ආණ්ඩුව ක්‍රමවත්ව රටම බංකොලොත් කරයි! රටේ දූෂිතම අමාත්‍යංශ ගොන්න මෙන්න…

1480

සීනී බදු වංචාවට හවුල් වුණේ මුදල් අමාත්‍යාංශය

ශ්‍රී ලංකා රේගුව – දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සුරාබදු වගකීම් පැහැර හරියි

විදුලිබල මණ්ඩලයේ වංචා ගොඩයි

රජය සතු සහ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුනි 17 දින මුදල් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශ සහ මහ බැංකු නායකත්වයට උපදෙස් දුන්නේය. පෙට්‍රල්, ඩීසල්, ගෑස් ආනයනය සහ බෙදාහැරීම සම්බන්ධයෙන් එදින පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා එසේ පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ආණ්ඩුව ක්‍රමවත්ව රටම බංකොලොත් කරයි! රටේ දූෂිතම අමාත්‍යංශ ගොන්න මෙන්න...

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම අවස්ථාවට සහභාගී නොවීම ගැටලුකාරී තත්ත්වයකි. ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වර්තමාන අභියෝග හමුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙන වෙනම අදාළ අමාත්‍යාංශ සහ ආයතන සමඟ සාකච්ඡා කිරීමේ කිසිදු තේරුමක් නැත.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන සහභාගී වූ එම සාකච්ඡාවට මුදල් අමාත්‍යවරයා අනිවාර්යෙන්ම සහභාගී විය යුතු බව කිවයුතු නොවේ. තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නිසි තැන ස්ථානගත විය යුතු බව අවධාරණය කළ යුතුය. ඉහළ නිලධාරී පැලැන්තිය සැලසුම් සහගතව සහ ක්‍රමවත්ව සිදු කර ඇත්තේ, සහ අනාගතයේදී සිදු කරන්නේද නාස්තිය, දූෂණය, අක්‍රමිකතා පමණය.

සර්ව පාක්ෂික රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් කාරක සභාව නිකුත් කරන වාර්තා අනුව පෙට්‍රල්, ඩීසල්, ගෑස් ආනයනය සහ බෙදාහැරීම කඩාවැටීමේ වගකීම සහ වගවීම මූල්‍ය මණ්ඩලය, මුදල් ඇමැති සහ ජනාධිපතිවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලය සහ රටේ පළමුවන රාජ්‍ය සේවකයා වන ආචාර්ය පී. බී. ජයසුන්දර වෙත පවරා ඇත.

තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉතාමත් අවිධිමත් බව අවධාරණය කළ යුතුමය. ශ්‍රී ලංකාව අද පත්වී ඇති අතිශය ව්‍යසනකාරී තත්ත්වය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස 2019 දෙසැම්බර් 04 දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මත ගත් තීන්දු තීරණ හේතු වූ බව එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ මුල්‍ය මණ්ඩලයේ නිත්‍ය සාමාජික එස්. ආර්. ආටිගල මූල්‍ය මණ්ඩලය ඉදිරියේ ප්‍රකාශ කර ඇත. ඊට අමතරව කොවිඩ් සහ එම තත්ත්වය නිසා වාහන ආනයනය කිරීම නවතා දැමීම වර්තමාන ආර්ථික අර්බුදයට ප්‍රධාන ලෙස ඉවහල් වූ බවද ආටිගල ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය කරන අවස්ථාවේදී අර්බුදය ඇතිවන විට මහ බැංකුවේ අධිපති වූ මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් (2019 දෙසැම්බර් -2021 සැප්තැම්බර්), අජිත් නිවාඩ් කබ්රාල් (2021 සැප්තැම්බර්-2022 මාර්තු), ආචාර්ය ජයසුන්දර (2019 නොවැම්බර් -2021 දෙසැම්බර්) සහ වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද විය. ඊට අමතරව මුදල් මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන ද විය. ජුනි 8 වැනි දින පැවති එම රැස්වීමේ මුලසුන දැරුවේ පොහොට්ටු පක්ෂයේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා ය.

කොවිඩ් සහ වාහන ආනයනය නිසා ආදායම් අඩු වූවා නම්, රුපියල් බිලියන 600 අහිමි කිරීමේ මුදල් අමාත්‍යවරයාගේ යෝජනාව ක්‍රියාත්මක කළේ ඇයි? එම යෝජනාව කාගේ අවශ්‍යතාවයක්ද?

ඊට පෙර ආචාර්ය වීරසිංහ සහ මුදල් ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු ඉහළ නිලධාරීන් පාර්ලිමේන්තු කාරක සභා වෙත වාර්තා කළ අවස්ථාවේදී කළ හෙළිදරව් අතිශය ආන්දෝලනාත්මක ය. තෙල් පිරවුම්හල් අසල ගැටුම් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍ය සැබෑ තත්ත්වය දැනුවත්ව හෝ නොදැනුවත්ව වාර්තා නොකරයි. රට පුරා ඇතිවී තිබෙන පෝලිම්වල පසුබිම් කථාව ජනතාව නිසියාකාරව නොදනියි. අසත්‍ය ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යාංශය දිගින් දිගටම පාර්ලිමේන්තුව නොමග යවන ආකාරය මෑතකදී ආචාර්ය වීරසිංහ පාර්ලිමේන්තු කාරක සභාවකදී හෙළි කළේය. එම අසත්‍ය ඇස්තමේන්තු මත පිහිටා ක්‍රියාකිරීම නිසා සමස්ත ආර්ථිකය අර්බුදයකට ලක්වී ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය. මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුව නොමග යැවීමේ වගකීම මුදල් ඇමැති සහ මුදල් ලේකම් භාර ගත යුතුය. ඔවුන් දෙදෙනාම ඊට වගවිය යුතුය. ඇත්ත වශයෙන්ම අදාළ කාරක සභා ඉදිරියේ හෙළිවූ කරුණු කාරණා අනුව මෙම නස්පැත්තියට මුදල් අමාත්‍යාංශය සහ මූල්‍ය මණ්ඩලය මූලිකව වගකිව යුතු බව අවධාරණය කළ යුතුය.

මුදල් අමාත්‍යාංශය ක්‍රියාත්මක වූ සහ තවදුරටත් ක්‍රියාත්මක වන ආකාරය ඇත්ත වශයෙන්ම ජුගුප්සාජනක ය. රජයට අති විශාල බදු ප්‍රමාණයක් අහිමි කළ සීනි බදු වංචාව ක්‍රියාත්මක කිරීමට 2020 ඔක්තෝබර් 13 ගැසට්ටුවක් නිකුත් කළේ මුදල් අමාත්‍යාංශය බව රහසක් නොවේ. සුදු සීනි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට සත 25 දක්වා අඩු කිරීමෙන් මුදල් අමාත්‍යාංශය කළේ වැහි නැති හෙණ ගහන අපරාධයකි. වංචාව හෙළි වීමෙන් පසුව ද මුදල් අමාත්‍යාංශය සීනි ආනයනය කිරීම සඳහා පාර්ලිමේන්තුව යෝජනා කළ බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීම පැහැර හැරිය බව රහසක් නොවේ. එනිසා රජයට බරපතළ පාඩුවක් සිදු වූ බවද ගිණුම් කාරක සභාව චෝදනා කර ඇත. ජාතික ආර්ථිකයට කෙළියේ මුදල් අමාත්‍යාංශය බව සර්ව පාක්ෂික කාරක සභා තුනේදී වාද විවාදයකින් තොරව ඔප්පු වී ඇත.

ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව තම රාජකාරිය දිගින් දිගටම පැහැර හැරීම එළිපිටම සිදුවන බව පැහැදිලිය. මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෙම ආයතන තුන ක්‍රමවත්ව ක්‍රියාත්මක නොවන බව පැහැදිලිය.

ගිණුම් කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ 2021 ජුලි 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පළමුවන වාර්තාවේ ඉහත සඳහන් ආයතන තුන දූෂිත සහ වගකීම් විරහිත ආකාරයට කටයුතු කරන බව පෙන්වා දී ඇත. නමුත් ආණ්ඩුව හෝ පාර්ලිමේන්තුව නිසියාකාර ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ආණ්ඩුවට රුපියල් නැතිවී, රටට ඩොලර් අහිමිවීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රියාත්මක බව ජනතාව තේරුම් ගත යුතුය. පොහොට්ටු පක්ෂයෙන් ක්‍රමවත් සහ යහපත් ජනතා හිතෛෂි පාලනයක් බලාපොරොත්තු නොවන්න. පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විවේචනයට දක්ෂය. නමුත් අර්බුදයට පිළිතුරු නැත. ආර්ථික අභියෝගය භාර ගැනීමට ද ශක්තියක් නැත. එසේ නොවන්නට විපක්ෂ නායක අද අගමැති පුටුවේ ය. ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් ඇමැතිය. නමුත් කවුරු ආණ්ඩුවට ගත්තත් මුදල් අමාත්‍යාංශය වගකීම් විරහිත කණ්ඩායමක් අතට පත් වුවහොත් ඇතිවන තත්ත්වය සක්සුදක්සේ පැහැදිලිය. යහපාලන බැඳුම්කර මගඩි (2015 සහ 2016) සහ සීනි බදු වංචාව (2020), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම ප්‍රතික්ෂේප කිරීම (2020) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් නොසලකා රුපියල් බිලියන 600 කපා හැරීම (2020) කළ ඔලමොට්ටලකම් කිහිපයකි. අදාළ පාර්ලිමේන්තු කාරක සභා වාර්තා පරිශීලනය කිරීමෙන් වර්තමාන ආණ්ඩුවේ එවකට මූල්‍ය නායකත්වය දැනුවත්ව හෝ නොදැනුවත්ව කළ විනාශය තේරුම් ගත හැකිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මූල්‍ය කරුණු කාරණා සම්බන්ධයෙන් නොමග යැවූ කණ්ඩායම ඉතාමත් කෙටි කලක් මුදල් අමාත්‍ය ලෙස කටයුතු කළ ජාත්‍යන්තර අරමුදලට ගිය ජනාධිපති නීතිඥ අලි සබ්රි ස්වර්ණවාහිනිය සමඟ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළේය. මෙම කණ්ඩායම කළ අහස පොළොව නූහුලන අපරාධය ශ්‍රී ලංකාව අන්ත අසරණ තත්ත්වයකට පත් කර ඇත. නමුත් යුරෝපීය ඇඳුමින් සැරසී පාර්ලිමේන්තු කාරක සභාවලට වටිනා රථවලින් පැමිණීමේ භාග්‍ය තවමත් ඔවුන්ට ඇත.

තමන් ඇතුළු කැබිනට් සාමාජිකයින් කිහිප දෙනෙකුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වහාම යා යුතු බව කළ අනතුරු ඇඟවීම කැබිනට් මණ්ඩලය නොසලකා හැරිය බව සබ්රි චෝදනා කර ඇත. පාර්ලිමේන්තුව මුදල් අමාත්‍යාංශය සහ මුදල් මණ්ඩලය කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුමය. මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මුදල් මණ්ඩලයේද සාමාජිකයකු බව පෙන්වා දිය යුතුය. විශේෂ පාර්ලිමේන්තු විමර්ශනයක් කර වගකිවයුතු සියලු මහජන නියෝජිතයන් සහ නිලධාරීන් හඳුනා ගත යුතුය.

විදුලිබල මණ්ඩලය කර ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගියදා පොදු ව්‍යාපාර පිළිබඳව කාරක සභාව සිදු වූ විමර්ශනය අතරතුර කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් අවධාරණය කළේ මෙම ආයතනය රජයට හිමි නැති ස්වරූපයක් පෙන්නුම් කළ බවයි. මහාචාර්යවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද විදුලි බල මණ්ඩලයට ඕනෑ ආකාරයට කටයුතු කිරීමට සලසා ඇත. එම ආයතනයේ සේවකයන්ට තම වැටුපට අමතරව 2020 සහ 2021 ගෙවා ඇති අමතර ගෙවීම් රුපියල් මිලියන 3,679 කි. එම කාලයේ වගකිව යුතු අමාත්‍යවරු ඩලස් අලහප්පෙරුම සහ ගාමිණී ලොකුගේය. ඊට අමතරව සේවකයින් වෙනුවෙන් බදු වර්ග දෙකක් ගෙවීම සඳහා රුපියල් බිලියන 48 ක් මණ්ඩලය මහජන මුදලින් ගෙවා ඇත. පසුගිය වසරේ එම සේවකයින්ට ලබා දී ඇති වැටුප් වර්ධකය 25%. මුල්‍ය විනය පවත්වා ගැනීමට වගවිය යුතු පාර්ලිමේන්තුව සහ මුදල් අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත.

මෙලෙස ක්‍රියා කරන්නේ විදුලි බල මණ්ඩලය පමණක් නොවේ. ප්‍රධාන රාජ්‍ය ආයතන සියල්ලම අතිශය දූෂිත ගමනක බව පාර්ලිමේන්තු විමර්ශන හරහා හෙළිවී ඇත. සියලුම වරදකරුවන් නිරුපද්‍රිතව සිටිති.

සියලුම භාණ්ඩ සහ සේවා හිඟ වී, නැවතත් පෝලිම් යුගයක් ඇතිවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තුව ජනතා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. චූදිතයෝ සහ අදාළ ආයතන ඉතාමත් පැහැදිලිය. නමුත් පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් කළ කණ්ඩායමට නිසියාකාර දඬුවමක් ලැබෙන බව පෙනෙන්නට නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment