දන්සලෙන් බත් ගන්න තෙරපෙද්දී ගුරුවරියගේ සේසතටම සුද්දේ දීලා – ලක්‍ෂ පහේ රන් මාලයට සහ රු 19,000ට වෙච්චි දෙයක් නෑ

1839

අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලිසෑයට ගමන් කරන පෙත්මගේ දන්සලක බත් පාර්සලයක් ලබා ගැනීමට දරුවා සමග තෙරපෙමින් සිටි ගුරුවරියකගේ රුපියල් ලක්ෂ 5 කට ආසන්න රන් මාලය සහ මුදල් රුපියල් 19,000ක් සොරකම් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීම සඳහා දරු දෙදෙනා සහ සැමියා සමග යතුරුපැදියකින් පැමිණි අනුරාධපුර සිවලාකුලම ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි.

සැමියා යතුරුපැදිය නැවතීමට රථ ගාලට ගිය අවස්ථාවේදී පැමිණිලිකාර ගුරුවරිය එක් දරුවකු සමඟ රුවන්වැලි සෑය දෙසට ගමන් කර ඇති අතර එහිදී ලොරි රථයකින් කෑම පාර්සල් බෙදන අයුරු දැක එම ස්ථානයට ගොස් කෑම පාර්සලයක් ලබාගැනීමට මිනිසුන් අතරේ තෙරපී ඇත. එම අවස්ථාවේ පැමිණිලිකාර ගුරුවරිය බැඳ තිබූ කොණ්ඩය ගැලවී යෑම නිසා මඳක් පිටුපසට වී යළි එය ගැට ගසා

ගැනීමට ගිය අවස්ථාවේ ගෙල බැඳි රන්මාලය නොමැති බව දැන ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

පසුව නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී අත්බෑගය තුළ දමා තිබූ රුපියල් 19000ක මුදල ද කිසිවකු සොරා ගෙන ගොස් ඇති බව දැන ගත් බව පැමිණිල්ලේ සඳහන් කර ඇත. මෙම සොරකමට සම්බන්ධ පිරිසක් හෝ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.
මිහින්තලේ – රංග චතු

advertistmentadvertistment
advertistmentadvertistment