සෙල්ලම් මිදුලට වැටුණු ගසට යටවූ ගම්පොළ ජාත්‍යන්තර පාසලේ දෙවැනි දරුවාත් මියයයි

386

ගම්පොළ පෙර පාසල් දරුවන් මතට ගසක් කඩා වැටීමෙන් තුවාල වී මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිඟිත්තාද පෙරේදා (10දා) දහවල් මහනුවර මහ රෝහලේදී මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ ගම්පොළ බැබිල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉක්රාම් හයියාන් නමැති පස් හැවිදි දරුවායි. දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක මෙම දරුවා බාලයාය.

ඔහු ගම්පොළ බෙන්හිල් ජාත්‍යන්තර පෙර පාසලේ ඉගෙනුම ලබන අතර පසුගිය පහ දින මොවුන් එළිමහනේ සෙල්ලම් කරමින් සිටියදී අසල තිබූ ගසක් එම සෙල්ලම් මිදුලට කඩා වැටීමෙන් එම ගසට ළමුන් තිදෙනෙකු යටවී රෝහල් ගත කරන ලදී.

එයින් එක් දරුවකු එදිනම මිය ගිය අතර මෙම දරුවා මහනුවර මහ රෝහල වෙත යවා දැඩි සත්කාර ඒකකයේ දින පහක් පුරා ප්‍රතිකාර ගනිමින් සිටියදී මියගියේය.

මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.බී. අයි.එන්.සී.එස්. ඉලූක්කුඹුර මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා හිසට හා මොළයට සිදුවූ හානි නිසා මෙම මරණය සිදුවූ බව සඳහන් කර තිබුණි.

මීට පෙර මියගිය ගම්පොළ ඉල්ලවතුර පදිංචි මොහොමඩ් අස්වී ද මියගොස් තිබුණේ මොළයට හා හිසට හානි වීමෙනි.

හයියාන් දරුවාගේ දේහය නිවසට රැගෙන ඒමෙන් පසු රාත්‍රියේම එය කහටපිටිය මුස්ලිම් පොදු සුසාන භූමියේදී මිහිදන් කෙරිණ.

ගම්පොළ ඇත්ගාල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙණරත් කැකුලන්දර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් 40852 ක් දිසානායක මහතා මහනුවර මහා රෝහලේදී මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවූ අතර එහිදීම හයියාන් දරුවාගේ පියා වන මොහොමඩ් ඉක්රම් හා මව වන මොහොමඩ් සවාහිර් ෆාතිමා හෆ්සා සාක්ෂි දෙන ලදී.

ගම්පොළ -සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment