීම අන් අයට භාර දෙනවාට වඩා, එය සිය වගකීම බවට පත්කර ගැනීම සිදුකළ යුත්තක් වේ. ඒ වෙනුවෙන් රාජ්‍යයේ වගකිවයුතු ආයතන පිහිටුවීමට සහ නීතියේ අන්තර්ගත යුක්තිය තහවුරු කිරීමේ ක්‍රමවේදයන් ගොඩනැගීමට රජය දේශපාලන නායකත්වය ලබාදිය යුතුයි.

පසුගිය වසර තුනක කාලය තුළ මඩකලපුවේ දෙමළ ගොවීන් සහ එඬේරුන් මැසිවිලි නගමින් සිටින්නේ, තම ගවයන්ට ආහාර සොයාගන්නා තණබිම් සිංහල පදිංචිකරුවන් විසින් බඩ ඉරිඟු වගාකිරීම සඳහා පවරා ගන්නා බවටයි. 2011 වසරේ කැබිනට් තීරණයකින් රජය විසින් මෙම තෘණ භූමිය වෙන්කර ඇති බව පැවැසේ. කෙසේවෙතත් 2020 වසරේ සිට පොළොන්නරුවේ සිංහල පදිංචිකරුවෝ බඩඉරිඟු වගාව සඳහා තණබිම් ඈඳාගනිමින් සිටිති. මෙම පරස්පර අවසරයන් විසින් ආතතීන් ඇතිකර තිබේ. ජනාධිපතිවරයා මීට මාස දෙකකට පෙර මඩකලපුවට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වා, ගවයන් 80කට අධික සංඛ්‍යාවක් සොරකම් කර, ඝාතනය කර හෝ විදුලි සැර වද්දා ඝාතනය කර ඇති බව, දැන් දෙමළ ගොවීන් වෙනුවෙන් නීතිඥවරයකු ලෙස පෙනීසිටින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ටී. ජයසිංහම් තහවුරු කර ඇත. සැබෑ අලාභය ගවයන් 160ක් පමණ වන බව පැවැසේ. “මෙම අසාධාරණ තත්ත්වය ක්‍රියාත්මක වන්නේ, 2023 ඔක්තෝබර් 08 වැනි දින ජනාධිපතිවරයාගේ මඩකලපු සංචාරයට පෙර දිනයේ පොලිස් මුරපොළ දෙකක් ස්ථාපිත කර තිබියදී සහ එම සංචාරය අතරතුර චෙන්කලඩි හි මෙම ජනතාවට සාධාරණය ඉටුකරන ලෙස ඔහු කළ ප්‍රකාශය පැවැතියදී ය” යැයි ඔහු ප්‍රකාශ කර ඇත.

“2013 නොවැම්බර් මාසයේදී එලෙස අනවසරයෙන් ඇතුළු වූවන් 13 දෙනකු ඉවත් කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරන ලද අතර, 2022 ජූලි මාසයේදී අභියාචනාධිකරණය විසින් අනවසරයෙන් ඇතුළු වූ සියලුදෙනා ඉවත් කිරීමට මහවැලි අධිකාරියට නියෝග කරන ලද නමුත් එම නියෝග ක්‍රියාත්මක නොවීය. කිසිවක් ඵලදායි ලෙස ක්‍රියාත්මක වී නොමැති අතර, එය ආණ්ඩුකරණයේ සහ පරිපාලනයේ නොදැනුවත්කම හෝ නොහැකියාව හෝ සුළු ජාතීන්ට යුක්තිය ලබාදීම යටපත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ප්‍රදර්ශනය කරයි” යැයිද මහාචාර්ය ජයසිංහම් සඳහන් කර තිබේ. ඉහළම බලය සහිත විධායක ජනාධිපතිවරයාගේ වදන්ද ක්‍රියාවට නැංවීමට නොහැකි වූ විට ජනතාව තුළ ක්‍රමය කෙරෙහි ඇති විශ්වාසය නිරන්තරයෙන් ගිලිහී යනු ඇත. තවද අධිකරණයේ නියෝගද ක්‍රියාත්මක නොවන විට සහ පොලිසිය ක්‍රියාත්මක වීමට අපොහොසත් වූ විට ඔවුන්ගේ විශ්වාසය මුළුමනින්ම නැති වී යනු ඇත. ප්‍රචණ්ඩත්වය මතුවන්නේ එවැනි තත්ත්වයන් තුළය. වචන ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළ යුතුය. නැතහොත් සුහදතාවේ සහ සංහිඳියාවේ ආත්මය තීරණාත්මක ලක්ෂයකට ගෙන එමින්, ගැටලුවලට විසඳුමක් නිර්මාණය වන්නේ නැත. 2011 කැබිනට් පත්‍රිකාවට අනුව ජනාධිපති නියෝගයක් මගින් තෘණ බිම් ගැසට් කිරීම සංහිඳියාවට ආරම්භයක් විය හැකිය.

● ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment