වැඩි වූ වැටුප් ගෙවන්න මාසිකව අමතරව රු.මි. 232ක්

787

මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේදී විමසීම

අපි මේක කරන්නේ මහ බැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නොවේ – ඊට පනතින් බලය දී තිබෙනවා – මහ බැංකු නිලධාරීහු

ඒ අරමුදලෙත් තියෙන්නේ ජනතාවගේ මුදල් – එවැන්නකට පාර්ලිමේන්තු අනුමැතිය ගත යුතුයි – වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම ලියාපදිංචි කරලත් නැහැ – පක්ෂ නායකයෝ

ස්වයං තීරණයක් මගින් සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට පාර්ලිමේන්තුවේ ඊයේ (05දා) පැවැති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්‍රසාදය පළ විය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් ද සහභාගි වූහ.

මීට පෙර පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම පවත්වන ලදි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නව මහ බැංකු පනත් කෙටුම්පතෙහි ස්වාධීන තීරණයක් ලෙස වැටුප් ඉහළ නැංවීම සඳහා ප්‍රතිපාදන තිබුණ ද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වූ නිසා එය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ බව ද පක්ෂ නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

මේ අනුව නව පනතින් මහ බැංකුවේ කටයුතු ස්වාධීන කිරීම සඳහා ප්‍රතිපාදන තිබුණද කිසිදු තැනක ස්වාධීන තීරණය මත වැටුප් වැඩි කිරීම සඳහා අවස්ථාව නොමැති බවත් මෙහිදී පක්ෂ නායකයෝ කරුණු දැක්වූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ පනතේ 5, 8 සහ 23 වගන්ති අනුව මේ සඳහා ප්‍රතිපාදන ඇති බවත් පරිපාලනය, කළමනාකරණය සහ මෙහෙයුම් සම්බන්ධ සියලුම වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුවේ අරමුදල් භාවිතා කිරීමේ බලය පනතින් ඇති බවයි.

එහෙත් පක්ෂ නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ වියදම් පිළිබඳ සඳහනක් පනතේ තිබුණ ද වැටුප් පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදන නොමැති බවයි. පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණ ද අනුමැතිය සඳහා අවසන් බලය පාර්ලිමේන්තුව සතු බව මෙහිදී පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.

වැඩි වූ වැටුප් ගෙවන්න මාසිකව අමතරව රු.මි. 232ක්

එසේම මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පවසා සිටියේ මෙම වියදම් සිදු කරන්නේ මහ බැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නොවන බවයි. මහ බැංකු අරමුදල් භාවිතා කිරීමට බලතල පනත මඟින් ලබා දී ඇති බවත් නිලධාරීන් පැවසූහ. මේ සම්බන්ධව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් දීර්ඝ ලෙස පක්ෂ නායකයන් ඉදිරියේ කරුණු පැහැදිලි කළහ.

මහ බැංකුවේ අරමුදල් යනු අවසානයේ ජනතාවගේ අරමුදල් බැවින් ඒ සඳහා ජනතාවට වගකිව යුතු බවත් ඒ අනුව මහජන මුදල් සඳහා වගකියන පාර්ලිමේන්තුවේ අනුමැතිය ඒ සඳහා අවශ්‍ය බවත් මෙහිදී පක්ෂ නායකයෝ පැවසූහ.

යම් අයුරකින් නීතියට අනුව හැකියාවක් තිබුණ ද රට සහ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවැනි මොහොතක අසංවේදී ලෙස මෙලෙස වැටුප් වැඩි කර ගැනීම කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවත්, අනුමත කළ නොහැකි බවත් මෙහිදී පක්ෂ නායකයෝ මහ බැංකුවේ නිලධාරීන්ට අවධාරණය කර සිටියහ.

එසේම වැටුප් වැඩි කළ යුතු අංශ ගණනාවක් තිබියදී එක් පිරිසක් පමණක් වරප්‍රසාද හිමිකර ගැනීම සාධාරණ නොවන බව ද පෙන්වා දුන්හ. මෙම වැටුප් වැඩි කිරීම නිසා මාසිකව අමතර රුපියල් මිලියන 232කට ආසන්න මුදලක් වැය වන බවද මෙහිදී අනාවරණය විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment