ලක්‍ෂ 26ක හිඟ විදුලි බිලක් අපට ලැබුණේ නෑ

480

තමාගේ විවාහ මංගල්‍යයට වැය වී ඇති රුපියල් ලක්‍ෂ 26 ක විදුලි බිල නොගෙවීම ගැන චෝදනාවක් එල්ල වුවත් එවැනි විදුලි බිලක් තමාට හෝ තමාගේ පියාගේ නමට නොලැබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බිංගිරිය ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගිවෙමින් ඒ මහතා මේ බව පැවසීය. බිංගිරිය – බෝවත්ත සතිපොළ භූමියේ පැවති මෙම රැස්වීම බිංගිරිය පොදු පෙරමුණු සංවිධායක ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා විසින් සංවිධානය කොට තිබුණි.

“ දැන් විපක්‍ෂයේ කාර්යභාරය වී ඇත්තේ වතුර ලබාදීම හෝ විදුලිය කැපීම හෝ නොව නාමල් රාජපක්‍ෂගේ විදුලි බිල සෙවීමයි. සජිත් ප්‍රේමදාස මහත්තයා මිහින්තලේ හිඟ ලයිට් බිල ගෙවා දැමීම ඉතා හොඳ දෙයක්. නමුත් කිසිම දෙයක් නොදැන කියන්නන් කියන පළියට අනුන්ගේ විදුලි බිල් ගැන කතා කිරීම නායකයෙකුට සුදුසු දෙයක් නොවෙයි. නායකයෝ ඕපාදූප – වාචාල කතා මුල්කරගෙන අදහස් ප්‍රකාශ කරන්නේ නෑ. ඔය කියන ලයිට් බිලක් මගේ ගෙදරට හෝ අපේ තාත්තාටවත් මේ වනතුරු ලැබිල නෑ. මගේ මඟුල් ගෙදර අරගෙන දැන් අවුරුදු ගණනක් වෙනවා. දැන් දෙවැනි ළමයත් ලැබෙන්න ළඟයි. මෙතෙක් කලක් නොලැබුණු ලයිට් බිල මිහින්තලේ හිඟ ලයිට් බිලත් සමඟ මතුවීම පුදුම සහගතයි. මගේ ලැම්බෝ ගිනි 16, රත්තරන් අශ්වයෝ, උගන්ඩාවේ බැංකුවල සල්ලි ගැන කීවෙත් ඔය අයම තමයි. ඔය ලයිට් බිලත් ඒ එකවුන්ට් එකටම දමන්න. මේවා දේශපාලන පච සහ මඩ. අපි අපේ පක්‍ෂය අරගලයෙන් පස්සෙ මැරුණා යයි හිතාගෙන සිටි අයට අප වටා එකතුවන මේ ජන රැල්ල දකින විට මඩ කන්න නොවෙයි, නාන්න හිතෙන බවත් අපි දන්නේ යැයි ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා, බිංගිරිය – සෝමසිරි ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment