මල්වතුහිරිපිටියේදී සැරයන්ට වෙඩි තබා පැනගිය සැකකරු අල්ලයි

209

මල්වතුහිරිපිටිය පොලිසියේ සැරයන්වරයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර රිවෝල්වරයද පැහැරගෙන පලාගිය සැකකරු බිංගිරිය ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිස් විශේෂ බළකාය විසින් ඊයේ (11දා) සවස අත්අඩංගුවට ගනු ලැබීය. පැහැරගත් ගිනි අවියද ඔහු සතුව තිබී සොයාගෙන තිබේ.

සැකකරු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් සැරයන් (55547) ශ්‍රියන්ත මහතාගේ මුඛ්‍ය ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති අතර එම නිලධාරියා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

තුවාල ලබා සිටින 51 හැවිරිදි පොලිස් සැරයන්වරයා පූගොඩ පදිංචි දෙදරු පියෙකි. මෙම සිද්ධිය වී ඇත්තේ පෙරේදා (10 දා) අලුයම් කාලයේදීය. මල්වතුහිරිපිටිය පොලිසියේ රාත්‍රී ජංගම මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් තිදෙනකු සණස බැංකුවේ පොලිස් පොත අත්සන් කිරීමට ගොස් ඇත.

එහිදී බැංකුවේ ගේට්ටුව විවෘත කර තිබෙනු දැක ඇති පොලිස් නිලධාරීන් බැංකුවේ කළමනාකාරිනියට ඒ බව දන්වා එය වසා දැමීමට පැමිණෙන ලෙස පවසා තිබේ.

බැංකු කළමනාකාරිනිය එනතෙක් පොලිස්, නිලධාරීන් ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු වාහන පරීක්‍ෂා කරමින් සිට ඇත. එහිදී ත්‍රිරෝද රථයක පැමිණි පුද්ගලයකු පරීක්‍ෂා කරද්දී එම පුද්ගලයා විවිධ අයට මුදල් වංචා කළ අයකු බව සැරයන් ශ්‍රියන්ත මහතා හඳුනාගෙන තිබේ.

සැරයන්ගේ සොහොයුරියට ද රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක් වංචා කර සැඟවී සිටින මෙම පුද්ගලයා ඒ මොහොතේම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පසුව සැකකරු ජීප් රථය තුළට දමා බැංකු නිලධාරිනිය සමඟ සණස බැංකුවේ ගේට්ටු වසා දැමූ පොලිස් නිලධාරීන් පොලිසිය වෙත යෑමට සූදානම් වී තිබේ.

ඒ අවස්ථාවේ සැකකරු තමන්ට මුත්‍රා කිරීමට අවශ්‍ය බව පවසා ඇත. එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරු ජීප් රථයෙන් පිටතට ගෙන ඔහුට මුත්‍රා කිරීමට ඉඩ සලසා ඇති අතර ඒ අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන් සමඟ පොරබදා පලායෑමට උත්සාහ කර ඇත.

ඒ මොහොතේ සැකකරු පොලිස් සැරයන්වරයාගේ රිවෝල්වරය පැහැර ගෙන පොලිස් නිලධාරියා වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබූ සැරයන්වරයා බිම ඇදවැටී ඇති අතර සැකකරු අනෙක් නිලධාරීන් දෙසට ද තවත් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඔහු පැමිණි ත්‍රිරෝද රථය ද රැගෙන පළා ගොස් තිබේ.

බරපතළ තුවාල ලබා සිටි සැරයන්වරයා යතුරු පැදියක නංවාගෙන මල්වතුහිරිපිටිය රෝහලට ඇතුළත් කිරීමට සෙසු නිලධාරීන් කටයුතු කර ඇත.

සැකකරු ඇඟලුම් කම්හලක සේවය කරන අයකු බව පොලිසිය පවසයි. මොහුට එරෙහිව මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි රැසක් තිබෙන බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ මූලිකත්වයෙන් පොලිස් කණ්ඩායම් 3 ක් විමර්ශන පවත්වන අතර විශේෂ කාර්ය බළකාය සහ පෑලියගොඩ අපරාධ කොට්ඨාසය වෙනම විමර්ශන පවත්වාගෙන යයි.

සැකකරු පදිංචි ප්‍රදේශය අතහැර පලාගොස් ඇති බව පොලිසිය පවසන අතර ප්‍රශ්න කිරීම සඳහා සැකකරුගේ බිරිඳ පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර සැකකරු ආගිය තැන් කීපයක් පොලිසිය විසින් පරීක්‍ෂා කළ අතර ඔහු එම ස්ථාන වලින් පිටවී ඇති බව විමර්ශන නිලධාරියකු කියා සිටියේය.

මෙම සැකකරු දෙදරු පියකු වන අතර මූල්‍ය වංචා ඇතුළු විවිධ නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ඇති බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment