නොකා නොබී ගෙවන බිල් මදිවට… වතුරටත් ගෙවපල්ලා…

117

විදුලි බිල ඉහළ දැමීමෙන් ජල සම්පාදන මණ්ඩලයට වැයවන මුදල රුපියල් මිලියන 425 ක්

රුපියල් මිලියන 2,400 ක් ණයයි

විදුලි බිල ඉහළ යෑම නිසා ජල සම්පාදන ක්‍රියාවලියට වැයවන මුදල 66% කින් වැඩියි
ජල සම්පාදන මණ්ඩලය
ජල හා මළාපවහන ගාස්තු ඉදිරියේදී ඉහළ දැමීමට නියමිතයි…කැබිනට් අනුමැතියත් ලැබී අවසන් ජලසම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන්

දරාගත නොහැකි විදුලි බිල නිසා මෙරට ජනතාව වැටී ඇති ඉරණම ඉතාමත්ම ඛේදනීය ය. ජනතාවගේ පැත්තෙන් කිසිදු සාධාරණ හේතු සලකා නොබැලූ මෙම විදුලි බිල වැඩිකිරිල්ල අද සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම අනෙකුත් රැකියා ක්‍ෂේත්‍රවලටද මඟ අහුරා ඇති බව අපට පෙනීයන කරුණකි. දිනෙන් දින මෙරට ජනතාවට අහිමිවන රැකියා වලටද හේතුව මේ ආණ්ඩුවේ බිල වැඩිකිරීම හා අසාධාරණ බදු ප්‍රතිපත්තිය බව දැන් පෙනී යනු ඇත. මෙරට සෑම පුරවැසියෙකුටම මේ බිල් ගෙවිල්ල දැන් තිත්ත වී ඇත්තේ ලැබෙන ආදායමෙන් බිල් ගෙවනවා මිස තවත් කරන්නට කිසිදු දෙයක් ඉතුරුවී නොමැති හෙයිනි. ඇත්තෙන්ම ජනතාවට සිදුවී ඇත්තේද තම මූලික අවශ්‍යතා පසෙකට තබා ආණ්ඩුවට බිල් ගෙවීමටය. මෙලෙස අසාධාරණ ලෙස වැඩිකිරීම් නිසා මෙරට ජනතාවට සිදුවී ඇති කනගාටුදායක තත්ත්වය ගැන මේ වනවිටත් කිසිවකු කතා නොකරන්නේ ‘නඩුත් හාමුදුරුවන්ගේ හා බඩුත් හාමුදුරුවන්ගේ’ නිසා බව පැහැදිලිය. මේ ආණ්ඩුවේ වැඩිකිරීම් තවමත් ඉවර නැති වගක්ද පෙනෙන්නට ඇත. එනම් ඉදිරියේදී රටේ ජනතාවට මුහුණදීමට සිදුවනු ඇත්තේ ඉහළ යන වතුර බිලෙන් නැවත බැටකෑමටය. ජල සම්පාදන මණ්ඩලය කියන පරිදි විදුලි බිලේ ඉහළ යෑම හේතුවෙන් ජල සම්පාදන ක්‍රියාවලිය සඳහා වැයවන මුදල 66% කින් ඉහළ යෑම හේතුවෙන් මණ්ඩලයට සිදුවන පාඩුව නිසා නැවත වතාවක් ජල බිලේ සංශෝධනය සිදුවිය යුතු බවය. එම නිසා ඒ බර ද මෙරට ජල පාරිභෝගිකයන් මතම පැටවීමට සිදුවන බව විවිධ පුවත් හරහා මේ දිනවල කරළියට පැමිණෙමින් ඇත.

● ජල සම්පාදනයේ බරත් ජනතාවගේ කර මතටම

කන්න බොන්නවත් හරිහැටි නොමැති බංකොලොත් වූ රටෙහි බර ජනතාවගේ හිස මත පැටවීමේ කාර්යය තවමත් රටේ පාලක පක්‍ෂයට ඇතිවී නොමැති බව මෙවැනි වැඩිකිරීම් අපට තුළින් පෙනීයනු ඇත. පසුගියදා ජලසම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසුවේ ජල හා මළාපවහන ගාස්තු ඉදිරියේදී ඉහළ දැමීමට නියමිත බවකි. එයට හේතු ලෙස අමාත්‍යවරයා දක්වා සිටින්නේ විදුලි ගාස්තුව 66% වැඩිකිරීම හේතුවෙන් ජල සම්පාදන අංශය කළමනාකරණය සඳහා වැයවන මුදල රුපියල් මිලියන 425 ක් වන බවත් රුපියල් මිලියන 2,400 ක ණය මුදලක්ද ජල සම්පාදන මණ්ඩලය මගින් ගෙවීමටද සිදුවීමට ඇති බවයි. ඇමැතිවරයා කියන්නේද ජල සම්පාදන මණ්ඩලයේ ණය ගෙවීමට හා විදුලි බිල පියවා ගැනීමට සඳහා එකම විසඳුම මෙරට ජල පාරිභෝගියන් මත ඒ බර පැටවීම බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතියද දැන් ලැබී අවසන් බවය. නමුත් සිදුවිය යුත්තේ එය නොවන බව කිවයුතුය. ජල සම්පාදනයේ පාඩුව මෙරට ජනතාව මතම නොපටවා ජල සම්පාදනයට අයවිය යුතු විවිධ පාර්ශ්වයන්ගේ හිඟ මුදල් අයකරගැනීම කළ යුතුව ඇත. කොටින්ම කිවහොත් ජල සම්පාදනයට ඇමැතිමැතිවරුන් තබා ඇති ‘පොලු’ නැවත ජල සම්පාදනයට අයකරගැනීමට ක්‍රියාකළ යුතුය. ආර්ථික අහේනියෙන් සිටින ජනතාවට විදුලි බිල ගෙවා දමන්නේද කොටස් කිහිපයකිනි. එසේ තිබියදී වැඩිවන ජල ගාස්තුවද ගෙවීම මෙරට ජනතාව සිදුකරන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි.

● ජල ගාස්තු ඉහළ යෑම ගැන ජල සම්පාදනයෙන් ඉඟි

විදුලි බිල ඉහල යෑමත් සමඟ ඉදිරියේදී ජල බිල්පත වැඩිවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මියද පසුගිය දිනක ප්‍රකාශ කළාය. එහිදී ඇය පවසා සිටියේ විදුලි බිල ඉහළ යෑම නිසා ජල සම්පාදන ක්‍රියාවලියට වැයවන මුදල 66% කින් වැඩිවී ඇති බවකි. ජල බිල ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසා සිටින්නේ එසේ නොකළහොත් මෙරට ජල අවශ්‍යතාව නිසි පරිදි සැපයීමට නොහැකිවන බවකි. වැඩිවී විදුලි බිල හේතුවෙන් මෙරට ජල සම්පාදනය පාඩු ලබන බවත් ඔවුන් පෙන්වා දෙන ආකාරයට ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදාහැරීමේදී වැයවන සමස්ත මුදලෙන් 35% ක්ම වැයවන්නේ ඒ සඳහා භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි. ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙන ආකාරයට පසුගිය වසරේ සැප්තැම්බර් පළමු වැනිදා සිට පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ජල ගාස්තු ඉහළ දැමුවත් විදුලි බිල ඉහළ යෑම නිසා පසුගිය වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවකි.

● මෙරට ජල පරිභෝජනය

ජල සම්පත් මණ්ඩලයේ පාරිභෝගිකයන් මිලියන 3 කින් මිලියන 2.6 ක්ම ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ය. මෙරට ජල සම්පාදන මණ්ඩලයේ ගණනය කිරීමට අනුව සාමාන්‍ය පවුලකට දිනකට ජලය ලීටර 500 ක් පමණ අවශ්‍ය වේ. එනම් ඒකක ගණන 15 කි.

පසුගිය වසරේ එනම් 2022 සැප්තැම්බර් 1 දා සිට ජල ගාස්තුව ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගත්තේය. එහිදී පළමු ඒකක 05 සඳහා ඒකකයකට අයකළ රුපියල් 12 ක පරිහරණ ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීය. එය ඒකක 6-10 දක්වා ඒකකයකට පැවැති රුපියල් 16 ගාස්තුව රුපියල් 27 ක් දක්වාද, ඒකක 11 සිට 15 දක්වා පැවැති රුපියල් 20 ගාස්තුව ඒකකයකට රුපියල් 34 ක් දක්වාද, ඒකක 16-20 දක්වා ඒකකයකට රුපියල් 40 ගාස්තුව රුපියල් 68 ක් දක්වාද, ඒකක 21-25 දක්වා පැවැති රුපියල් 58 ගාස්තුව රුපියල් 99 දක්වාද, 26-30 දක්වා ඒකකයකට රුපියල් 88 ක්ව පැවැති ගාස්තුව රුපියල් 150 ක් දක්වාද, ඒකක 31-40 දක්වා ඒකකයකට රුපියල් 179 බැගින්ද, ඒකක 41-50 දක්වා ඒකකයකට රුපියල් 204 බැගින්ද, 51-75 දක්වා ඒකකයකට රුපියල් 221 බැගින්ද ඒකක 75 සිට ඉහළට ඒකකයකට රුපියල් 235 බැගින්ද ගෙවීමට ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ට සිදුවිය.

පසුගිය ජල ගාස්තු සංශෝධනයේදී රුපියල් 50 ක්ව පැවැති අවම සේවා ගාස්තුව රුපියල් 300 ක් දක්වා ඉහළ දැමීය. තවද ඒකක 26-30 දක්වා රුපියල් 200 ක්ව පැවැති සේවා ගාස්තුව හා ඒකක 31-40 දක්වා රුපියල් 400 ක්ව පැවැති සේවා ගාස්තුව රුපියල් 900 දක්වාද ඉහළ දමා තිබිණි. ඒකක 41-75 දක්වා නව ගාස්තුව වූයේ රුපියල් 2400 කි. ඒකක 75 ට වැඩි කාණ්ඩයේ සේවා ගාස්තුව රුපියල් 3500 ක් දක්වාද ඉහළ ගියේය.

● ජල සම්පාදනයෙන් රටට ආදායම

මාසිකව ජල බිල්පත් මගින් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රුපියල් කෝටි දෙසීයක් පමණ ආදායමක් ලබයි. එම ආදායමෙන් වැඩි මුදලක් වැයවන්නේ මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ පඩිනඩි ගෙවීම සඳහාය. රටේ ලාභ නොලබන ආයතන අතරට මෙම ජල සම්පාදන මණ්ඩලයද අයත් බව කිවයුතුමය.

● වැඩිවන ජල බිලෙන් ජනතාවට පීඩා

පවුලක අත්‍යවශ්‍ය සේවා වන විදුලි හා ජල බිල්පත් ගෙවීම අනිවාර්යය වන අතර ඖෂධ සඳහාද වියදම් දැරිය යුතුය. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම්ද දැරිය යුතුය. තවද ආහාර අවශ්‍යතාද හැකි පමණින් ලබාගත යුතුය. එහෙත් රජයේ සියලු පාඩු රටේ ජනතාව වෙත පැවැරීමෙන් අසරණ වෙන ජනතාව අද කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වී ඇත. මෙම ඉහළ යන ජල බිලෙන් වැඩි හරියක්ම පීඩා විඳින්නේ මෙරට නාගරික පරිසරයේ ජීවත්වන වැසියන්ය. මහල් නිවාස වල ජීවත්වන ජනතාව තම ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මේවන විටත් අධික වියදමක් දරනු ලබයි. එයට හේතුව වන්නේ ඔවුන්ට ජලය ලබාගැනීමට වෙනත් විකල්ප ක්‍රම වන ළිං, පොකුණු හා වෙනත් ජල යෝජනා ක්‍රම නොමැති නිසා ඔවුන්ගේ විදුලි බිලට සමානව ජල බිලද ඉතා ඉහළ මට්ටමක පවතියි. විදුලි බිල දෙවරක් වැඩිවීම හේතුවෙන් හෙම්බත් වූ ඔවුන් වසර එකොළහකට පසු වැඩිවූ ජල බිලෙන්ද බැට කෑවේය. කොතරම් බිල වැඩිකළත් පාඩු ලබන අපේ රටේ සංස්ථා, මණ්ඩල කෙරුවාවේ වැඩිකිරිල්ල තවමත් නිම වී නැත. දැනටමත් ඉදිරියේදී නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත ජල බිලේ කසකරුවන්ද මේවන විටත් කලඑළිබැස ඇත. මෙරට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය, ලංගම හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හැමදාම පාඩු ලබන්නේ මෙරට ජනතාව නිසා නොව එම සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තුවල ඇති සේවක අතිරික්තය හා නොයෙකුත් අකටයුතුකම් නිසාය. මෙසේ පාඩු ලබන ආයතන ලාභකිරීමට යැයි කියා රජයක් මගින් ජනතාව පිට බර පැටවීම නොහොබිනා ක්‍රියාවකි. එසේ නම් සිදුවිය යුත්තේ වැඩිකිරිල්ල නොව මේ සංස්ථා, මණ්ඩල පාඩුලබන්නේ කෙසේදැයි සොයා බැලීමය. රජය විසින් කළයුත්තේ ජනතාවගේ ඉහමොළ සූරා කෑම නොව පාඩු ලබන සියලු ආයතන වලට ගෙවිය යුතු මෙතෙක් විවිධ පාර්ශ්ව විසින් ගෙවීම් පැහැර හැර ඇති මුදල් නැවත අයකර ගැනීමය. මෙරට මැති ඇමැතිවරුන් අවුරුදු ගණනක් තිස්සේ නොගෙවා පැහැර හැර ඇති ජල, විදුලි සඳහා වූ රටේ කෝටි ගණනක ධනස්කන්දය නැවත අයකර ගැනීමය. එමෙන්ම ඉහත සඳහන් කළ ආයතන තුළ සිදුවන දූෂණය, කොමිස්, ගසා කෑම් වහා නැවැත්විය යුතුමය. නැවත වතාවක් ජල බිල ඉහළ යෑමෙන් මෙරට හෝටල් හා කර්මාන්තකරුවන්ට සිය බිඳ වැටී ඇති කර්මාන්ත නිසි පරිදි පවත්වාගෙන යෑමට නොහැක.

● විදුලිබිලෙන් බැට කෑ ව්‍යාපාර

බංකොලොත්භාවයට පත්ව ඇති යුගයක ඉදිරියේදී ජල බිලෙනුත් සිදුවන බලපෑම නිසා මෙරට ව්‍යාපාර ක්‍ෂේත්‍රයද දැවැන්ත කඩාවැටීමකට ලක්විය හැකිය.

පසුගිය අවුරුද්ද තුළ සංශෝධනය වූ ජල ගාස්තුව නැවතත් සංශෝධනය කිරීමට රජය මගින් ගෙන එන මිල සූත්‍රය කවර අයුරකින් යොදාගනීද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැත. මේ වනවිටත් මෙරට ජනතාව වේලක් කා දෙවේලක් කුසගින්නේ සිටින්නේද කරුවලේ සිටීමට නොහැකි නිසා වැඩිවූ විදුලි බිල ගෙවා දැමීමටය. මෙරට ජනතාව ණය ගෙවීමට නොහැකි වූ තැන පවුල් පිටින් සියදිවි නසාගන්නේද තවත් කරන්නට කිසිවක් නොමැති තැනය. ණය වී හෝ බිල්පත් ගෙවීමට සිදුව ඇති මෙරට ජනතාවට තවත් අලුතින් වැඩිවන ජල බිලද ගෙවිය නොහැක. ඉදිරියේදී මෙරට ජනතාවට වතුරටත් අධික මිලක් ගෙවීමටද සිදුවන කාලය වැඩි ඈතක නොවන බව අකැමැත්තෙන් හෝ අප පැවැසිය යුතුමය. මෙරට ජනතාවගේ අගහිඟකම් නොතේරෙන ආණ්ඩුවේ මෙවර ජල බිල්පත් ඉහළ දැමීම කවර හෝ සූත්‍රයකට ගෙන ආවත් එය අධික බදු බරින් තැලී පොඩිවී සිටින මිනිසුන්ගේ ඉතිරි තඹදොයිතුවත් සූරාකන සූත්‍රයක් වනු බවට නම් නොඅනුමානය.

රමින්ද ලසන්ත මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment