හරිහරන්ගේ යාපනයේ ප්‍රසංගයට ජනගඟක්: තෙරපීමෙන් 6කට තුවාල

294

දකුණු ඉන්දීය සුපිරි ගායක හරිහරන්ගේ ප්‍රධානත්වයෙන් 9 දා රාත්‍රී යාපනයේ මූත්තවේලී ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයට අධික ජනකායක් සහභාගි වීම නිසා ජනතාව තෙරපීමෙන් දෙදෙනකු ක්ලාන්ත වී ඇති අතර හය දෙනකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් හයදෙනාගෙන් හතර දෙනකු රෝහල් ගතකොට ඇත. එම ක්‍රීඩාංගණයේ සිටිය හැකි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයට වඩා අධික පිරිසක් ඇතුළුවීමෙන් මේ තත්ත්වය උදගත වී තිබුණි.

පොලිසිය මුලින්ම ජනතාව පාලනය කොට සීමාසහිත පිරිසක් ක්‍රීඩාංගණයට ඇතුළු කොට සිටියදී තරුණයන් විශාල පිරිසක් පොලිස් බාධක බිඳගෙන ක්‍රීඩාංගණයට පැමිණීම නිසා ජනතාව තෙරපී එකිනෙකා මත ඇද වැටී ඇත.

මෙම ප්‍රසංගයේ ආරක්ෂාව සඳහා මුලින් සේවයට යොදවා සිටියේ පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් 150 ක් පමණ වන අතර ප්‍රේක්ෂකයන්ගේ අසාමාන්‍ය හැසිරීම නිසා අමතර පොලිස් බලඇණියක් හා පොලිස් විශේෂ කාර්ය බළකායේද, යුද හමුදාවේද නිලධාරීන් 500 ක් පමණ කැඳවීමට සිදුවිය.

මේ අවස්ථාවේ ප්‍රසංගය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් සංවිධායක මණ්ඩලය ශබ්දවාහීනී යන්ත්‍ර මාර්ගයෙන් ජනතාවට නිවේදන නිකුත් කරමින් ජනතාව පාලනය කොට ඇත. මේ ආකාරයට හරිහරන්ගේ සංගීත ප්‍රසංගය අවස්ථා තුනක්ම වරින් වර නතර කිරීමට සංවිධායකයන්ට සිදුව ඇත.

මේ අවස්ථාවේ කුපිත වූ ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාංගණයේ කළහකාරී ලෙස හැසුරුණු අතර ඔවුන් පුටු, වතුරටැංකි, යතුරුපැදි හා සැරසිලිවලට ප්‍රහාර එල්ල කිරීමෙන් රුපියල් ලක්ෂ ගණනක දේපළවලට හානි සිදුව තිබේ.

හරිහරන්ගේ සංගීත ප්‍රසංගයට දකුණු ඉන්දීය සුපිරි නිළි තමන්නා, රම්බා ඇතුළු නිළියන් කීපදෙනකුම පැමිණ සිටි නිසා වවුනියාව, ත්‍රිකුණාමලය වැනි පළාත්වල සිටද නරඹන්නෝ යාපනයට ගොස් සිටියහ. ක්‍රීඩාංගණයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා බොහෝ පිරිසක් ක්‍රීඩාංගණය අසල ගස්වල හා වෙනත් ආධාරක මතට නැග ප්‍රසංගය නරඹා ඇත.

මෙම ප්‍රසංගයෙන් පසුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් කොට ඇති හරිහරන් යාපනයේදී තමන්ට කිසිදා අමතක නොවන සහභාගීත්වයක් ලබාදීම පිළිබඳව ප්‍රේක්ෂකයන් වෙත සිය ස්තූතිය පිරිනමා ඇත.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment