නිවිති ශාකයෙන් දියවැඩියාවට දිව ඔසුවක් – අපේ පර්යේෂිකාවන් දෙපළකගේ සොයා ගැනීමක්

14266

මෙරට අඩු භාවිතාවක් සහිත ශාක විශේෂයක් වූ ‘දීර්ඝායුෂ නිවිති’ (Longevity Spinach) දියවැඩියා රෝගය පාලනයට භාවිත කළ හැකි බව පර්යේෂණවලදී සනාථ වී ඇතැයි ඒ පිළිබඳව පර්යේෂණය කළ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවන් දෙදෙනා විසින් තහවුරු කර ගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ආහාර විද්‍යා හා තාක්‍ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිලුනි මෙත්සලා විජේසුන්දර සහ එහි සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ පී. ආර්. එච්. කේ. කුමාරි යන දෙදෙනා මෙම පර්යේෂණය සිදුකර තිබේ.

දියවැඩියා රෝගයේ අවදානම අවම කර ගැනීම සඳහා පාරම්පරික දැනුමෙන් හා දේශීය වෛද්‍යවරුන්ගේ උපදෙස් මත භාවිත වන අත්තික්කා කොළ, තෙඹු කොළ වැනි පලා කොළ ආහාරවලට එක්කර ගන්නා නමුත් මෙම ඌනභාවිත (Underutilized) දීර්ඝායුෂ නිවිති අරුම පුදුම ශාක විශේෂයක් බව ද ඔවුන් තහවුරු කර ගෙන තිබේ.

දීර්ඝායුෂ නිවිති තවත් කොළ පැහැති කොළයක් පමණක් නොව පෝෂණ නිධානයක් බව ද එම පර්යේෂිකාවන් දෙදෙනා සනාථ කර සිටිති.

දීර්ඝායුෂ නිවිති ශාකය කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවනවලින් ද පොහොසත් ප්‍රභවයකි. මෙම විචිත්‍රවත් කොළ පැහැති ශාකපත්‍ර කිහිපයකින්, ඔබේ දෛනික පෝෂණ අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් සැපයිය හැකිය. තවද විටමින් A හා C‍ ඉහළ මට්ටමින් අන්තර්ගත වී ඇති අතර යකඩ, කැල්සියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ ලවණ රාශියකින් සමන්විතය.

පෝෂක පදාර්ථ රාශියකින් හෙබි මෙම ශාකය තුළින් නිරෝගිමත් හෙට දිනයක් උදෙසා ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ රැසකි. සම්ප්‍රදායිකව දීර්ඝායුෂ නිවිති ශාක පත්‍ර විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා භාවිත වන අතර විද්‍යාත්මකව එය පරිභෝජනයට ආරක්‍ෂිත බව පෙන්වා දී ඇත. දියවැඩියාව පාලනය කිරීමේ හැකියාව මෙන්ම ශරීරයේ රුධිර ලිපිඩ මට්ටම පාලනය කිරීමේ හැකියාව ද මෙම ශාකය සතුව ඇත. මෙහි ඇති පිළිකා නාශක ගුණය ද ඉහළය. රූමටික් රෝගයට, මළබද්ධය, ඉරුවාදරය, කුෂ්ට සහ වකුගඩු ගල් හා මුත්‍රාශයේ ගල් තත්ත්වයන් වැළැක්වීම සඳහා ද මෙම ශාකය ඉහළ චිකිත්සක විභවයක් පෙන්වයි. සමහර විද්‍යාත්මක පර්යේෂණ අනුව විටෙක ප්‍රතිබැක්ටීරියා ලෙසද තවත් වරෙක ප්‍රති වෛරසයක් ලෙසද, ප්‍රතිඔක්සිකාරකයක් ලෙසද ක්‍රියාකිරීමේ හැකියාවක් දීර්ඝායුෂ නිවිති ශාකය සතුව ඇති බව ඔවුන් පෙන්වා දෙති.

දීර්ඝායුෂ නිවිති මගින් දියවැඩියා රෝගය පාලනය සහ එහි ප්‍රතිඔක්සිකාරක බලය පිළිබඳ මූලික පරීක්‍ෂණ මාලාවක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සත්ව නිෂ්පාදන සහ ආහාර තාක්‍ෂණ විද්‍යාගාරයේදී සිදු කරන ලදී.

මෙහිදී හොදින් වේලාගත් දීර්ඝායුෂ නිවිති ශාක පත්‍ර භාවිතයෙන්, ශාකයේ රසායනික සංයෝගය නිස්සාරණය කිරීම හා ඒවායේ කාර්යක්‍ෂමතාව නිර්ණය කිරීම සඳහා එතනෝල් නිස්සාරණය (Ethanol Extraction) උණුවතුර නිස්සාරණය (Hot Water Extraction) සහ උණු වතුර කහට නිස්සාරණය (Hot Water Infusion) යන විවිධ නිස්සාරණ ක්‍රම 3ක් ඇගයීම සහ සංසන්දනය කිරීම ද සිදුකර තිබේ.

Gynura procumbens යන විද්‍යාත්මක නාමයෙන් ද දීර්ඝායුෂ නිවිති (Longevity Spinach) යනුවෙන් හඳුන්වන මෙම ශාකය, චීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ වියට්නාමය වැනි නිවර්තන ආයියාතික රටවල් සහ අප්‍රිකාව නිජභූමිය කරගත් Asteraceae පවුලේ සාමාජිකයෙකි. එලෙසම අපේ රටේ අතරමැදි හා වියළි කලාප වලත් තෙත් කලාපයේත් විවෘත බිම්වල මනා සේ වැඩෙන මෙය බහුවාර්ෂික සලාද වර්ගයකි.

advertistmentadvertistment
advertistmentadvertistment