ප්‍රථමාධාරවල වැදගත්කම

416

ප්‍රථමාධාර, ඔබ අප හැමෝම දැනගත යුතු අත්‍යවශ්‍ය ම මාතෘකාවක් බවට අද වනවිට පත් වී ඇත. ප්‍රථමාධාර ඇයි අපිට වැදගත් වෙන්නේ කියන කාරණාව පිළිබඳව සලකා බැලුවහොත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාව තුළ දෛනිකව සිදුවන විවිධාකාර අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගලයින් ලක්ෂ 10ක් පමණ් රෝහල් ගත කරනු ලබති. මාර්ග අනතුරු, නිවස, පාසල, රැකියා ස්ථානය, වැඩබිම් අශ්‍රිතව, දියේ ගිලීම්, සතුන්ගේ සපාකෑම්, වස විස ශරීර ගත වීම් සහ උගුරේ සිරවීම් මේ අතර බහුලව දක්නට ලැබේ. මෙවැනි අනතුරු හේතුවෙන් රෝහල් ගත කරන සංඛ්‍යාවෙන් වාර්ෂිකව ආසන්න වශයෙන් පුද්ගලයන් 14,000ක් පමණ මිය යනු ලබති. මෙහි ඛේදනීය කරුණ නම් මින් 10,000ක් පමණ වූ දෙනා ම මිය යනු ලබන්නේ රෝහලට රැගෙන යන තෙක් අවශ්‍ය කරන ප්‍රථමාධාර නොලැබීම හේතුවෙන් වීමය. මෙහි දෛනික මරණ අනුපාතය ආසන්න වශයෙන් 38ක් සහ එයිනුත් රිය අනතුරු හේතුවෙන් ආසන්න වශයෙන් පුද්ගලයන් 6-9ත් අතර පිරිසක් මිය යති.

මෙවන් තත්ත්වයන් සම්බන්ධයෙන් වැඩි දුරටත් අවධානය යොමු කළහොත්, අර්ධ කාලීන හෝ පූර්ණ කාලීන වශයෙන් ආබාධිත තත්ත්වයන්ට පත්වෙන සහ පසු කාලීනව අතුරු අබාධ තත්ත්වයන්ට පත්වෙන සංඛ්‍යාව ද මේ හා සමානම අගයක් විය හැකිය. හදිසියේ ඇතිවන රෝගී තත්ත්වයන්ට පත්වන ආකාරයෙන් ම රෝහල් ගත කරන, මිය යන හෝ අබාධිත තත්ත්වයන්ට පත්වන්නන් ගැන අපට අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. උදාහරණයක් ලෙස හෘදයාබාධ තත්ත්වයන් නිසා ද වාර්ෂිකව අපේ රට තුළ 15,000ක් පමණ දෙනා මිය යති. හදිසි මීමැස්මොර/අපස්මාර තත්ත්වයක දී අදටත් ලාංකීය සමාජය තුළ සිදු කරනු ලබන්නේ වැරදි ප්‍රථමාධාර ක්‍රම ශිල්පයන් ය.

බල්ලන් සපා කෑම්, සර්ප දෂ්ටන, වස විස ශරීර ගත වීම, උගුරේ සිරවීම්, දියේ ගිලීම් සහ මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව ළමුන් පමණක් 270,000කට අධික පිරිසක් රෝහල් ගත කරති. මින් දරුවන් 600ක් පමණ වාර්ෂිකව මිය යති.

(මූලාශ්‍ර- රිජ්වේ ආර්යා ළමා රෝහල)

ලාංකීය සමාජය තුළ මෙවැනි ඛේදනීය තත්ත්වයක් උදා වෙද්දී ලෝකයේ දියුණු රටවල් වන එංගලන්තය, නෝර්වේ, ස්වීඩනය, ප්‍රංශය සහ ඔස්ටේ්‍රලියාව ආදි රටවල ඉතා දියුණු සෞඛ්‍ය සේවාවක්, හදිසි ආපදා ප්‍රතිචාර සහ ගිලන් රථ සේවාවක් මෙන්ම රටේ සමස්ත ජනගහණයෙන් 90%කට වැඩි පිරිසක් දෙනා මූලික ප්‍රථමාධාර ක්‍රමශිල්ප සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමින් පරිපූර්ණ අය වේ. මෙම ජනතාව ප්‍රථමාධාර සමග රැඳී සිටිනවා ද යාවත්කාලීනවේ ද සහ යාවත්කාලීන කිරීම ද අධීක්ෂණය කරනු ලබයි.

එනමුත් ශ්‍රී ලංකාව තුළ තත්ත්වය ඉතාමත් ඛේදනීයජනක ය. සමස්ත ජන සමාජයෙන් හදිසි ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් සංඛ්‍යාව සිතාගත නොහැකි මට්ට මේ අඩු අගයක් ගනී. පවුලේ සාමාජිකයන් ගෙන් කිසිම අයෙක් ප්‍රථමාධාර පිළිබඳ කිසිදු දැනීමක් නැති අය වෙති. උදාහරණ ලෙස හදිසි පිළිස්සීමක ” දන්තාලේප ආලේප කිරීම, කුකුල් තෙල් ගැල්වීම සහ ගොඩ වෙදකම් කිරීම සහ හදිසි අපස්මාර තත්ත්වයක දී යකඩ කැබලි අතට ලබාදීම සහ දත් අතර හැඳි තැබීම ලාංකේය සමාජය තුළ බහුලව දක්නට ලැබේ.

නිසි ප්‍රථමාධාර ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අබාධිත තත්ත්වයන්ට පත් වන සහ ඉහත සඳහන් ආකාරයේ පුද්ගල මරණ පාලනය කරගත හැකි වේ. හදිසි හෘද අකර්මණ්‍යතාවක දී හුස්ම නොගන්නා රෝගියෙකු බේරාගැනීම සඳහා ඔබට ඇත්තේ විනාඩි 10ක් වැනි ඉතා අඩු කාලයකි. විනාඩි දහයක් ඇතුළත

රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර නොකළහොත් මොළය මිය ගිහින් ලෙඩා මිය යනු ලබයි. නමුත් මෙවැනි තත්ත්වයක දී හදිසි ප්‍රථමාධාර ලබාදීම තුළින් මෙවැනි රෝගීන් මියයෑම වළක්වා ගත හැකිය.

ප්‍රථමාධාරවල වැදගත්කම

චමීර පීරිස්
ජ්‍යෙෂ්ඨ ප්‍රථමාධාර උපදේශක,
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය
සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment