එක්ස්ප්‍රස් පර්ල් ළඟට යන්න පහසුකම් දෙන්න – අජිත් මාන්නප්පෙරුම

378

2021 වසරේ මෙරට මුහුදු සීමාවේ දී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉතිරි වී ඇති කොටස් ආසන්නයට ගොස්, හානිපූර්ණය ගණනය කිරීම සඳහා සාම්පල ලබා ගැනීමට, අදාළ විද්වත් පර්යේෂණ කමිටුවට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දෙන ලෙස පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා පසුගියදා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයට (නාරා) දැනුම් දුන්නේය.

පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වැනිදා පැවැති මෙම කාරක සභා රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ද එක්වූහ. එසේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගමේ නියෝජිතයන් ද (P) & I Club), පරිසර ඇතුළු හානිය තක්සේරු කිරීම සඳහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන්, නීතිපති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය යන ආයතනවල නිලධාරීන් ද පරිසරවේදීන් පිරිසක් ද මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

පරිසර හා අනෙකුත් හානි පූර්ණය ගණනය සඳහා පත්කළ විද්වත් කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දුන්නේ නැව අසලටම හෝ නැව තුළට යෑම නොහැකිවීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති වූ බවයි. අනතුරු බව පෙන්වා දෙමින් නැව අසලට යෑම වැළැක්වුව ද ඒ සඳහා නාවික හා ගුවන් හමුදාවල සහය ලබාගෙන පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුව තිබූ බව ද විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දුන්හ. මේ අනුව නැව ආසන්නයෙන්ම මෙම සාම්පල ලබා ගැනීමට නොහැකිවීම වන්දි ඉල්ලා පවරන නඩුවේදී අවාසි සහගතවීමට ඉඩ ඇති බැවින් මෙම කටයුතු කඩිනමින් සලසන ලෙස කමිටු සභාපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ නාරා ආයතනයට උපදෙස් දුන්නේය.

අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. නඩු පැවරීම සඳහා තවදුරටත් ඉතිරිව ඇත්තේ දින 45 ක කාලයක් පමණක් බවත්, මේ වන විට කැබිනට් අනුමතිය හිමිවී ඇති පරිදි නඩු පැවරීම

සිංගප්පූරුවේ සිදු කිරීම අවාසි සහගත බවටත් මෙහිදී පරිසරවේදීන් ඇතුළු නීතිඥවරු පිරිසක් කරුණු දැක්වූහ. මේවන විට අනතුරට අදාළව ඇ.ඩො බිලියන 6.2 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇති බවත්, නඩු පැවරීම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු බවත් මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ අසේල රැකව මහතා පැවසීය.

මේ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පවසා සිටියේ එම වාර්තාව ඇසුරින් අදාළ වන්දි මුදල් ලබා ගැනීම සඳහා නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදුකරන බවයි.

මේ අනුව නඩු පැවරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමටත්, නීතිපතිවරයා ඇතුළු අදාළ නීතිඥවරුන් මේ සඳහා සහභාගි වීමටත් මෙහිදී තීරණය විය.

එසේම මෙම සිද්ධියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අදාළ පාර්ශ්ව සමග පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නැවතත් අප්‍රේල්
25 වැනිදා රැස්වීමටත් මෙහිදී තීරණය විය.

රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල එල්ලාවල, වරුණ ලියනගේ, නාලක බණ්ඩාර කෝට්ටගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment