මිනිසුන් රැසකගේ ජීවිත ඒකාලෝක කළ යුග පුරුෂයෙකුගේ නික්ම යාම

672

ශ්‍රී ලංකා ධරණී තලයේ බිහි වූ කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයෙක් මෙන්ම ජනහිතකාමී යුග පුරුෂයෙක් වූ ශ්‍රී ජීවක ලලිත් භුපේන්ද්‍ර කොතලාවල මහතා පසුගියදා (ඔක්තෝබර් 21) අප අතරින් සමු ගත්තේය. මේ සටහන ඒ වෙනුවෙනි.

1938 ඔක්තෝබර් මස 29 වැනි දින හිටපු සෙනෙට් සභික දිවංගත ජස්ටින් කොතලාවල මහතාට හා මිලිසන්ට් කොතලාවල මැතිනියට දාව උපන් ජීවක ලලිත් භුපේන්ද්‍ර කොතලාවල මහතා ශ්‍රී ලංකාවේ තෙවන අග්‍රාමාත්‍ය දිවංගත සර් ජෝන් කොතලාවල මහතාගේ සමීප ඥාති පුත්‍රයෙකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා, වරලත් ගණකාධිකරණය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ එක්සත් රාජධානියෙන්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ අධිකරණ අමාත්‍යවරයෙක් වූ දිවංගත සෑම් පී. සී. ප්‍රනාන්දු මහතාගේ දියණියක් වූ සිසිල් කොතලාවල මැතිනිය සමග විවාහ වූ ඒ මහතා පසුව තම පියාගේ ව්‍යාපාරයට එක් විය.

ඉතා කුඩා රැකියාවකින් ආරම්භ කළ ඒ මහතා, 300 කට අධික සමාගම් ජාලයකින් සමන්විත සෙලින්කෝ සමූහ ව්‍යාපාරය බිහි කරමින් 45,000 කට අධික රැකියා අවස්ථා ලබාදෙමින් ශ්‍රී ලාංකික ව්‍යාපාර ලෝකයේ නව පිටුවක් පෙරළන ලදි.

මෙරට ආර්ථිකයට, සමාජයට කළ මෙහෙවර වෙනුවෙන් දේශබන්දු, දේශමාන්‍ය, ආචාර්ය වැනි සම්මාන රැසකින් පිදුම් ලැබූ ඒ මහතා කීර්තිමත් මානව හිතවාදී ව්‍යාපාරිකයෙක් බවට පත් විය. පසුකාලීනව මහබැංකු බෝම්බ සිදුවීමෙන්, ඒ වන විට ඒ අසල සෙලින්කෝ මන්දිරයේ සිටි ඒ මහතා ද තුවාල විය. මේ සිදුවීම හරහා ජීවිත යථාර්ථය දුටු ලලිත් කොතලාවල මහතා වැඩි වැඩියෙන් පරිත්‍යාගයට නැඹුරු විය.

නොබෙල් සම්මානයට පාත්‍ර බංගලාදේශයේ මහාචාර්ය යූනුස් මහතාගේ සංකල්පය අධ්‍යයනය කොට ලංකාවට ගැළපෙන පරිදි සෙලින්කෝ ග්‍රාමීන් වැඩසටහන ආරම්භ කරමින් පවුල් රැසකට ආර්ථික ශක්තිය ලබාදීමට නායකත්වය ලබා දෙන ලදි. ව්‍යාපාර සමූහයේ ලබන ලාභයෙන් කොටසක් වෙන් කර සරණ පදනම හරහා ඒ මහතා ඉටු කළ මෙහෙවර ද වචනවලින් කියා නිම කළ නොහැක.

ව්‍යාපාරික ලෝකය තුළ පුද්ගලයන් හා සිදුවීම් කෙරෙහි අසීමිතව විශ්වාසය තැබීම සුදුසු නොවන බව පසක් කරමින් බන්ධනාගාර අත්දැකීම් ලබාගන්නටත් ගෝල්ඩන් කී සිදුවීම හරහා ඔහුට සිදු විය. මේ සිය අභියෝග තරණය කරමින් තවදුරටත් සමාජ සේවයට ජීවිතයම කැප කළේය. සුළු වැරදිවලට බන්ධනාගාරගත වූ සිරකරුවන් සමාජයේ කොන් කිරීමට ලක් නොකොට “සිරමිතුරු සේවාව හරහා දහස් ගණනක් සුළු වැරදිවලට සිරගතවූවන් නිදහස් කොට ඔවුන් ස්වයං රැකියාවලට යොමු කිරීමට ඔහු ගත් වෙහෙස සුළුපටු නොව්.

තම දිවි ගමනේ අසීමාන්විත පෞද්ගලික සුඛ විහරණය බැහැර කරමින් අසරණ දුගී ජනතාවට සරණක් වූ ඒ මහතා, අභියෝග හමුවේ නැගී සිටීමට ඔහු සතු වූ ආත්ම විශ්වාසය., ගංවතුර, සුනාමි ආදී ලංකාව මුහුණ දුන් විවිධ අර්බුද හමුවේ ඔහු කැප වූ අයුරු තවමත් ජනතා හදවත් සාක්ෂි දරනු ඇත. සුනාමි අර්බුදය හමුවේ, සුනාමි නමින් රක්‍ෂණ ක්‍රමයක් නොමැති සමයක සෙලින්කෝ ගනුදෙනුකරුවන් වෙත රක්‍ෂණ වන්දි පිරිනමමින්, ණය ආධාර ලබා දෙමින් ඔවුන් නගා සිටුවීමට තම කාර්ය මණ්ඩලය සමග ගමින් ගමට ඔහු ගිය අයුරු ඔබට මතක ද ?

මෙලෙස ඔහු මුහුණ දුන් විවිධ අර්බුද හමුවේ සමහරු ඔහු හැර යන්නට ද ඇත. සමහරු වරප්‍රසාද, වාසි වෙනුවෙන් ඇසුරු කරන්නට ද ඇත. “තවත් සමහරු කළණ මිතරන් සේ අද ද හෙට ද ඔහු සමග ජීවත් වනු ඇත.

දශක අටහමාරකට අධික කාලයක් ජාති ආගම් කුල මල භේදවලින් තොරව ජනතා සේවයට කැප වෙමින් අද තම දිවි ගමනට සමු දෙන දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල නම් මේ යුග පුරුෂයා අප අතරින් මෙලෙස සමු ගන්නේ සියල්ල ‘අනිත්‍ය’ බව තවදුරටත් පසක් කරමිනි. නමුත් ඔහු මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉටු කළ මෙහෙවර ජනතා හදවත්වල නොමියෙනු ඇත.

මෙලෙස නොනිමි මෙහෙවරක නිරත වෙමින් අප අතරින් සමු ගන්නා ඔබට සුභ ගමන්…

මැතිඳුනි ඔබට මොක් සුව !
මැතිඳුනි ඔබට නිවන් සුව !

ප්‍රභාත් කුලරත්න

advertistmentadvertistment
advertistmentadvertistment