සීනි පැණි රසයි; ඩොලර් ඊට වඩා පැණි රසයි

343

පසුගිය දිනවල (බොහෝදුරට තවමත්) මේ රට තුළ සීනි හිඟයක් ඇති විය. කිරි පිටිත් හිඟ ය. ඒ මදිවට සල්ලිත් හිඟ ය. ඇතැම් අවස්ථාවකදී සල්ලි තිබුණත් මිලට ගන්නට බැරි දේවල් තිබේ. මේ වෙලාවේ මේ ලංකාවේ මිලදී ගැනීමට බැරි ප‍්‍රමුඛම දෙය කිරි පිටි ය. සාමාන්‍යයෙන් කිරි පිටි කිලෝවක් රුපියල් 945 කි. අද ඇතැම් තැනක කිරි පිටි කිලෝවක් රුපියල් 1945 කටවත් මිලට ගත නොහේ. ඇතැම් කඩයක යෝගට් 10 ක් මිලට ගත්තොත් ග‍්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක් පාලන මිලට ගත හැකිය. සාමාන්‍යයෙන් මේ වන විට යෝගට් එකක් රුපියල් 40 කි. යෝගට් 10 කට රුපියල් 400 ගෙවා කිරි පිටි ග‍්‍රෑම් 400 ක පැකට්ටුවක් රුපියල් 380 කට ගන්නා විට රුපියල් 780 ක් වියදම් වෙලාය. යෝගට් දමා කිරි තේ සෑදීමට නොහැක. එහෙත් කිරි පිටිවලට පුරුදු වී ඇති ජනයා කවර පදනමක් යටතේ හෝ කවර මිලක් ගෙවා හෝ කිරි පිටි මිලට ගනිති. කිරි පිටි මේ ජන සමාජය තුළ වාතයක් වීමට පටන්ගත් විට විවිධ ආණ්ඩු ඒ නිමිත්තෙන් විවිධ අර්ථකථන ප‍්‍රචාරය කිරීමට පටන් ගත්හ. එක් ආණ්ඩුවක මතය වූයේ කිරි පිටිවලට වඩා දියර කිරි හොඳ බව ය. තවත් ආණ්ඩුවක ඇමැතිවරයෙක් කීවේ සියලූම ක්ෂීරපායි සත්වයන් බිලිඳු වියෙන් එළියට එන විටම කිරි බීම අත්හරින බවත් මනුෂ්‍යයා පමණක් මරණ මංචකය දක්වාම කිරි බොන බවත් ය. මේ මත දෙකම දේශපාලන චූන් කෑලි ලෙස සලකා බැහැර කිරීමට අපට සිදුවේ. ඉන්දියාවේ ජනයාට දියර කිරි හරි ගියාට ලංකාවේ ජනයාගෙන් බහුතරයට දියර කිරි හරියන්නේ නැත. දියර කිරි පානය කළ විට සමහරුන්ට සෙම ඇවිස්සෙයි. තවත් සමහරුන්ට බඩ බුරුල් වී ටැප් එකක් කැඩුණා හා සමාන තත්ත්වයක් මතුවෙයි. මේ නිසා කවර ආණ්ඩුව කවරක් කීවද මේ රටේ ජනයා කිරි පිටිවලට ඇබ්බැහි වී ඇති බව සියලූ දෙනාම පිළිගත යුතුය. ඒ අනුව කිරි පිටි ප‍්‍රමාණවත් පරිදි පාලන මිලට ජනතාව අතට යැවීමට ආණ්ඩුව පියවර ගත යුතුය.

පසුගිය දින කිහිපය තුළදී ආණ්ඩුව ඉතා හොඳ දේවල් දෙකක් කළේය. ඉන් පළමුවැන්න වූ කලී පුද්ගලික ව්‍යාපාරිකයන් හතර පස් දෙනකු විසින් ගබඩා තුළ සඟවාගෙන සිටි සීනි ටොන් 29000 ක් අත්පත් කර ගැනීමය. දෙවැන්න නම් ෆයිසර් එන්නත ගැසීමට යුද හමුදාවට භාර දීමය. යුද හමුදාවක් තුළ ස්ථර කිහිපයක් තිබේ. එක ස්ථරයක ඉංජිනේරු බළකායක් ඇත. අනෙක් ස්ථරය තුළ වෛද්‍ය බලකායක් ඇත. එසේම යුද සෙබළුන්ගෙන් 75 % කට පමණ බර වාහන එළවීමට පුළුවන. ඒ නිසා රට තුළ ඇතිවන හදිසි අවස්ථාවකට මුහුණ දීමට යුද හමුදාවට පුළුවන. මෙය කිරීමට පොලිසියට බැරිය. පොලිස් නිල ඇඳුමට ඇති ගෞරවයට වැඩි ගෞරවයක් යුද හමුදා නිල ඇඳුම සම්බන්ධයෙන් ජනතාවට තිබේ. සඟවා තැබූ සීනි තොග ආණ්ඩුව විසින් පවරා ගැනීමෙන් පසු සීනි පාලන මිලට නිදහසේ මිලට ගැනීමේ අවස්ථාවක් ජනතාවට ලැබී තිබේ. මේ අනුව සුදු සීනි මිල කිලෝව රුපියල් 120 කි. 220 ට තිබූ සීනි කිලෝවක් එකසිය විස්ස තෙක් පහළ බැසීම ඉතාම වැදගත් ය. සීනිවලින් සිදු කරන්නේ තේවලට දමා බීම පමණක් නොවේ. සීනිවලින් දේශීය රස කැවිලි නිෂ්පාදනය කරනු ලැබේ. මේ රටේ රස කැවිලි නිෂ්පාදකයන් පසුගිය කාලයේදී රස කැවිලි නිෂ්පාදනය කළේ සීනි කිලෝව රුපියල් 60 ත් 70 ත් අතර මිලට ගැනීමෙනි. සීනි මිල රුපියල් 220 ට යාමත් සමග රස කැවිලි කර්මාන්තකරුවන්ට සිදුවූයේ ස්වකීය කර්මාන්ත වසා දමා සියදිවි නසා ගැනීමට ය. මේ අවස්ථාවේදී ඇතැම් පණ්ඩිතයන් විවිධ කතා කියනු ඇති. ඇතැමකුගේ මතය වනු ඇත්තේ සීනි දියවැඩියාවට මුල බැවින් සමාජයෙන් තුරන් කළ යුතු බවය. ඒ සඳහා සීනි මිල වැඩි කිරීමට ඔවුන් විරුද්ධ නොවනවා ද ඇත. මෙය දියර කිරි සහ කිරි පිටි සම්බන්ධයෙන් ගෙනා තර්කය හා සමාන මෝඩ තර්කයකි. ආණ්ඩුව සහල් මිල ද පාලනය කර තිබේ. මෙයට මුහුණ දීම සඳහා හාල් මෝල්කාරයන් සහල් නිෂ්පාදනය අත්හිටුවා රජය ලවාම සහල් මිල වැඩිකිරීමේ විසඳුමකට යෑමට ඉඩ ඇත. කෙසේ හෝ වේවා දැන් ඇත්තේ සීනි, කිරි පිටි, බෙහෙත් සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට ආණ්ඩුවට ඩොලර් නැති වීමය. ඩොලර් අර්බුදය බොහෝදුරට කොවිඞ් 19 වසංගතයේ අතුරු ඵලයකි. මේ නිසා ලංකාවේ ආර්ථිකයට ඩොලර් පොම්ප කිරීම සඳහා කවර හෝ පියවරක් ගත යුතුය. අවසන් ඵලයේදී සීනි පැණි රසය. ඩොලර් ඊට වඩා පැණි රසය.

advertistmentadvertistment
advertistmentadvertistment