ආසියාවේ වස ගබඩාව

597

මෙයට ශත වර්ෂ කිහිපයකට පෙර විදේශිකයෝ ශ්‍රී ලංකාවට නමක් දමා තිබිණ. ඒ වූකලී පෙරදිග ධාන්‍යාගාරය යන්නයි. අද ඒ නම වහා වෙනස් කළ යුතුව තිබේ. ඒ ආසියාවේ වස ගබඩාව යනුවෙනි. මේ රටේ ගොවිතැන් කටයුතු සඳහා යොදාගන්නා කෘමිනාශක 139 කින් කෘමිනාශක 40 ක්ම ඉතාම මාරාන්තික සහ භයානක බව center for environmentally justice නමැති ආයතනය මගින් සොයාගෙන තිබේ. මේවා කොතරම් භයානකද යත් සෑහෙන කාලයක් තිස්සේ ශරීරගත වූ විට එම ශරීරයට පිළිකා සෑදේ. තවත් විටෙක දරු සාඵල්‍යතාව නැතුව යයි. තවත් විටෙක පිළිකාවත් නොසෑදී දරු සාඵල්‍යතාවත් එහෙමම තිබියදී මිනිසුන්ට මියයෑමට සැලැස්වීමට මේ වසවලට පුළුවන. එවිට ජනගහන ප්‍රශ්නය විසඳේ. හැබැයි සෞඛ්‍ය ප්‍රශ්නය නොවිසඳේ. ඒ අනුව පෙරදිග ධාන්‍යාගාරය යන වචන දෙක අමතක වෙමින් පවත්නා බයිලාවක වචන දෙකක් ලෙස සැලකීමට අපට සිදුවේ. වගාවට ගන්නා කෘමිනාශක වර්ග, වල් පැළ නාශක වර්ග සහ වෙනත් වස විස වර්ග ගෙදර දොරේ පාවිච්චිවෙන බඩු බවට පත්වීම මෙයට අවුරුදු 70 ට හෝ 80 ට පමණ පෙර සිදුවිය. ඒ අනුව කුඹුරේ ප්‍රශ්නයක් විසඳීමට මැහි තෙල්වලට පුළුවන. එසේම ගෙදර දෙමාල්ලන් අතර ඇතිවන ආරවුල් විසඳීමටද මැහි තෙල්වලට පුළුවන.

1977 අවුරුද්ද යනු මේ රට තුළ ආර්ථික දේශපාලන සහ සමාජ විපර්යාසයක් ඇතිකළ කාලයකි. ඒ අනුව මේ රටේ ගොවිතැනද ඉතා ඉක්මනින් වෙනස්වීමට පටන්ගත්තේය. වගා කටයුතු වලදී ඇතැම් විට පෝරවලට වඩා කෘමිනාශක සහ වල් නාශක යොදන ලදී. ගෙදර තිබෙන තේ කොළ බෝතලය, සීනි බෝතලය, භූමිතෙල් බෝතලය, පොල් තෙල් බෝතලය වැනි වැදගත් තැනක් කෘමිනාශක බෝතලයටද හිමිවිය. අතේ දුරින් පිහිටි මේ කියන මැහි තෙල් බෝතලයෙන් උගුරු දෙකක් ගැසූ විට වමනය දමමින් අපා දුක් විඳ වුව පැයක් තුළ මිය යෑමට හැකිවිය. එහෙත් පැයක් තුළ රටක් මරා දැමීමට අමාරුය. ඒ සඳහා දශක කිහිපයක් ගත වේ. රටක් නැසීම සඳහා අවශ්‍ය “කෘමිනාශක දශක” ගණන අපි ක්‍රමයෙන් සම්පූර්ණ කරමින් සිටිමු. 1977 න් පසු මේ රට කෘමිනාශකවල සහ බාල බෙහෙත්වල හොඳම වෙළෙඳපොළ බවට පත්විය. ඒ නිසා අද වන විට හැම දවසකම බෙහෙතක් විස වී මියගිය කෙනකු ගැන හෝ බෙහෙතක් විසවී මරණයේ දොරගුළු හැර එහා ලෝකය දෙස බලා පැමිණි අයකු ගැන අපට අසන්නට ලැබේ. කොවිඩ් නිසාත් අකාර්යක්ෂම පරිපාලනය නිසාත් අපේ රටට ආර්ථික අපහසුතා බොහොමයක් ඇතිවූ බව ඇත්ත. ඒ නිසා අපට අහිමි වූ දේත් බොහෝය. මේ ගැන කල්පනා කර කර හිටියොත් වැඩේ තවත් අල වෙනවා ඇත. ඒ නිසා සිහිපත් නුවනින් වැඩකර අප ගොඩ ආ යුතුමය.

තත්ත්වයෙන් බාල හෙවත් හතරවන පන්තියේ හෝ පස්වන පන්තියේ බෙහෙත් වලින් අපේ රටේ ෆාමසි සහ රෝහල් පිරී ඉතිරී ගොස් තිබේ. වර්තමාන ලෝකයේ තාක්ෂණික හැකියාව කොතරම් දියුණු වී තිබුණද ඖෂධ නිෂ්පාදනයේදී ඇතැම් රටවල් ඉතාම තුට්ටු දෙකේ වැඩපිළිවෙළ අනුගමනය කරති. පාකිස්තානය, බංගලාදේශය සහ ඉන්දියාව යන රටවල කැප්සියුලවලට බෙහෙත් පිරවීම ගෘහ කර්මාන්තයක් බවට පත්ව තිබේ. මෙය මේ රටේ ගැමි පළාත්වල සිදුකෙරෙන බීඩි එතීම, හඳුන්කූරු සෑදීම, මුරුක්කු හා කඩල පැකට් කිරීම යන ගෘහ කර්මාන්තවලට සමානය. මෙහිදී අයිතිකාරයා බඩු දෙන අතර ගෘහ කර්මාන්තකරුවා කෑලි ගාණට එම අමුද්‍රව්‍ය නිමි භාණ්ඩ බවට පත්කරයි. කැප්සියුලවලට ඖෂධ පුරවන ස්වයංක්‍රීය යන්ත්‍ර මිලෙන් ඉතා අධිකය. මේවා AC‍ කළ කාමරවල තැන්පත් කළ යුතු අතර නිරන්තර තත්ත්ව පරික්ෂාවට ලක්කළ යුතුය. ඒ නිසා පෙරකී රටවල කුඩා ඖෂධ නිෂ්පාදන සමාගම් එවැනි යන්ත්‍ර සඳහා ආයෝජනය නොකරති. ඔවුහු බෙහෙත් කුඩු සහ හිස් කැප්සියුල කවර ගෙවල්වලට බෙදා දෙති. ගේ මැද්දේ පැදුරු එලාගන්නා නිවැසියෝ මෙම කැප්සියුල්වලට කන් හැන්දෙන් බෙහෙත් පුරවා ඒවා වසා දමති. පස් දෙනකු සිටින පවුලකට මෙවැනි කැප්සියුල තුන් හාරදාහක් දවසකට නිෂ්පාදනය කළ හැකිය. එක කැප්සියුලයකට බෙහෙත් පිරවීම සඳහා සත 25 ගණනේ ගෙව්වත් ගෙදර මිනිසුන්ට රුපියල් 1000 ට එහා පැත්තේ මුදලක් දෛනිකව සොයාගත හැකිය. කැප්සියුලවලට බෙහෙත් පුරවන කන් හැඳි මාත්‍රාව බෙහෙත් මුදලාලි ලබා දෙයි. වේදනා නාශකයක් නම් කන් හැන්දෙන් තුනක් කැප්සියුලයට පිරවිය යුතුය. ඇන්ටිබයොටික් නම් කන් හැන්දෙන් පහක් පිරවිය යුතුය. එක විටමින් කැප්සියුලයකට කන් හැන්දෙන් හතක් විටමින් කුඩු පුරවනු ලැබේ. සමහරවිට මේ බෙහෙත් කුඩු සමග වෙනත් පිටි වර්ගයක් මිශ්‍රකර තත්ත්වයෙන් බාල කිරීම සිදුවෙයි. දවස් දෙක තුනකට වරක් පැමිණ බෙහෙත් නිෂ්පාදන සමාගම මේ බෙහෙත් කැප්සියුල එකතු කරගෙන යයි. ලෙඩට දුකට මේ කැප්සියුල පානය කළ විට සමහරවිට ලැබෙන ප්‍රතිඵලය මරණයයි.

මේ කතාව මෙතැනින් නොනවතී. ඉදිරි සතියකදී මේ කතාවේ තවත් කොටසක් වඩා භයානක ලෙස ලිවීමට අපට හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment