ජලයට හසුවූ වියළි ආහාර නැවත වියළා අලෙවි කිරීමේ ජාවාරමක්

33

පසුගිය අධික වර්ෂාව සමග මහනුවර අකුරණ නගරය ජලයෙන් යටවීමේ දී එයට හසුවූ නොයෙක් වියළි ආහාර වර්ග විවිධ ප්‍රදේශවලට හොර රහසේ රැගෙන ගොස් ඒවාහි තැවරී ඇති මඩ සෝදා වියළා යළි අලෙවි කිරීමේ ජාවාරමක් ගම්පොළ නගර සභා සෞඛ්‍ය අංශය කළ වැටලීමක දී හෙළි වී ඇත.

මේ ආකාරයට අකුරණ ව්‍යාපාරිකයකු සතු කන්ටේනර් දෙකක වියළි මිරිස් තොගයක් ගම්පොළ නගරයට ගෙනැවිත් එයින් කිලෝ හයසීයක මිරිස් තොගයක මඩ සෝදා හොර රහසේ වියළමින් සිටිය දී ලද තොරතුරකට නගර සභා සෞඛ්‍ය අංශ මෙම වැටලීම සිදුකර තිබුණි. ජලයට යටවීමෙන් කුණු වී හා මඩ තැවරී ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම මිරිස් තොගය ගම්පොළ නගරයේ නාවලපිටිය මාර්ගයේ අතුරු මාර්ගයක නිවසක තිබී හසු වී ඇත. මේ ආකාරයට ජලයට යට වූ වියළි ධාන්‍ය වර්ග ඇතුළු ආහාර වර්ග විවිධ ප්‍රදේශවලට රැගෙන ගොස් මෙලෙස සකස් කරන බවට ලද තොරතුරු මත පොලිසිය ද ඒ පිළිබඳව අවධානය යොමු කර ඇති බව උසස් නිලධාරියකු සඳහන් කළේය.

අකුරණ නගරය ජලයෙන් යට වීම නිසා වෙළෙඳ සැල් 330ක් හා ආහාර ද්‍රව්‍ය රැස් කර තිබූ ගබඩා රැසක් විනාශ වී ඇති බව හෙළි වී ඇති අතර විවිධ කූට ව්‍යාපාරිකයන් විසින් මේවා හි තිබූ විනාශ වූ ආහාර මෙසේ යළි ජනතාවට අලෙවි කිරීමට කටයුතු කරමින් සිටින බව නිලධාරීන් පවසති.

අත්අඩංගුවට ගත් මිරිස් තොගය හා සැකකරුවන් ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment