දකිමින් හිඳින දසුන රිදුම් උපදවනු සුළුය. මුරකරු යැයි සිතිය හැකි පුද්ගලයා අබලන් පුටු කබලක් මත දිගු නින්දකය. ජරාවාස වෙමින් පවතින ඉතිහාසයක් නිදිකිරා වැටෙමින් ආරක්ෂා කිරීම හේතුවෙන් එහි පැවැතිය යුතු ආරක්ෂාව බිංදුවට වැටී ඇති අයුරු දැකගත හැක. ආරක්ෂකයාට මදක් නුදුරින් වන්නට යාචකයෙක් යැයි සිතිය හැකි පුද්ගලයෙක් සිය දිවා ආහාරය බුදිමින්ය. ඔහු විසින් බත් පත දිගහැර ඇත්තේ සංරක්ෂණය කර ඇතැයි සඳහන් මේසයක් මතය. එම ඉපැරණි මේසය ඇතැම්විට කොළඹ පළමු නගරාධිපතිවරයාගේ “රාජකාරි මේසය” විය හැක. යාචකයෙක් යැයි සිතිය හැකි පුද්ගලයාට ඒ පිළිබඳ වගේ වගක් නැත. ආරක්ෂාව භාර පුද්ගලයාටද ඒ පිළිබඳ හැගීමක් නැත.

එම දර්ශනයෙන් ඉවතට ගත් ඇස ඇතුළු ගෘහයේ නාම පුවරුවක් මත සඳහන්ව තිබූ උදාරම් වැකියක් අසල නතර විය. එහි සඳහන්ව ඇත්තේ “කොළඹ නගර සභාවේ පැරණි නගර සභා ශාලාවේ ආදි ශ්‍රී විභූතිය මතු පරපුර උදෙසා සංරක්ෂණය කර ඇතැයි” යනුවෙන්ය. ඉහත සඳහන් කරන ලද්දේ මිනිස් වාසයෙන් තොර බිමක පිහිටි ඉපැරණි නටබුන් සහිත නිමවුවක් පිළිබඳව යැයි බැලු බැල්මට කෙනෙකුට හැඟී යනු ඇත. ඊට හාත් පසින්ම වෙනස් පරිසරයක ඇස ගැටුණ සිදුවීම දුටු සැනින් සංවේගය පහළ වන්නේ ඇස්පනාපිට ජාතිය සතු ඉතිහාසය වළපල්ලට යමින් තිබෙන අයුරු දකින විටය.

කුඩ්ඩන්, හිඟන්නන් නිදපොළක් කරගත් කොළඹ නාගරික කෞතුකාගාරය
පැරණි ගල් රෝල

ස්ථානය… කොළඹ පිටකොටුවේ ගෑස්පහ හන්දියට සමීපයෙහි පිහිටි කොළඹ පැරණි නගර සභා ගොඩනැඟිල්ලය. මේ වන විට එම ඉපැරණි නොඩනැඟිල්ල කොටස් කීපයකට වෙන්කොට විවිධ කාර්යයන් සඳහා යොදාගෙන ඇත. ඉන් එක් කොටසක් වෙන්කොට ඇත්තේ පැරණි නගර සභා ගොඩනැඟිල්ලේ පැවැති ශ්‍රී විභූතිය මතු පරපුරෙහි දැක ගැනීම පිණිස සංරක්ෂණය කර තැබීම පිණිසය. ඒ පිළිබඳ වග විස්තර ගොඩනැගිල්ල පිවිසුමට මඳක් ඈතින් ඇති බිත්තියක් මත රාමුකොට එල්ලා ඇති පුවරුවක සඳහන්ව ඇත්තේ පහත සඳහන් ආකාරයටය. “කොළඹ මහ නගර සභාවේ පැරණි නගර ශාලාව වූ මෙම ගොඩනැගිල්ල එහි ආදි ශ්‍රී විභූතියට යළි පත්කර මතු පරපුර සඳහා සුරක්ෂිත කර තබනු පිණිස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් කොළඹ මහ නගර සභාව වෙත පවරනු ලදුව එම සභාව විසින් ප්‍රකෘතිමත් කරනු ලැබීමෙන් අනතුරුව නාගරික කෞතුකාගාරයක් සහ සංස්කෘතික, කලා හා වාරෑණි මධ්‍යස්ථානයක් ලෙසින් නැවත පිහිටවනු ලැබ කොළඹ නගරාධිපති බී. සිරිසේන කුරේ මැතිතුමාගේ ආරාධනය පරිදි ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන උතුමාණන් විසින් 1984 දෙසැම්බර් මස 16 වන ඉරුදින විවෘත කරන ලදී. ” යනුවෙන්ය.

කුඩ්ඩන්, හිඟන්නන් නිදපොළක් කරගත් කොළඹ නාගරික කෞතුකාගාරය
මලපහ ප්‍රවාහනය කළ කරත්තය

හේතු පාඨ දින වකවානු සහිත සමරු ඵලකය දුර්වර්ණ වෙමින් පැවතිය ද එහි සඳහන් තොරතුරු අපහසුවකින් තොරව කියවා ගත හැක. එම මා හැගි ක්‍රියාව සිදු කරමින් නාගරික කෞතුකාගාරයක් සහ සංස්කෘතික කලා හා වාණිජ මධ්‍යස්ථානයක් ජාතියට දායාද කළ ඉහත නම් සඳහන් පුරෝගාමීන් තිදෙනාද මේ වනවිට ජීවතුන් අතර නැත. කනගාටුවට කරුණ වී ඇත්තේ ඔවුන් විසින් සංරක්ෂණය කර නික්ම ගිය ජාතික උරුමයක් අද වනවිට නිස්කාරනේ මිය පරලොව යමින් තිබෙනු දකින විටය. කුඩ්ටන් සල්ලායන් යාචකයන් රටක් සතු උරුමයන් තම තමන්ගේ වාසස්ථාන කරගෙන ඇති අයුරු දැක දැකත් වගකිව යුත්තන් අන්ධයන් ගොළුවන් බවට පත්ව ඇති අයුරු දකින විටය. පුරා වස්තු තැන්පත් කොට ඇත්තේ දිරාපත් වෙමින් පවතින එම වහල යටය. එය නම් කොට ඇත්තේ කෞතුකාගාරය ලෙසය. එයට කෞතුකාගාරය නම් තැබීමේ කිසිදු වරදක් නැත. කොළඹ නගර සභාව සතු ඉපැරණි ස්මරණයන් රැසක් නටඹුන් ලෙස එහි තැන්පත් කොට ඇත. ඒ අතර ඉපැරණි යන්ත්‍ර සූත්‍ර රාශියක්ය. ඒවා සියල්ලක් පාහේ එකල එංගලන්තයේ සිට මෙරටට ගෙන්වන ලද ඒවා බව එම යන්ත්‍ර සූත්‍රවල සඳහන් තොරතුරු හරහා සනාථ වන්නේය. ඒ අතර නගර සභාව සතුව පැවැති ගල් අඟුරු භාවිතයෙන් ධාවනය කළ ලොරි රථයක්, ඉපැරණි ගල් රෝලක් ජංගම පුස්තකාල රථයක්, කොළඹ පළමු පුරපති විසින් පාවිච්චි කරන ලද නිල කබායක් මුද්‍රණ යන්ත්‍රයක්, ජල කරාම කීපයක් මළපහ සහ අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් කරත්තයක් සහ එකල කොළඹ නගරය ආලෝකවත් කළ යෝධ විදුලි බුබුලක් ප්‍රධාන වශයෙන් දැකගත හැක්කේය. ඊට අමතරව එකල නගර සභාව සතුව පැවැති තවත් උපකරණ රැසක්ද වන අතර ගාල මුවදොර පිටිය නිර්මාණය කිරීම සිහිවනු වස් තනන ලද ශිලා ස්ථම්භයක්ද කෞතුකාගාරය තුළදී දැක බලාගත හැක. ඉපැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තනා නිමකොට ඇති ගොඩනැඟිල්ල එය තනා නිම කොට ඇති ආකාරය පවා කොළඹ පැවැති ඉපැරණි විභූතිය පිළිබඳ කදිම සාක්ෂියකි. කුඩ්ඩන් සල්ලාලයන් පිස්සු කෙළමින් හිඳින්නේ සංරක්ෂණය කරන ලදැයි සඳහන් ජාතික උරුමයන් මත නම් එහි ඇති අවධානය රට හමුවේ අනාවරණය කළ යුතුය. පිටකොටුව ප්‍රධාන වීදියට යාබදව ඇති පැරණි නගර සභා ගොඩනැඟිල්ල (නාගරික කෞතුකාගාරය) ප්‍රධාන වීදියට මුහුණලා ඇති අන්තය හිඟමන් යදින යාචකයන්ගේ ගුබ්බෑයමක් බඳුය. අවට හිඟමන් යදින යාචකයන් තම වෙහෙස නිදිමත නිවා ගැනීම පිණිස පිවිසෙන්නේ කෞතුකාගාරය භූමිය තුළටය. තවත් තැනක අලස සුව විඳින කලු කෙසඟ පුද්ගලයන් කීප දෙනෙක්ය. බැලූ බැල්මට ඔවුන් පියවි සිහියෙන් වියුක්ත වූවන්ය ඇතැමෙකු කෞතුකාගාරය වෙත පිවිසීමට අතුරු මාර්ග සකසාගෙන ඇත. ඔවුන් පිටස්තරයෙන් පැමිණි පිරිස් නොවන බව හැඟී යන්නේ ඔවුන්ගේ හැසිරීම් සියුම්ව නිරීක්ෂණය කිරීමේදීය.

මේ සියලු දෑ නිරීක්ෂණය කරමින් සංරක්ෂිත නටබුන් අතර ඇවිද යමින් සිටින අතර මුරකරු යැයි කියාගන්නා පුද්ගලයා වරින් වර නිදිගැට කඩන අයුරු ද දැකගත හැකිවිය. එවර ඔහුගේ දෑස් මා වෙත යොමුවිය. එතැන් සිට අප අතර දෙබසක් ඇති වන්නේය. කෞතුකාගාරය නරඹන්න ප්‍රවේශ පත්‍රයක් ගත යුතු යැයි මා විසින් අසන ලද පැනයට ඔහු විසින් ලබාදුන් පිළිතුරු වූයේ “නැත” යන්නය. කෞතුක භාණ්ඩ නැරඹීම පිණිස පැමිණෙන පිරිස කෙබදු ද කුමන මට්ටමක පවතින්නේද? යනුවෙන් ඔහුගෙන් අසන ලද පැනයට පිළිතුරක් ලෙස ඔහු ප්‍රකාශ කර සිටියේ “සෙනඟ එන්නෑ” යනුවෙන්ය. ඉන් අනතුරුව ඔහු මා වෙනුවෙන් යම් කාලයක් මිඩංගු කිරීමටද අමතක නොකළේය. සංරක්ෂිත යම් යම් දේ පිළිබඳ අසන ලද පැන සම්බන්ධයෙන් ඔහු විසින් ප්‍රමාණවත් පිළිතුරු ලබා දුන්නේය. ඉතිහාසයක් ඒ සා විශාල උරුමයක් සහිත නටඹුන් සමූහයක් දෑසින් දැකිය හැක්කේ සංස්කෘතික ත්‍රිකෝණය යැයි නම් කළ භූගෝලීය පිහිටීම තුළ යැයි බොහෝ දෙනෙක් තුළ පවතින විශ්වාසයක් වී ඇත. එවැනි දේ නැරඹීම වන්දනා කිරීම පිණිසද බොහෝ දෙනෙක් තුළ ඇල්මක් කැමැත්තක් පවතින්නේය. සඳහන් කිරීමට තරම් කිසිදු වරදක් එහි නැත. අතීත නටඹුන් අතර සැරිසැරීම පවා ජාතිය පිළිබඳ උස් හැඟුමක් උපදවනු ලබන්නේය. කොළඹ යනු ජාතිය සතු ඉතිහාසයේ එක් පරිච්ඡේදයක්ය. එය විවිධ ජාතික හා ආගමික එකමුතුවක් තුළින් නිර්මාණය වූවක්ය. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ නිතර දෙවේලේ අසන්නට දකින්නට ලැබෙන වෙළෙඳ කන්කරච්චලයක් උසින් මහතින් වැඩි දැවැන්ත ඉදිකිරීම් හමුවේත් දැකගත හැකිව ඇත්තේ කොළඹ සතු ඉතිහාසය යටපත්ව යන අයුරක්ය. ඉහතින් විස්තර ඇතුව සඳහන් කරන ලද නාගරික කෞතුකාගාරයට අත්ව ඇත්තේද එම ඉරණමය මේ වන විටද අතීත උරුමයන් රැසක් සහිතව එය ජරාවාස වෙමින් ඇත. වගකිව යුත්තන් ඒ දෙස ඇසක් හැර බලන අයුරක් දකින්නට නැත. මේ වන විට එහි දොරටු විවර වී ඇත්තේ අවල කෙළි සඳහා පමණක්ය. කොළඹ ගෑස්පහ හන්දිය සමීපයේ පිහිටි පැරණි නගර සභා ශාලාවේ කොටසක් නාගරික කෞතුකාගාරයක් සහ සංස්කෘතික, කලා මධ්‍යස්ථානයක් බවට පත් කරන්නේත් එහි අගනා සිහිවටන රැසක් තැන්පත් කර ඇත්තේද මතු පරපුරේ දැනුම සහ අවබෝධය පිණිස නම් ඒවා ආරක්ෂා කළ යුත්තේද එම අර්ථයෙන්මය මන්ද ජාතියේ විනාශය ආරම්භවන්නේ ඉතිහාස විනාශ වීම තුළය. එය ලෝක සම්මතයක් වන බැවින් රටක් ලෙස ඉන්මිදී යා හැකි ගමනක් අපට නැත. කොළඹ සහ ඒ අවට මේ වන විට සිදුවන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති තරමටම එහි ඇති ඉපැරණි දේ ආරක්ෂා කිරීමද ආණ්ඩුව සතු වගකීමක් බැවින් ඉපැරණි නගර සභා ගොඩනැඟිල්ලත් එහි ස්ථාපිත කොට ඇති නාගරික කෞතුකාගාරයත් කුඩ්ඩන්, සල්ලාලයන් ඇතුළු අපතයන්ගෙන් ආරක්ෂා කිරීම කාගෙ කාගේත් කාලීන මෙහෙවරක් වන්නේය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment