මාධ්‍යවේදීන්ට බයවුණු මන්ත්‍රීවරිය

223

අලුතෙන් කැබිනට් සංශෝධනයක් වේ යැයි කියා දේශපාලනයට සම්බන්ධ බොහෝ දෙනෙක් බලා සිටියහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනපති බවට පත් වී වසරක් ගත වී ඇතත් අලුතෙන් ඔහුට අවශ්‍ය ඇමැති මණ්ඩලයක් පත් නොකිරීම ගැන බහුතරයක් මන්ත්‍රීවරු හිටියේ කනස්සල්ලෙනි.

ඇමැතිකම් ලබාගෙන ආණ්ඩුවට සහාය දෙන්නට පාර්ශ්වයන් කීපයක්ම බලාපොරොත්තුව සිටියහ. කට්ටියක් හිටියේ සමගි ජනබලවේගය ඇතුළේය. තවත් පිරිසක් දෙමළ මුස්ලිම් කුඩා කුඩා පක්ෂවල සිටියහ. ආණ්ඩුව ඇතුළේ පොහොට්ටුව නියෝජනය කරන කණ්ඩායමේද කිහිප දෙනෙක් ඇමැතිකම් බලාපොරොත්තුව සිටියහ. එහෙත් ඒ කිසිවකුටත් සිතැඟි පරිදි තම බලාපොරොත්තු ඉටුකර ගැනීමට ක්‍රමයක් නොවීය. හමුවී කතා කරන අවස්ථාවල ජනාධිපතිවරයා ඒ සඳහා ධනාත්මක ප්‍රවණතාවයක් පෙන්නුම් කළත් කැබිනට් සංශෝධනය දවසින් දවස කල් යෑම නිසා බහුතරයක් දෙනා අමාරුවේ වැටී සිටියේ යැයි කීවොත් එය අතිශයෝක්තියක් නම් නොවේ.

මේ සම්බන්ධයෙන් පසුගිය සති දෙක තුන ඇතුළත ජනාධිපති හමුවන්නට විවිධ පාර්ශ්වයන් පැමිණ සාකච්ඡා කරන්නට පටන් ගෙන තිබිණි. විශේෂයෙන්ම මේ ගැන සාකච්ඡා කළ පිරිස අතර පොහොට්ටුවේ කණ්ඩායම ප්‍රමුඛත්වයක් ගත්තේය. එහෙත් තම බලාපොරොත්තු ඉටු නොවූ තැන පොහොට්ටුවේ යම් යම් ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාට එළිපිටම දොස් පවරන්නට පටන් ගත්හ. එක්තරා මන්ත්‍රීවරයෙක් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දොස් කීවේ රනිල්ගේ ඇමැතිකම් තම බල්ලාටවත් එපා කියාය.

● ජනපති – පොහොට්ටු ගැටුම ඇරඹෙයි…

නිර්මාණය වෙමින් තිබෙන අයහපත් තත්ත්වය ගැන අවබෝධ කරගත් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ හා ජනාධිපතිවරයාගේ විශේෂ හමුවක් සූදානම් කරන්නට කල්පනා කළේය. සතියකට පෙර පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් ජනාධිපතිවරයාත් හමුවන්නේ එම සම්බන්ධීකරණයට අනුවයි.

නමුත් අවසානයේ එහි දී සිදු වූයේ ද දෙපාර්ශ්වය අතර හිත් නරක් වීම නිසා සංහිඳියාවක් ඇති වීම නම් නොවේ. එම හමුවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් බහුතරයක් පැමිණියේ නැත. එහෙත් ලේකම් සාගර කාරියවසම් එහි ගියේය. එහිදී කළේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තම කණ්ඩායම තුළ වූ විවේචනය පොදුවේ ඉදිරිපත් කිරීම පමණි.

මේ තත්ත්වය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සිටින විවිධ පාර්ශ්වයන් සමග කටයුතු කිරීමේදී කල්පනාකාරී පියවරක් අනුගමනය කළේය.

එම හමුව වැනි තවත් හමුවක් මෙම සතියේ ද සංවිධානය විය. ජනාධිපතිවරයා එහිදී පාර්ලිමේන්තුවේ සාමුහික වගකීම දැරීම සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළේය.

“විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂය දැන් මට දොස් කියනවා. එදා අගමැතිකම භාර ගත්තා කියලා. හැබැයි කවුරුත් දන්නවා එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මුලින්ම මේ වගකීම භාරගන්න කියලා කතා කළේ මට නෙවෙයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට. එතුමා ඒක භාරගත්තේ නැති වුණාම තමයි මට කතා කළේ. මම භාර ගත්තා. ඒක නිසා මම අද ජනාධිපති වෙලා ඉන්නවා. මට කලින් ඒ අවස්ථාව ලැබුණ කෙනා එදා ඒක භාර ගත්තා නම් මේ වෙනකොට ජනාධිපති මම නෙවෙයි එතුමා. ඒ තත්ත්වය දැන දැනත් අද මේ විපක්ෂය මේ විදියට විවේචන ගේන එක වැරදියි. ඔයගොල්ලො පාර්ලිමේන්තුවේ වාද විවාදවලට සහභාගි වන විට ඒව මතක් කරන්න. විපක්ෂ නායකතුමාට එරෙහිව පාවිච්චි කරන්න ඕන තරම් ඒ වගේ කරුණු තියනවා… ඇයි ඔයගොල්ල වාද විවාදවලදී ඒව කතා කරන්නේ නැත්තේ…

කෙසේ වෙතත් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නට මන්ත්‍රීවරුන් ගියේ නැත. රනිල්ව රකින්න, රනිල්ගේ වැඩ වෙනුවෙන් විපක්ෂය සමග පාර්ලිමේන්තුවේ රණ්ඩු වෙන්න තමන් ඉදිරිපත් වන්නේ මොන හේතුව නිසා දැයි මෙහිදී පොහොට්ටුවේ බහුතරයක් මන්ත්‍රීවරුන් තර්ක කරන්නට වූයේ එම රැස්වීමේදී නොවේ. එය ඉවර වී ආවාට පසුවයි. ඒ අයුරින් පොහොට්ටුව ඇතුළෙ නොහොඳ නෝක්කාඩු දිගින් දිගටම පැවැතුණා මිස සමථයකට පත් වූයේ නම් නැත.

● රනිල්ගෙන් එල්ලවූ දේශපාලන බෝම්බය…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තය ගත කළේ නුවරඑළියේ ය. එහිදී ඔහු නීතිඥවරුන්ගේ වැඩමුළුවකට සම්බන්ධ විය. සම්මන්ත්‍රණය අමතා ඔහු එහිදී විශේෂ කතාවක්ද කළේය. එම කතාවේ දී ඔහු ඉදිරිපත් කළ එක්තරා අදහසක් දේශපාලන කථිකාවේ ලොකු සංවාදයක් ද නිර්මාණය විය.

ජනාධිපතිවරයා එහිදී කීවේ සමහර දේශපාලන පක්ෂ ඡන්දයක් ඉල්ලමින් මේ මොහොතේ විවිධ සටන් පාඨ කිව්වත් මේ සිටින කිසිදු පක්ෂයකට එකට එකතු වී වත් 50% ක බහුතරයක් ලබාගත නොහැකි බව ය.

ජනාධිපතිවරයා ගේ මේ කතාව මාධ්‍ය තුළින් ප්‍රචාරය වීමත් සමඟම විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවක් ඉන් කැළඹීමට පත් වූහ. එපමණක් නොව, ඔවුන් ඊට ප්‍රතිචාර දක්වන්නට වූහ…

මේ තත්ත්වය ගැන තරුණ නීතිඥවරු කිහිප දෙනෙක් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේ මෙසේය…

“කිසිම පක්ෂයකට අද සීයට පනහක් නෑ කියලා ඔබතුමා කිව්ව නිසා විපක්ෂය දැන් කලබල වෙලා. පුළුවන් නම් ඡන්දයක් තියන්න. එදාට අපි 50% තියෙන හැටි පෙන්නනව කියලයි ඔවුන් කියන්නේ…” තරුණ නීතිඥයෙක් කීවේය.

“1977න් පස්සේ මෙහෙ මේ වෙනකම් කිසිම පාර්ලිමේන්තු මැතිවරණයකදී කිසිම පක්ෂයක් 51% ඉක්මවලා නෑ. එදා ජේ. ආර්. වත් හිතුවේ නෑ 5/6 ලැබෙයි කියලා. තුනෙන් දෙකක බලයක් එදායින් පස්සේ කාටවත් තිබුණේ නැහැ. ඔය කෑගහන පක්ෂවලටත් පොදුජන පෙරමුණටවත් මේ පාර 50% ලැබෙන්නේ නෑ. ඒකයි ඇත්ත..”

තරුණ නීතිඥ සමුළුවෙන් පසු ආර්ථික සමාලෝචනයක් ද පැවැත්විණි. සියල්ල අවසන් කොට ජනාධිපතිවරයා ඉරිදා හවස කොළඹ ආවේ සඳුදා සිට තිබෙන වැඩ රාජකාරි රැසක් අවසන් කිරීමට අවශ්‍යව තිබූ නිසාය.

සඳුදා සුපුරුදු පරිදි අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වුණු අතර ඊට පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පැවැත්විණි. ඒත් ඒ කිසිවක් වඩා දුරදිග ඇදුනු දීර්ඝ සාකච්ඡාවන් වූයේ නැත.

පසුගිය සති අන්තයේ පොසොන් පොහොය නිමිති කරගෙන රට පුරා ආගමික උත්සව රැසක්ම පැවැත්වුණු අතර දේශපාලනඥයෝ ද ඒවාට සහභාගි වීම හා අනුග්‍රහය දැක්වීම විශේෂත්වයක් විය. මේවා අතරින් ප්‍රධානම පොසොන් උත්සවය පැවැත්වුණේ අනුරාධපුරයේ සහ මිහින්තලාවේය.

මිහින්තලේ රජමහා විහාරයේ පැවැති පොසොන් උත්සවය සම්බන්ධයෙන් මුල පටන්ම ගැටලු මතුවී තිබිණි. මිහින්තලා විහාරයේ හා පුදබිමේ ආගමික කටයුතුවලට ආණ්ඩුවේ අනුග්‍රහයක් නොලැබීම සම්බන්ධයෙන් විහාරය පැත්තෙන් විවිධ චෝදනා මතු වුවත් ආණ්ඩුවටද ඒවාට ප්‍රති උත්තර රැසක් තිබිණි. කෙසේ වෙතත් මෙවර මිහින්තලා පුදබිමේ බරපතළ ප්‍රශ්නය වූ ආලෝක පූජාවේ දායකත්වය සහ අනුග්‍රහය භාරදෙන තිබුණේ මාධ්‍ය ආයතනයකි. සමගි ජනබලවේගයේ අනුග්‍රහයද විහාරස්ථානයේ උත්සව කටයුතුවලට නොමදව ලැබී තිබෙන බව තහවුරු වූයේ එහි නායක සජිත් ප්‍රේමදාස උත්සවයේ වැඩකටයුතුවලට සහභාගි වී කරන ලද මෙහෙවර නිසා ය.

● එජාප සභාපති වජිරට දන්සල් නිසා බාධක…

ඒ අතරතුර උඩුගම්පළ ප්‍රසන්නගේ නිවසේ ද පොසොන් දා සුවිසල් බත් දන්සලක් පවත්වනු ලැබුවේ දිවංගත රෙජී රණතුංග මහතා ජීවත්ව සිටි කාලයේ පටන් පවත්වාගෙන ආ පුණ්‍යකර්මයක් ලෙසය. ප්‍රදේශයේ දානපතියන්ගේ හා ප්‍රභූන්ගේ ආධාර අනුග්‍රහය ද ඒ සඳහා නොඅඩුව ලැබී තිබිණි. විශේෂත්වය වූයේ මේ දන්සලට ප්‍රදේශයේ දේශපාලනඥයෝ ද කීපදෙනෙක් සහභාගි වී සිටීමයි. සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර, මිලාන් ජයතිලක, මන්ත්‍රීවරු ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයෝ ද විශාල පිරිසක් සිටියහ.

දන්සල පැවති අවස්ථාවේදී මහජන ප්‍රදර්ශනය සඳහා යොදා තිබූ විසල් තිරයක එක්තරා වීඩියෝ දර්ශනයක් ප්‍රදර්ශනය වෙමින් තිබිණි. ඉකුත් වසරේ තම නිවස ගිනි තබන්නට පැමිණි පිරිස පැහැදිලිව හඳුනාගත හැකි ලෙස සකස් කරන ලද එම වීඩියෝ දර්ශනය තුළ කෝපාවිෂ්ඨ වූ අරගලකරුවන් නිවසට පහර දෙන ආකාරය හා ගිනි තබන ආකාරය දැකබලා ගත හැකි වීම දන්සලට පැමිණි ප්‍රදේශවාසීන්ට සුවිශේෂී අත්දැකීමක් විය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අභයවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැති බත් දන්සලක් ද එම අවස්ථාවේ පිටකෝට්ටේ සිරිකොත මන්දිරය අසල ක්‍රියාත්මක වෙමින් තිබිණ. එයට සහභාගිවීම සඳහා සිරිකොතට පැමිණි වජිර මගතොටදී තමන්ට මුහුණ දෙන්නට සිදු වූ සිද්ධීන් ගැන විස්තර කළේ මෙවර පොසොන් උත්සවය සමරන්නට මහජනතාව තුළ ඇති උනන්දුව හා උද්‍යාගය ගැනද විස්තර කියමිනි…

“ගිය අවුරුද්දේ මේ කාලේ වෙනකොට අපේ රටේ මිනිස්සු හිටියේ පෙට්‍රල් පෝලිම් වල. එහෙමත් නැත්තං ගෑස් පෝලිම් වල. එහෙම තිබුණු රට අපේ ජනාධිපතිතුමා ඇවිත් අනිත් පැත්තට හරවල අවුරුද්දක් යනකොට ජනතාව ගෙනල්ල දන්සල් පෝලිම්වලට ගෙන ආවා. මේක විශාල සමාජ විප්ලවයක්. එහෙම කරලත් සමහර මිනිස්සු අද ජනාධිපතිතුමාට බනිනව. මට මගේ ගෙදර ඉඳලා සිරිකොත ළඟට එන්න පැයකට වඩා කාලයක් ගත වුණා. මේ දන්සල්වල උද්‍යාගය නිසා.”

එසේ කියමින් ටික වේලාවක් සිරිකොත දන්සලේ රැඳී සිටි වජිර එතනින් නික්ම ඊළඟට ගියේ සහන් ප්‍රදීප් විසින් සංවිධානය කර තිබූ මහර පොසොන් කලාපය විවෘත කිරීමේ කටයුත්ත සඳහාය. කොහොම වෙතත් වජිරට මහර බලා යන ගමන දන්සල් සෙනඟ නිසා ලෙහෙසි පහසු කටයුත්තක් වූයේ නැත.

මේ අතර ප්‍රසන්නගේ නිවසට පැමිණ දන්සලට සහභාගි වූ දේශපාලනඥයෝ දන්සල් අවස්ථාවේ ප්‍රචාරය කළ වීඩියෝ පටය ගැන කතාබහ කරමින් සිටියහ.

“මේක මරු වැඩක්. ගේ ගිනි තියපු මිනිස්සු ඔක්කොගෙම ෆොටෝ සර් ළඟ තියෙනවා. අපේ ගෙවල් ගිනි තියපු මිනිස්සුන්ගේ විස්තර අපි ළඟවත් නෑ” ඒ මන්ත්‍රිනී කෝකිලා හර්ෂණීය.

“මගේ ගේ ගිනි තියපු, ගෙදර තියෙන බඩු අරගෙන

ගියපු හැම මිනිහෙක්ගෙම ෆොටෝ, විස්තර ඔක්කොම මගේ ළඟ තියෙනවා. මම ඒ හැම දෙයක්ම පොලිසියට, මානවහිමිකම් කොමිසමට දීල තියෙනවා.” ඇමැති ප්‍රසන්න කීය.

“සර්.. කොහොමද ඕව හොයා ගත්තෙ. හරියට සී.අයි.ඩී. එකෙන් වගේ” කෝකිලා යළි විමසීය.

“මට මේ හැම දෙයක්ම දුන්නේ ගමේ මිනිස්සු. මිනිස්සු එක්ක ඉන්නවනම් ඕව හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියල” ඇමැති ප්‍රසන්න පිළිතුරු දුන්නේය.

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. ආණ්ඩුවේ අණපනත් ගණනාවක්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ නිසා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කර තිබුණි. විපක්ෂයේ උනන්දුව ද ඒ තරමටම වැඩි වී තිබිණි.

● ටී එන් එල් බලහත්කාරයට
ගෙවිඳුගෙන් උත්තරයක්…

මේ අතරතුර උතුරුකරේ මූලික වූ ප්‍රදේශයේ පැවති එක්තරා කටයුත්තකට සහභාගි වන්නට ගිය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් හා පොලිසිය අතර ඇතිවූ සිද්ධිය පාර්ලිමේන්තුවේ කතාබහට ලක් වන තරමට දුර දිග ගොස් තිබුණේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නට ඒ වන විට පොලිසිය කටයුතු කර තිබූ නිසාය.

මන්ත්‍රීවරයාට චෝදනා කර තිබුණේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ඔවුන්ට බලහත්කාරී ලෙස කටයුතු කිරීම සම්බන්ධවයි.

පොලිසිය පවසන අන්දමට මන්ත්‍රීවරයා සහභාගි වන උත්සවයකට හොර රහසේ පොලිසිය බුද්ධි නිලධාරීන් සහභාගි කර තිබුණේ මන්ත්‍රීවරයා කිසිදු ආරක්ෂාවකින් තොරව උත්සවයකට සහභාගි වී සිටි නිසා ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙනි. එහෙත් අන්තිමේ පොලිස් නිලධාරීන්ට සිදුවූයේ මන්ත්‍රීවරයාගෙන් ආරක්ෂා වීම සඳහා පැන දුවන්නට ය. ඒ අතර ඒ ආසන්නයේ විභාග ශාලාවක ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද මන්ත්‍රීවරයාගෙන් බාධා සිදුවිය.

මෙකී තත්ත්වය නිසා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළේය. සිද්ධිය පාර්ලිමේන්තුව තුළ දැඩි ලෙස සාකච්ඡාවට ලක්විය. බදාදා දිනයේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් දෙමළ බසින් සිද්ධිය පිළිබඳව බරපතළ විවේචනයක් එල්ල කළේ ආණ්ඩුවට පොලිසියට හා පොලිස්සිය භාර ඇමැතිවරයාට බරපතළ චෝදනා එල්ල කරමිනි.

කෙසේ වෙතත් වෙනත් සාකච්ඡාවකට සහභාගි වන්නට එම අවස්ථාවේ පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.

“ඇයි මේවට උත්තර නොදී බලාගෙන ඉන්නෙ…” යැයි බොහෝ දෙනෙක් ටිරාන්ගෙන් අසන්නට වූහ.

“මම ආවේ ඕකට නෙවෙයි. කමක් නෑ උත්තර දෙන්නම්කෝ…” කියා ටිරාන් ඊට ඉදිරිපත් විය.

සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ චෝදනාවලට උත්තර දෙන්න ටිරාන් පාර්ලිමේන්තුවෙන් අවසර ගෙන නැඟී සිටියා පමණි… ගජේන්ද්‍ර කුමාර් හා සුමන්තිරන් මන්ත්‍රීවරු ඔහුට ඊට කිසිදු ඉඩක් දුන්නේ ම නැත. ඔවුන් දෙදෙනා ආසන වලින් නැඟිට දිගින් දිගටම බාධා කරන්නට වූහ… එහෙත් ඔවුන් දෙදෙනාම මිස් අන්ධ කරවන මට්ටමේ උත්තරයක් මේ වෙලාවේ ලද නිමේෂයකින් ඉදිරිපත් කරන්නට ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා සමත් විය…

“ඇයි ඒ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ඇමැතිවරයාට උත්තරයක් දෙන්න අවස්ථාව නොදෙන්නේ. මේ මන්ත්‍රීවරුන්ගේ මෙතන හැසිරීම මෙහෙම නම් එදා එතන පොලිස් නිලධාරීන්ට කොහොමට රාජකාරියට බාධා කරන්න ඇත්ද ..”

දෙවිඳුගේ ඒ උත්තරය සුමන්තිරන් ලජ්ජාවට පත් කරන්නට සමත් විය. මන්ද ඔහු ප්‍රජාතන්ත්‍රවාදය හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැන නිතර කතා කළ නිසාය.

● ජනපති මහින්දගේ උස ගැන වාදයක්…

පසුගිය සතියේ පාර්ලිමේන්තුව බලන්නට පිටස්තරින් හා කණ්ඩායම් කිහිපයකට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවන්නට අවශ්‍ය වූහ. මහින්ද මහතාගෙන් ඒ සඳහා අවසර ලැබුණි.

එක් කණ්ඩායමක් පොළොන්නරුවෙන් රැගෙනවිත් තිබුණේ අමරකීර්ති අතුකොරල මන්ත්‍රීවරයා වෙනුවෙන් පොළොන්නරුවෙන් පත්ව ආ අලුත් මන්ත්‍රීතුමා ය. දෙවන කණ්ඩායම කුරුණෑගල සිට පැමිණ සිටියේ සමන් ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා සමග ය.

මෙසේ පැමිණි පිරිසට ජනාධිපති මහින්ද හා කතාබහ කිරීමෙන් අනතුරුව ඔහු සමඟ සමූහ ඡායාරූපවලට පෙනී සිටින්නත් අවශ්‍ය වූහ. එම අවස්ථාවේ ඡායාරූප ශිල්පියාගේ රාජකාරිය ඉටු කළේ සමන්ප්‍රිය හෙරත් මන්ත්‍රීවරයාය…

මෙයාට ෆොටෝ ගැහිල්ල හොඳට පුරුදුයි වගේ… කියමින් මහින්ද මහතා ඔහුට විහිලු කරද්දී ජනතාව සමග ඡායාරූපවලින් පසු තනි තනිව සිටිමින් ෆොටෝ ගන්නට ද වූහ. ජනාධිපති මහින්ද ඒ සඳහා විරුද්ධ වූයේ ද නැත. එයට තරමක වෙලාවක් ගතවිය…

“සර් අපිව දාලා දේශපාලනයෙන් සමුගන්නේ එහෙම නෑ නේද…” අයෙක් විමසා සිටියේය..

“නෑ නෑ එහෙම අදහසක් නෑ… මම ඕගොල්ලො කියනකං දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නෑ… මහින්ද මහතා කීවේය.

ඒ අතරතුර මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද එතැනට පැමිණියේය. නෙත් මාධ්‍යවේදී හේමන්ත කහවලගේ දුටු මහින්ද ජනාධිපතිතුමා ඔහු සමඟ කතා කරද්දී එතැන මාධ්‍යවේදිනියක් ද සිටියාය. ඕ තරමක් උස ය.

“ඔයාගේ උස කීයක් වෙනවද…” මහින්ද මාධ්‍යවේදිනියගෙන් ඇසීය.

“සර් මගෙන් ඔය ප්‍රශ්නෙ දෙපාරක් අහල තියෙනවා. මගේ උස අඩි පහයි අඟල් අටයි…”

“වෙන්නැති.. මගේ උසත් ඒ ගානමනේ…”

“නෑ නෑ… සර් ඊට වඩා උසයි. සර්ගේ උස පහයි දහයක් විතර වෙනවා.” සමන්ප්‍රිය හේරත් එතන සිටි ආරක්ෂක නිලධාරීන් ද තර්ක කරන්නට වූහ.

“පිස්සුද හලෝ… මගේ උස මම දන්නැද්ද. ඕනම කෙනෙක් තම තමන්ගේ තරම හොඳට මතක තියාගන්න ඕන…” මහින්ද මහතා වටපිට බලමින් කීවේ කාට කාටත් පාඩමක් කියා දෙන්නාක් මෙනි.

මෙයා අතර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය එතනට පැමිණ නෙත් හේමන්ත සිටිනු දැක “බැලුම් ගලේ කට්ටියත් ඇවිල්ල ඉන්න නිසා ටිකක් පරිස්සමින් කතා කරන්න ඕනෑ..” යැයි කීවාය.

“ඔයා දේශපාලනයට අලුත් නේ.. ඒකයි මාධ්‍යවේදීන්ට බය. මෙයාලා අද ඊයේ දේශපාලනයට සම්බන්ධ වුණ අය නෙවෙයිනේ. ගහන්න ඕන එක, නොදාන එක මෙයාලා දන්නවා…” මහින්ද මහතා එසේ කියමින් එළියට ගියේ පිටස්තරින් පැමිණ සිටින අමුත්තන්ට දිවා ආහාරය සැපයීම සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරුන්ගෙන් තොරතුරු විමසමිනි…

එදින හවස දෙකට ආණ්ඩුවේ අලුත් විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක් තිබුණි. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ඒ සඳහා සහභාගි වන්නට මාධ්‍ය නාලිකා ප්‍රධානීන්ට හා නියෝජිතයන්ට ආරාධනා කර තිබූ බැවින් විද්‍යුත් මාධ්‍ය ආයතන ගණනාවකින් නියෝජිතයෝ පැමිණ සිටියහ. රැස්වීම කමිටු ශාලා අංක 8 හිදී පැවැත් වුණේ විජයදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ ප්‍රවීණ දේශපාලනඥයන් කීප දෙනකුගේ සහභාගිත්වය ඇතිව ය… විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය මහතා ද මේ සඳහා කල් වේලා ඇතිවම පැමිණ සිටියේය.

මුලින්ම විජයදාස රාජපක්ෂ පනත සම්බන්ධයෙන් විශේෂ විවරණයක් කළේය. එම අවස්ථාවේ මාධ්‍යවේදීන්ට සපයා දී තිබුණේ පනත් කෙටුම්පතේ ඉංග්‍රීසි පිටපත්ය. මාධ්‍යවේදීන් එහි සිංහල හා දෙමළ පිටපත් ද ඉල්ලා සිටියහ. සති දෙකකින් ඒවා ලබා දෙන බවට අමාත්‍යවරයා පොරොන්දු විය.

මේ අතර විකාශන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවිය. නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවලට වල්බූරු නිදහසක් අවශ්‍ය නැතැයි කියමින් තරමක් අපහාසාත්මකව කළ කතාව මාධ්‍ය ප්‍රධානීන්ගේ කණස්සල්ලට හේතුවක් විය. බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මේ අවස්ථාවට සහභාගි වී සිටියත් වැඩිමනක් කතාබහට එක්වූයේ නැත.

එම සාකච්ඡාව අවසන් වූවාට පසු මාධ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසට විපක්ෂ නායකයා හමුවන්නටද ආරාධනාවක් තිබිණ. ආණ්ඩුවේ අලුත් විකාශන අධිකාරිය පනත ගැන විපක්ෂයේ මතය හෙළිදරව් කිරීම එම හමුවේ අරමුණ වී තිබිණි. එම හමුව සජිත්ලාගේ සමගිජන බලවේගය මෙන්ම ඩලස්ලා ගේ නිදහස කණ්ඩායම ද එක්ව සංවිධානය කරන ලද්දක් බව වැටහී ගියේ මහාචාර්ය ජී එල් පීරිස් මෙහෙ නීතිමය තත්ත්වය ගැන විවරණය කරන්නට පැමිණ සිටීම නිසාය.

“මෙම විකාශන අධිකාරියට සාමාජිකයෝ පස් දෙනයි. හැබැයි යමක් පිළිබඳ තීන්දුවක් ගන්නට බහුතරයකගේ කැමැත්ත අවශ්‍ය නෑ. දෙදෙනකුගේ කැමැත්ත පමණක් හොඳටම ඇති. ඒක බොහොම වැරදි පූර්වාදර්ශයක්. එතකොට කවුද මේ අය පත් කරන්නේ.

අනිත් එක මාධ්‍යවලට තොරතුරු ලබාදෙන මූලාශ්‍ර ආරක්ෂා කරන්න මෙහි ප්‍රතිපාදන නෑ. අධිකාරිය ඉල්ලුවොත් ඒ තොරතුරු ලබා දෙන්න මාධ්‍ය ආයතනවලට සිදුවෙනවා. ඒ වගේම මාධ්‍ය ආයතනවලට ඇවිල්ලා කම්පියුටර් පරීක්ෂා කරල ලිපිගොනු පරීක්ෂා කරල බලන්නත් අධිකාරියට බලය තියෙනවා. මේවා අපේ රටේ මාධ්‍ය නිදහසට අතිශයින් බාධාකාරී වූ නීතිරීති බව පැහැදිලියි. අපි මේවාට විරුද්ධ විය යුතුයි.”

ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත් වසන්ත යාපා ඇතුළු කීප දෙනෙක් ද අදහස් දක්වනු ලැබූහ. කෙසේ වෙතත් මෙම හමුව සඳහා සමාජ මාධ්‍යවල නියෝජිත නියෝජිතයන්වද කැඳවා තිබීම කෙරෙහි සංහතික මාධ්‍ය ගණනාවක නියෝජිතයෝ වැඩි කැමැත්තක් නොදැක්වූහ.

“විද්‍යුත් මාධ්‍යයයි සමාජ මාධ්‍යයි ඔක්කොම එකතුවෙලා ඕගොල්ලො මේ පනතට විරෝධය පාන්න. එහෙම නැත්නම් රනිල් මේක ඉක්මනට සම්මත කරගෙන එයාට ඕන දේවල් කරාවි.”

මේ වෙලාවේ උදයශාන් විමසා සිටියේ මේ පනත සම්බන්ධයෙන් විපක්ෂ නායකයාගේ ස්ථාවරය කුමක්ද කියාය… විපක්ෂ නායක සජිත් ඊට පැහැදිලි උත්තරයක් දුන්නෙ නැති නිසා මාධ්‍යවේදියා දෙවැනි ප්‍රශ්නයත් විමසීය.

“කොහොමටත් ඔබතුමාලා මේ පනතට විරුද්ධ නෑ. ඔබතුමා අල්ලා ආණ්ඩුව ගත්තත් මාධ්‍යවලින් කරදර සිදුවන නිසා මාධ්‍ය මට්ටු කරන්න ඔබලත් කැමතියි… ආණ්ඩු කරන කවුරුවත් කැමති නෑ මාධ්‍යවලින් වැරදි කියනවට” සජිත් ඒ අදහසට එකඟ වූයේ නැත.

● එජාප වර්කින් කොමිටියේ අගමැති දිනේෂ් නැහැලු…

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී රැස්විය. විෂය භාර ඇමැති ලෙස අගමැති දිනේෂ් මුලසුන හෙබවූ අතර ජගත් කුමාර මන්ත්‍රීවරයා කතාව ආරම්භ කරමින් පළාත් පාලන අංශයේ නිලධාරීන්ටද දැඩි චෝදනා එල්ල කළේය. ඡන්දය ඉල්ලන්නට රැකියාවෙන් නිදහස්වූ රජයේ සේවකයන්ගේ ඉරණම කුමක් දැයි හේ ප්‍රශ්න කළේය.

“රජයේ සේවක අපේක්ෂකයන්ගේ ප්‍රශ්නේ ගැන අපේ අමාත්‍යාංශය නියම පරිදි චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ, මැතිවරණ කොමිසමෙන් තමා අහන්න ඕනේ” පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

“ආණ්ඩුව ඉතිං ඡන්දේ තියන්නෙත් නෑනේ” ශ්‍රීලනිප ලේකම් දයාසිරි මන්ත්‍රීවරයා පවසද්දී “ඡන්දේ තියනවට කැමති නිසා තමයි, අපිත් නාම යෝජනා දුන්නේ” අගමැති දිනේෂ් සිනාසෙමින් කීවේය.

“නාම යෝජනා කැන්සල් කරලා, මැතිවරණය අවලංගු කළා නම් මේ ප්‍රශ්න ඉවරයි” ලසන්ත අලගියවන්න කියා සිටියේය.

“පාර්ලිමේන්තුවට යෝජන්නාවක් ගේන්න” දිනේෂ් කීවේය.

“මේ උපදේශක කාරක සභාව ඒක අනුමත කළා කියලා කියමු. දැන් ඡන්දේ ඉල්ලන සන්ධානත් කැඩිලා තියෙන්නේ” අලගියවන්න නැවත සඳහන් කළේය.

මෙම රැස්වීමට විපක්ෂ නායකවරයා, ජගත් සමරවික්‍රම, සිවඥානම් ශ්‍රීධරන්, ඩී බී හේරත්, ගුණතිලක රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ඩී සොයිසා, මංජුලා දිසානායක, ප්‍රේමනාත් දොලවත්ත, චාල්ස් නිර්මලනාදන්, වරුණ ලියනගේ, සහන් ප්‍රදීප්, මධුර විතානගේ, සංජීව එදිරිමාන්න, එස්. වියාලේන්ද්‍රන්, ජගත් පුෂ්පකුමාර, අජිත් රාජපක්ෂ, කාදර් මස්තාන්, සුමිත් උඩුකුඹුර, ගෙවිඳු කුමාරතුංග, ගයන්ත කරුණාතිලක, ඒ. එල්. එම්. අතාවුල්ලා ආදී මන්ත්‍රීවරු රැසක් සහභාගි වෙමින් සිය ප්‍රශ්න ඉදිරිපත් කළහ.

විපක්ෂ නායකවරයා පැමිණියේ රැස්වීම අතරතුරය. ඔහු පසුගිය වාර්තාවේ සටහන් බලා “මේකේ සමහර ඒවා නෑනේ, හරියට යූ එන් පී වර්කින් කමිටි එක වගේ”

“ආ ඒක මම දන්නේ නෑ, මම ඒකෙ හිටියේ නෑනේ” අගමැති දිනේෂ්, සිනාසෙමින් කීවේය.

පළාත් පාලන සීමා නිර්ණය ගැනද මන්ත්‍රීවරු රැසක් ප්‍රශ්න කළේය.

“අපි කියලා තියෙන්නේ මන්ත්‍රී ධුර 50%කින් අඩු කරන්න කියලා විතරයි” වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

“මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තුව සමග සාකච්ඡා නොකර පළාත් පාලන කොට්ඨාශ වෙනස් කිරීම ගැන නීති වෙනස් කිරීම නොකරන බවට මම ප්‍රතිඥාවක් දෙනවා”

අගමැති දිනේෂ් කීවේ, එම කතාව දිගින් දිගටම ඇදී යද්දීය.

● ගුරුවරයා හමුවේ ගෝලයෝ දෙන්නෙක්…

පොසොන් පෝයට පසුව එළඹි පසුගිය සතියේ මංගල නැකත් බහුලව තිබුණි. සිකුරාදා උදයේ පොළොන්නරුවේ සිරිපාල ගම්ලත් මහතාට අයත් ගිරිතලේ ඩීර්පාර්ක් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි විය. මංගල උත්සවය ජාතික රූපවාහිනියේ වාර්තාකරුවකු වන උපුල් ශාන්ත ගේ දියණියගේය. මාධ්‍යවේදියා සමඟ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ද ඉතා හිතවත්ය. ඔහු පමණක් නොව පොලොන්නරුවේ දේශපාලඥයෝ රාශියක්ම මේ මංගල උත්සවයට පැමිණ සිටියහ.

මංගල උත්සවයට පැමිණි මෛත්‍රීපාල සිරිසේනට උත්සවයේ වෙනම ස්ථානයක් වාඩි වෙන්නට සූදානම් කර තිබුණත් ඔහු පැමිණ වාඩිවූයේ පැරණි ගෝලයකු ව සිටි පේසල ජයරත්න වාඩිවී සිටි මේසයේ ඔහුට යාබද අසුනකය.

කලක් මේ දෙදෙනා ගුරා සහ ගෝලයා ලෙස ඉතා සුහදව සිටියත් දේශපාලනය නිසාම පසුකාලීනව විරසක ව සිටියහ. එහෙත් මෛත්‍රීපාල මහතා ඒ සියලු විරසක අමතක කර පේසල ළඟට පැමිණ සුපුරුදු පරිදි කතා කිරීම නිසා පේසල ද අන්දුන්කුන්දුන් වී ගියේය. පැහැදිලි තරහ මරහ අමතක කරමින් ඔහු තම ගුරු පියාණන්ට ආචාර සමාචාර දක්වා සුහදව කතා කළේය. වටේ බලා සිටි බොහෝ දෙනෙක්ට මෙය ඉතා ආදර්ශවත් දර්ශනයක් විය. කරුණාරත්න ගමගේ ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක් ම මේ මංගල උත්සවයට සහභාගි වී සිටීම හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රහර්ෂයට කරුණක් විය. ඔහු සෑම දෙනා සමගම ඉතා සුහදව කතාබස් කළේ ය.

මේ අවස්ථාවේ තවත් අමුත්තෙක් එතනට එන්නට සූදානම්ව සිටියත් හිටපු ජනාධිපතිවරයා සිටි නිසාදෝ ඔහුගේ ගමන ප්‍රමාද විය. හිටපු ජනාධිපතිවරයා බොහෝ වේලා එතන සිට ආපසු ගියාට පසුව අමාත්‍ය රොෂාන් රණසිංහ ද ඒ උත්සවයට පැමිණීම විශේෂත්වයකි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment