හෝටලයක ඩෙඟා නැටූ සමන් ද සිල්වා 25,000 ක් ගෙවා වැඩේ ගොඩදාගනී

872

පානදුර වලාන ගාලු‍ පාරේ හෝටලයක පසුගිය (01)දා රාත්‍රි ආහාර පාන ලබාගෙන එහිදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් ලද පැමිණිල්ලක් මත චෝදනා එල්ලවී සිටි ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් රුපියල් 25,000 ක මුදලක් ලබාදී සිද්ධිය සමතයකට පත්කර ගැනීමට ඊයේ (03දා) එකඟවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි.

පැමිණිලි පාර්ශවය මුදල් ලබාගැනීමෙන් පසු පැමිණිල්ල තවදුරටත් විභාග කිරීමට අවශ්‍ය නොවන බව දැනුම්දී ඉල්ලා අස්කර ගැනීමෙන් පසු දෙපාර්ශවයට අවවාද කර පිටත්කර යැවූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ජනප්‍රිය ගායක සමන් ද සිල්වා මහතා ඉකුත් 01 දා රාත්‍රි මිතුරන් පිරිසක් සමග පානදුර වලාන ප්‍රදේශයේ අවන්හලකට ගොස් පරාටා, කොත්තු සහ කුකුළු මස් මිලදීගෙන ආහාරයට ගෙන ඇත. ඉන් පසු බිල්පත නිරවුල් කිරීමේදී ඇතිවූ කතාබහකින් පසු එහි මුදල් අයකැමිවරයාට සහ වේටර්වරයෙකුට පහරදී ප්ලාස්ටික් පුටු දෙකකට හානිකර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කීය. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරන ලදී.
ආර්.ඒ.එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment