බිල ගෙවන්න සල්ලි නැතිව ගෙදර ලයිට් කපලා – දරුවන්ට පාඩම් කරන්න අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය තාත්තා විදුලිසර වැදී මරුට

591

විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වූ නිවසක විදුලිබල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් පාසල් දරු දෙදෙනාට පාඩම් කිරීමට නොහැකි බව පවසමින් අසල්වැසි නිවසකින් විදුලිය ගැනීමට උත්සාහ කළ දෙදරු පියකු එම විදුලි රැහැනේ පැටලී මිය ගොස් ඇතැයි ගම්පොළ පුපුරැස්ස පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පුපුරැස්ස ලෙවලන්වත්ත ජී.කේ. කොටසේ පදිංචිව සිටි අලගන් ගනේෂන් නමැති තිස් අට හැවිරිදි දෙදරු පියෙකි.

දැඩි ආර්ථික අපහසුතා නිසා මීට සතියකට පෙර මොහුගේ බිරිඳ ද ගෘහ සේවය සඳහා විදේශගතව ඇති අතර පළමු වසරේ ඉගෙනුම ලබන ගැහැණු දරුවකු හා හය වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවා බලාගනිමින් මොහු වත්තේ පේළි නිවසක ජීවත් වී තිබිණ.

මොහු සමග ඔහුගේ පියා ද සිටින අතර රුපියල් දහසය දහසක හිඟ මුදලක් ඇති නිසා මොහුගේ නිවසේ විදුලිය විසන්ධි කර තිබේ.

විදුලිය නොමැතිකම සමග නිවසේ දැඩි අඳුරු බව හා දරු දෙදෙනාගේ පාඩම් කටයුතු අඩාල වීම පිළිබඳව ඔහු දැඩි දුකින් සිටි බව ඔහුගේ ඥාතීන් ගම්පොල හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා හා පොලිස් නිලධාරීන් ඉදිරියේ සඳහන් කර සිටියේය.

විදුලිය නැති හේතුව නිසා එම පේළි නිවසේ සිටින ඥාතියෙකුගේ නිවසින් රැහැන් යොදා මොහුගේ නිවසට විදුලිය ගැනීමට උත්සාහයක් ගෙන ඇති අතර ඒ අවස්ථාවේදී එම විදුලි වයරය ගෑවී ඔහු කෑ ගසා බිම වැටී තිබේ.

ඒ අවස්ථාවේ අසල්වැසියන් විදුලිය විසන්ධි කොට ඇති අතර මොහුගේ පියාගෙන් ඔහු බීමට ජලය ඉල්ලා ඇති අතර ජලය පානය කිරීමට පෙර මොහු මිය ගොස් තිබේ.

එම වත්තේ සිටින වෛද්‍යවරයෙකු පැමිණ මොහු මිය ගොස් ඇති බව තහවුරු කිරීම සමග පුපුරැස්ස පොලිසිය පරීක්ෂණ අරඹා තිබුණි.

ගම්පොල රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක මහතා එම ස්ථානයට පැමිණි අතර ගම්පොළ ස්ථානීය අපරාධ අංශ (සොකෝ) නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කරන ලදී.

එම නිලධාරින් ඉදිරියේ ප්‍රකාශ වුණේ විදුලිය බිල ගෙවීමට නොහැකිව එම වත්තේ තවත් නිවාස පහළොවක පමණ විදුලිය විසන්ධි කර ඇති බවයි. මෙම පේළි නිවාසයේ නිවාස තුනකද විදුලිය විසන්ධිකර ඇති අතර අනෙකුත් නිවාස වලටද රතු බිල් ඒවා ඇති බවද මෙහිදී සඳහන් විය.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර ගම්පොළ රෝහල වෙත රැගෙන යන ලදී.

පුපුරැස්ස පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල විජේකෝන් පොලිස් සැරයන් 52299 ගුණසිංහ ගම්පොළ ස්ථානීය පරීක්ෂණ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බන්දුල කාන්තා පොලිස් සැරයන් 2972 ඉනෝකා උඩ ගෙදර පොලිස් කොස්තාපල් 77177 අනුරුද්ධ යන නිලධාරීහු පරීක්ෂණ පැවත්වූහ.

ගම්පොල -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment