නාඩි සහ සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයෙන්  ස්තී‍්‍රන් සම්බන්ධව දැනගත හැකි කරුණු

850

පසුගිය ලිපියේ ඉතිරිය

ළඟදී විවාහ වීමට සිටින පුරුෂයන්ට විශේෂිතවූ ලිපියකි

ස්තී‍්‍ර කේන්දරයක සඳු 07 වන රාශියේ උච්ච වී සිටියදීත් උපන් ස්තී‍්‍රන් විවාහ ජීවිතයට ඇතුළත් වීමට බියක් දක්වයි. මැලිවෙයි. නමුත් ආවේගශීලී කි‍්‍රයාශීලී ගති පැවතුම් ඇති තැනැත්තියකි. මෙවැනි චන්ද්‍රයාගෙන් විවාහ වූ අයද සිටියි. මීට අමතරව සඳු කොතන සිටියත් ශනිට, කුජට පෙනීමෙන් විවාහය ඉක්මන් කරයි. ඉක්මනින්ම විවාහයට කෙනෙක් ලැබේ. (මෙයට කේන්දරයේ අනිකුත් ග‍්‍රහයන්ගෙන් හානියක් නොවුණොත්) මීට අමතරව 7 හෝ 9 යේ සිටින ශනිට කුජ පෙනේ නම් ඉක්මනින්ම තීන්දු වී විවාහය ඉක්මන් කරවයි. නමුත් 09 යේ සිටින ශනිට සඳු පෙනීමෙන් විවාහය ප‍්‍රමාද කරයි. විවාහය සිද්ධ වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී විනාශ වී යයි. ගුරු 09 වැන්නේද විවාහය ප‍්‍රමාද කරයි. නමුත් ඉතාම ශුභ විවාහයක් ප‍්‍රමාද වී හෝ ලැබේ. එය වාසනාවන්තයි. 07 අධිපතියාද 09 වැන්නේ සිටීමෙන් විවාහය ඉක්මන් කරයි. එමෙන්ම මේ ආකාරයට පිහිටා ඇති ස්ති‍්‍රයක් නම් පුරුෂයන් ගැනම සිතන කෙනෙක් වෙයි. පුරුෂයෙක් නම් ස්තී‍්‍රන් ගැනම සිතන කෙනෙක් වෙයි. මෙය නිතර සිදුවන්නක්ද වෙයි. මීට අමතර 11 වැන්න බලමු.

11 වැන්න සමාජ සේවය මෙන්ම විවාහ සම්බන්ධ බලපවත්වන ස්ථානයක් ලෙසද දැක්විය හැක. මීට අමතරව 11, 3, 7 විවාහ සම්බන්ධව ති‍්‍රත්වය වෙයි. මෙම ස්ථාන තුන එනම් 11, 3, 7 බලවත් වූ විට එම ස්ති‍්‍රය ලබන පුරුෂයා ඉතා බලවත් වෙයි. මෙහි අනිත් පැත්තත් එසේමය. එනම් 11, 3, 7 බලවත්ව පුරුෂ කේන්දරයක් ඇත්නම් එම පුරුෂයා ලබන ස්ති‍්‍රයද බලවත් වෙයි. මෙය බොහෝවිට විවාහයෙන් පසු සිදුවන්නක් බව මගේ හැඟීමයි. මෙයට තවත් දෙයක් එකතු කළ යුතුයි. එනම් 11, 3, 7 යන ස්ථානවල සිටින ග‍්‍රහයන්ගෙන් හෝ ඒ ස්ථානාධිපති ග‍්‍රහයන් හෝ දෘෂ්ටි මත තම සහකරු ගැන හෝ සහකාරිය ගැන කිව හැක. තත්ත්වය ගැනද කිව හැකි බව කිව යුතුයි. මීළඟට යෙදෙන තවත් ග‍්‍රහ සම්බන්ධතාවයක් නම් නැවත කිව යුතුයි. සඳු. මෙම චන්ද්‍රයා බලවත් වන තරමට ස්ති‍්‍රයකට ශුභයි. ඊළඟට කුජ. මෙම ජන්මියාට 6, 7, 8 යන රාශියකට හෝ වෙන වෙනම හෝ සඳු, කුජ, සිකුරු සිටීමෙන් අධියෝගයක් සෑදේ. මෙම අධියෝගය විවිධ අර්ථ කථන දිය හැක. නමුත් මෙයින් සිදුවන හානිය ගැන බොහෝදෙනා පොරොන්දම් බැලීමේදී හිතාමතාම අමතක කරන බවක් සිතේ. මන්ද අද විවාහ වන දෙදෙනෙක් මාස කීපයකින් වෙනත් සම්බන්ධතා ගොඩනඟාගෙන දුක්විඳින බවක් කේන්දර පරීක්‍ෂා කිරීමේදී පෙනී යයි.

මීට අමතර බුධ, ගුරු, සිකුරු, 6, 7, 8 යන රාශියක හෝ වෙන වෙනම හෝ සඳු බලවත්ව ඊළඟට කුජ බලවත්ව සිටීමෙන්ද අභියෝගයක් සෑදේ. මෙම අධියෝගය යෙදෙයි. එය බලවත්ය. මෙම අධියෝගයට දෙදෙනෙක් වැටේනම් මධ්‍යම වශයෙන්ද එක් ග‍්‍රහයෙක්නම් අඩු වශයෙන්ද යෝගය යෙදෙයි. මෙම ග‍්‍රහයන්ගෙන් එක්කෙනෙකුට හෝ කීප දෙනෙකුට 7 පෙනේනම්. එයද බලවත් බවක් ගෙනදේ. මෙම යෝගය සම්පූර්ණ ලබපු (යෙදුන) ස්ති‍්‍රයක් සියලූ දෙයින් සම්පූර්ණ ස්ති‍්‍රයක් වෙයි. මෙම ස්ති‍්‍රය රටේ ප‍්‍රධානියෙක් වෙයි. නැතිනම් ප‍්‍රසිද්ධ කෙනෙකු හා විවාහ වෙයි. සියලූම දෙයින් සම්පූර්ණ අග මෙහෙසියක් වෙයි. මීට හාත්තපසින්ම වෙනස් දෙයක් ස්තී‍්‍ර කේන්දරයක තිබිය හැක. එනම් කුජ සහ සඳු මෙම යෝගය ස්තී‍්‍ර කේන්දරයක තිබෙනවාට බොහෝදෙනා බයවේ. විශේෂයෙන් පුරුෂයින් යම් බියක් දක්වයි. මෙයින් ඇත්තෙන්ම පාප කි‍්‍රයා කිරීමටත් කිසිම බයක් සැකයක් නැතුව වැරදි කිරීමටත්, ස්වාමියාට කිසිම ගරුසරු බවක් නොදැක්වීමටත් මෙම යෝගය මුල්වෙයි. තවද එවැනි දේ වෙනුවෙන් මුදල් හදල් නාස්ති කිරීමටත් පෙළඹේ. තවත් ග‍්‍රහයෙක් ගැන විමසා බැලීමේදී රවි ග‍්‍රහයා ගැනද කතා නොකළ බැරිය. මන්ද ස්තී‍්‍ර කේන්දරයක රවි ග‍්‍රහයා හතේ සිටීමද ස්ති‍්‍රයකට අශුභයි. එමෙන්ම නාඩි සිද්ධාන්තවලට අනුව එවැනි ස්තී‍්‍රන් ලබන පුරුෂයන්ද බොහෝ කලකිරීම්වලට ලක්වෙයි. බොහේ පීඩාවන් ස්තී‍්‍රන් නිසා විඳියි. මෙයත් යම් ආකාරයකට නරක පිහිටීමකි. ස්වාමි භක්තියද අඩුයි. එමෙන්ම මොනම ආකාරයෙන්වත් දෙදෙනා අතර හොඳ ආකල්ප නැත. සමගියද නැත. ටික කාලයකින් විවාහය දෙදරා යා හැක. නමුත් මෙම ග‍්‍රහ පිහිටීම්වලට ශුභ දෘෂ්ටි ඇත්නම් මෙය මෙසේ සිදුනොවේ. එවිට බලවත් වෙයි. මීට අමතරව රාහුද උච්ච නොවී හෝ ස්වක්‍ෂේත‍්‍ර නොවී 7 වැන්නේ සිටීම ශුභ පිහිටීමක් නොවේ. තවද රවි, කුජ, ශනි, රාහු චන්ද්‍රයාගෙන් 7 හෝ ලග්නයේ නම් හෝ ලග්නයෙන් හතේ (7) හෝ 8 නම්, මෙවැනි ස්තී‍්‍රන්ගේ ජීවිත දුක් සහිතයි. නාඩි සිද්ධාන්තවලට අනුව මෙවැනි ස්තී‍්‍රන් නොබෝ කලකින් වැන්දඹු වේ. ලක්නාධිපතියා හා හත්වැන්නාධිපතියා පාප ග‍්‍රහයන්ගේ වැඩි වර්ග ගණනක සිටියත් ලග්නයේ උදාවන අංශකය හා හතේ එම අංශකයද පාපයින්ගේ ස්වකීය ස්වාමියා නසන්නියක් වේ. මේ පිළිබඳව පාප අංශක කේන්දරවලද විග‍්‍රහ කර තිබේ. විශේෂයෙන් ස්ති‍්‍රය ග‍්‍රහයන්ගේ බලවත්ව යටත්ව සිටීදැයි සෑම විටම පරීක්‍ෂාකර බැලිය යුතුයි.

සෑම ස්තී‍්‍ර පුරුෂයෙක්ම හොඳ නරක දෙකින් යුක්ත වේ. එසේම සෑම වේලාවක්ම ග‍්‍රහයන්ගේ හොඳ නරක දෙකෙන් යුක්ත වේ. යම් ස්ති‍්‍රයකගේ හත්වැන්න සුභය, සුභයෙකුගෙන් යුක්තව හෝ එක ග‍්‍රහයෙකුගේ දෘෂ්ටි ලැබ තිබේනම් ආචාර සම්පන්න වේ. නාඩි සිද්ධාන්තවලට අනුව ග‍්‍රහයන් තිදෙනෙකුගෙන් යුක්තව හෝ තිදෙනකුගේ දෘෂ්ටි ලැබ තිබේ නම් ඉතා යහපත් උසස් තැනැත්තියක් වේ. නාඩි සිද්ධාන්තවලට අනුව එක පාපයෙකුගෙන් යුක්තව හෝ දෘෂ්ටි ලැබ තිබේ නම් අන් පුරුෂයන් දෙස බලන තැනැත්තියකි. පාපයින් දෙදෙනකුගෙන් යුක්තව හෝ දෘෂ්ටි ලැබ තිබේ නම් ඉතා අයහපත්ය. හතේ ග‍්‍රහයන් ඉතා නරක අන්දමට සිටින්නට හෝ හතේ දකින්නටවත් පුළුවනි.

ස්තී‍්‍ර කේන්දරයක හත්වැන්නේ පාපයින් පමණක් විසින් දක්වන ලද හිරු පමණක් සිටියොත් කෝප සිත් ඇතිව දබර කරන්නියක් වේ. පාපයින් විසින් දක්නා ලද කුජ පමණක් සිටියොත් ස්වාමියාගෙන් වෙන් වන්නියක් වේ. පාපයින් විසින් දක්නා ලද ශනි පමණක් සිටියොත් ස්වාමියා සමග විරුද්ධව පමණක් නොව තමාද ජරා ව්‍යාධි ස්වභාවයටද පත්වේ.

යම් කෙනෙකුගේ ස්ති‍්‍රයකගේ ලග්නයක් චන්ද්‍රයත් විෂම රාශි දෙකක්හි වුවොත් හෝ ලග්න චන්ද්‍ර දෙකම පාපයින් සමග හෝ පාප දෘෂ්ටි පමණක් ලබා සිටියි නම් ස්තී‍්‍ර රූප ස්වභාවයේ ඇති ගුණ හීනවූ තැනැත්තියක් වේ. සිකුරු දෙන්නාගෙන් කෙනෙක් ලග්නය දැක සිටියදී බුධ උච්චව හතෙත්, අඟහරු මකරයෙත්, සඳු කටකයේත් සිටියොත් එකලට උපන් තැනැත්තිය රූප ස්වභාවෙයන් යුක්ත ගුණවත්, බලවත් රජ බිසවක් හා සමාන සැප විඳින්නියක් වේ. ඉතා උසස් විවාහයක් ඇයට හිමිවේ.

කුජ හතේ නීචව සිටිත්දීත්, කුජ ශනි දෙදෙනා සිංහ රාශියේ හතේ සිටිද්දීත් උපන් තැනැත්තියන් ස්වාමිපුරුෂයන් වැඩි කල් ජීවත් නොවන්නෙක් වේ.

බුධහූ උච්චව හත්වැන්නේ සිටියදී උපන් තැනැත්තියගේ ස්වකීය ස්වාමිපුරුෂයා දක්‍ෂ උගත් තැනැත්තෙක් වේ. ගුරු උච්චව හතේ සිටියදී උපන් තැනැත්තිය ස්වකීය කි‍්‍රයාවෙන් හා වස්තුවෙන් සතුටට පත්වන්නා වූ ස්වාමිපුරුෂයාට කීකරු වන්නාවූ ඉතා යහපත් තැනැත්තියකි. ඇයගේ ස්වාමිපුරුෂයාද එසේම ගුණවත් වේ.

සිකුරු උච්චව හතේ සිටියද උපන් තැනැත්තිය යහපත් පෙනීමෙන් යුත් සියලූ ආභරණ වස්ත‍්‍රාදීයෙන් යුත් ස්වාමිපුරුෂයා පී‍්‍රතියෙන් පිනවන තැනැත්තියෙකි.

ශනි හතේ උච්චව සිටියදී උපන් තැනැත්තියගේ ස්වාමියා ධනවත් බලවත් උතුම් පුද්ගලයෙකු වේ. ශනි නීචව සිටියොත් වෙනස් බවක් ඇතිවේ.

රාහු හතේ උච්චව සිටියද උපන් තැතැන්තියගේ ස්වාමියාද ඉතා බලවත් පුද්ගලයකු වේ. රාහු දුබලව හෝ පාපයින්ට සිටියොත් අශුභ වේ.

අඟහරු බුධ-ගුරු සමග වූ සඳු හත්වැන්නේ කටක රාශියේ සිටියදී යම් ස්තී‍්‍රන් උපන්නේ නම් සියලූ ශරීරාංගයන්ගෙන් පරිපූර්ණ වූ ඉතා සුරූපී ස්ති‍්‍රයක් වේ. ශ්‍රේෂ්ඨ පුරුෂයෝ පවා ඈ පසුපස යයි.

කුජ මකරයේ සිටිද්දී ගුරු මීනයේ සිටිද්දීත් එකල උපන් ස්තී‍්‍රන් ඉතා උසස් භාර්යාවන් වේ සහ ස්වාමිපුරුෂයාද ඉතා ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් වේ.

රවි-ශනි-රාහු-කුජ යන පාපයින් සතරදෙනා එකම ලග්නයෙන් හත්වැන්නෙත් අටවැන්නෙත් චන්ද්‍රයාගෙත් හත්වැන්නෙත් සිටීනම් ස්වාමිපුරුෂයා වැඩිකල් ජීවත් නොවන බවට සාක්‍ෂියකි.

අටවැන්න කුජගේ රාශියක්වී රාහු පාපයෙකුත් සමග සිටියොත් ස්වාමිපුරුෂයාගේ මරණය ඉක්මන් වෙයි. හත්වැන්න කටකය වී හිරු-කුජ දෙදෙනා එහි සිටියොත් ඉතා නරක ගතිගුණ ඇත්තියක් වේ. කුජගේ නවාංශකයේ සිකුරුත්, සිකුරුගේ නවාංශකයේ කුජත් සිටියදී උපන්නියක් නම් ඇය උසස් භාර්යාවක් වේ. ස්වාමියා පී‍්‍රතිමත් කිරීම ඇයගේ ආශාව වේ. එසේම ස්වාමි භක්තික තැනැත්තියක් වේ. හත-අට අධිපතියන්ගේ දෙදෙනා එකට හයේ හෝ දොළහේ සිටියදී උපන් තැනැත්තියගේ ස්වාමියාගේ ආයුෂ ඉතා කෙටිය.

මේෂ – වෘශ්චික දෙකෙන් එකක ලග්නයට මේෂ-වෘශ්චික දෙකකින් එකක චන්ද්‍රයා සිටියදී ලග්නයේ උදාවන ති‍්‍රශාංසකය අඟහරුගෙම වූවොත් එකල උපන් තැනැත්තිය ඉතා තද පරුෂ නපුරු ස්ති‍්‍රයක් වේ. ශනිගේ ති‍්‍රශාංසකය වූවොත් පහත් ගතිගුණ ඇති ස්ති‍්‍රයක් වේ. ගුරුගේ නම් යහපත් තැනැත්තියක් වේ. බුධගේ නම් නුවණින් යුත් ස්ති‍්‍රයක් වේ. සිකුරුගේ නම් මායම් දන්නියක් වේ.මතු සම්බන්ධයි.

නාඩි සහ සාම්ප‍්‍රදායික ජ්‍යොතිෂයෙන්  ස්තී‍්‍රන් සම්බන්ධව දැනගත හැකි කරුණු

නාඩි ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශිකා
ඉවෝන් දිසානායක
ඉටුමිණ ජ්‍යොතිෂ ආයතනය (මහර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල)
රම්මුතුගල- කඩවත.
දු. අංකය: 0715 723 434, 0777 343 437

advertistmentadvertistment
advertistmentadvertistment