ඩොලර් අර්බුදයෙන් ආනයනය අත්හිටවූ භාණ්ඩ 689 ක තහනම ඉවත් කරනවා – ඇමැති නලින් ප්‍රනාන්දු

97

රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනය අත්හිටවූ භාණ්ඩ 689ක් සඳහා එම තහනම ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසීය.

නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ.

නිවේදන, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව 27/02 යටතේ විශේෂ ප්‍රශ්න විමසීම හා ඒවාට පිළිතුරු සැපයීම සිදු විය. අනතුරුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු විසින් පිළිතුරු සැපයීම සිදුවිය.

සෙස් බද්ද සංශෝධනය කිරීමට අදාළව 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ අංක 2306/15 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝගයක්

සහ 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2320/46 සහ 2320/47 යන ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි ද්විත්වයක් විවාදයට ගෙන අනුමතිය ලබා ගැනීමට අදාළ විවාදය අනතුරුව ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සිටඹලා පිටිය මහතා

2019 සිට රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් මිලියන 34 ක් වැය කළා. 2021 දී රුපියල් දශලක්ෂ 10139 ක් ගෙනාවා. 2022 දී රුපියල් මිලියන 500 ක 2022 දී එය විශාල ලෙස අඩු වුණා. සියයට 5 යි ගෙනාවේ. ඒත් ලංකාවේ කාන්තාවන්ගේ රූපශ්‍රිය අඩු වුණා ද නෑ. එහෙනම් සමහර තීරණ නිසා නැවත සලකා බැලීම් කරන්න හැකි වෙනවා.

අපි 17 වතාවක් මුල්‍ය අරමුදලට ගියා. ඒ කිසිම අවස්ථාවක මෙවර වගේ ලියවිලි එළියට දාලා විවාද කළේ නෑ. ආර්ථික අසනීපයට අපි දොස්තර ගාවට

ගියේ ප්‍රමාදවෙලා. ඒ නිසා තිත්ත බේත් ගන්න සිදුවුණා. මුල්‍ය අරමුදල අපිට කිව්වා ණය හිමියන් සමග සාකච්ඡා කර විසඳුමකට එන්න කියලා. තිත්ත බේත්වලින් වැඩි ප්‍රමාණයක් දැන් බොන්න පටන් අරන් තියෙන්නේ. රුපියල තදින් අල්ලාගෙන හිටිය එක දැන් පාවෙන්න ඇරියා. ඒ නිසා ඩොලරයේ අගය ඉහළ ගිහින් විශාල මිල වැඩි වීමක් වුණා. අපි දරාගෙන හිටිය නිසා ගැටලුවක් ඇති වුණේ නෑ.

බැංකු පොලිය ඉහළ දැම්මා. එය අපි හැමෝටම අමාරු වුණා. වියදම් කළමනාකරණය කරන්න චක්‍රලේඛ ගැහුවා. වියදම් කැපුවා. මේවා තමයි අපි ගත්ත සමහර තිත්ත බේත්.

ආදායම් වැඩි කරන්න විවිධ තීරණ ගත්තා. අපිට තිත්ත බේත්වලින් තමයි උත්තර හොයන්න පටන් ගත්තේ. බදු පැනවීම් කළා. ආනයනය පාලනය කළා. තිත්ත බේත්වල අමාරුව ජනතාව දන්නවා. ඒ නිසා ඔවුන් එක්ක කතා කරලා අත්වින්දා. මේ බදු එකවර ඉවත් කරන්න බැහැ. ටික කාලයක් පවත්වාගෙන යන්න සිදු වේවි.

සාම්ප්‍රදායික ලෙස විරුද්ධ වීම කරනවාද නැති නම් සැබෑ ලෙසම අර්බුදයට විසඳුම් දෙනවාද? ටෙලිකොම් ආයතනය ප්‍රථම වරට ප්‍රතිව්‍යුහගත කරන විට විශාල විරෝධයක් ආවා. දුරකථනයක් ගන්න මාස ගණන් හිටියා. ඒත් දැන් කෝටි ගාණක් සබඳතා දීලා තියෙනවා. හොඳ තරගයක් පුද්ගලික ආයතන සමග සිදු වෙනවා.

තරුණ පරම්පරාවත් වැඩි පිරිසක් පිටරට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ අපි ඒ තත්ත්වය නැති කර සියලු දෙනාට ඉන්න හිටින්න හැකි තත්ත්වයක් රටේ ඇති කරමු.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

රටේ ජනතාව මේ ආණ්ඩුව මැරුවා. මරපු අය බෙහෙත් දෙන්න කතා කරනවා. රාජ්‍ය ආදායම බැස්සුවා. සංචිත බැස්සුවා.

මුල්‍ය අරමුදල පළමු වාරිකය දෙන විට වගන්තියක් දැම්මා. නීතියේ උත්තරීතරභාවය ආරක්ෂා කළ යුතුයි කිව්වා. මේ ආණ්ඩුව ඒක කළේ නෑ. මැතිවරණ කල් දැම්මා නීතියේ උත්තරීතරභාවය වැනසුවා. ඡන්දය තියන්න කියලා දුන්නු තීන්දුව කැඩුවා. දෙවන වරත් කැඩුවා. පළමු වාරිකය දුන්න පොරොන්දුව කැඩුවා. සාමකාමී පෙළපාලිවලට ගැහුවා.

2019 සිටම මුළු රටම අමාරුවේ දැම්මා. අපි මුල සිටම කිව්වා අරමුදලට යන්න කියලා. මේ ආණ්ඩුව ගියේ නෑ. මුදල් ඇමැතිවරයා එදා මාස 5 ක් පාර්ලිමේන්තුවේ කතා කළේ නෑ. කවදාවත් විවේචන පිළිගත්තේ නෑ.

ආනයනය කරන අයගේ මුදල් සියට 30 ක් විතර රටට ගේන්නේ. සියයට 60 වඩා රටට ගේන්නේ නෑ. මේ ගැන ආණ්ඩුව සොයා බලන්න. බිලියන 60 ක් විතර ගෙනවිත් නෑ. මේ ගැන හොයලා අවශ්‍ය පියවර ගන්න.

මැතිවරණ තියන්න කියලා මහානාහිමිවරු විවිධ අවස්ථාවල කිව්වා. ආණ්ඩුව ගණන් ගත්තේ නෑ. ජනමතයට හිස නමමු.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

විපක්ෂයේ මුල් පුටුවලින් විපක්ෂනායක හා සංවිධායක හැර අනිත් පිරිස ආණ්ඩුවට එනවා. විපක්ෂයේ පිරිසක් එක් වෙනවා. අද ඔවුන් ඇත්ත තත්ත්වය පිළිඅරන් තියෙනවා. ගමට ගියාම විපක්ෂනායකයාට මිනිස්සු හයසීයක් ගෙන්වා ගන්න බැහැ.

විපක්ෂය එදා ආණ්ඩු කරද්දි පළාත් සභා ඡන්දය ගල් කළා. පළාත් පාලන මැතිවරණය කල් දැම්මා.

රටේ ප්‍රධාන වෘත්තීය සමිති නායකයන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. එසේ නොකරන අය නීතිය ඉදිරියට ගෙන යා යුතුයි.

ආනයනකරුවන් බදු ගෙවනවද කියන ප්‍රශ්නය තිබෙනවා. ලංකාවේ නිමි ඇඳුම් වැඩිම අලෙවි කරන පුද්ගලයන් වෙනත් නම්වලින් ඇඳුම් ආනයනය කර තිබෙන්නේ. මොවුන් කිසිවකු බදු ගෙවා නෑ. මේ ගැන හොයා බලා නෑ. මේ සමාගම් බී. ඕ. අයි. පහසුකම් අරගෙන වාසි ලබනවා. මේ ගැන රේගුවේ හෝ ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කරන්න. මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් ආනයනකරුවන්ගෙන් නිසි ලෙස බදු අයකිරීම් සිදුවන්නේ නෑ. වැඩිම තේ අපනයනකරුවා නිසි පරිදි බදු ගෙවා නෑ. රාජ්‍ය සේවකයා වගේම විශාල පරිමාණ ව්‍යාපාරිකයාගෙනුත් නිසි පරිදි බදු අය කිරිම අවශ්‍යයි.

උන්ඩියල් ක්‍රමයට හා ටෙලිග්‍රැෆික් ක්‍රමයට විශාල ලෙස අපේ මුදල් පිටරට යවනවා. ඒවාට අදාළ භාණ්ඩ රටට එන්නේ නෑ. මේ ගැන බලන්න. පාඩු ලබන රාජ්‍ය ආයතන 400 ක් තියෙනවා. මේවා ලාභ ලැබෙන ආයතන බවට පත් කළ යුතුයි. මේවා නඩත්තුවට බිලියන 400 කට වඩා යනවා.

තෙල් සහනයට සාධාරණ ලෙස බස් ගාස්තු ත්‍රීවිල් ගාස්තු අඩු වුණා ද කියා සොයා බලන්න. ආණ්ඩුව දෙන සහනය ජනතාව අතරට යන්නේ නෑ.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු

භාණ්ඩ 1464 ක් ආනයන නතර කළා. අපේ ආර්ථික වැඩපිළිවෙළ නිසා යම් ලිහිල් කිරීමක් කළා. භාණ්ඩ 779 කට යළි ගේන්න අවසර දුන්නා. තහනම් කළ තවත් භාණ්ඩ 689 ක් ඉතිරිව තියෙනවා. ඒවාට ඉදිරියේදී අවධානය යොමු කරනවා.

ගියවර සිංහල අවුරුද්ද සැමරුවේ ගෝල්ෆේස් පිටියේදී. මේ රටට අවශ්‍ය තෙල්, ගෑස්, භාණ්ඩ තිබුණේ නෑ. අද වනවිට ආණ්ඩුව ගත් නිවැරදි තීරණ නිසා සියලු භාණ්ඩ ලබා දෙමින් පවතිනවා. මිල අඩු කළා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා

තිත්ත බෙහෙත් බොන්න ඕන ජනතාව විතරද ආණ්ඩුව බොන්න ඕන නැද්ද? ඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරු පැටව් ගහනවා. පරාජය වූ එජාප මන්ත්‍රීවරුන් උපදේශකයන් ලෙස පත් කරගෙන වැටුප් ගෙවනවා. තිත්ත බෙහෙත් බොන්න කියලා ජනතාවට කිව්වත් ආණ්ඩුව තිත්ත බෙහෙත් නොබී පැණි රස බොනවා.

පළමු වාරිකය අරන් ඉතිරි වැඩ නොකළොත් සියල්ල අවසානයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර

ආණ්ඩුවක් ලෙස අපි විශාල කැපවීම් කර තියෙනවා. අලුත් වාහන කිසිවක් ගෙන්වන්නේ නෑ. ඇමැතිවරු හැම අතින්ම කැපවීම් කරන්නේ කැමැත්තෙන්මයි.

රජයේ සේවකයන්ට සහන දෙන්නන සැලසුම් කර තියෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වීමත් විදේශ ප්‍රේෂණ වැඩි වීමත් නිසයි අද පහසුකම් දෙන්න හැකි වී තියෙන්නේ. ඒවා කඩාකප්පල් කරන්න එපා. එදා රසායනික පොහොර තහනම් කර තිබුණේ. අද වනවිට පොහොර ලැබෙනවා. ගොවියා වගා කරනවා. විවිධ කඩාකප්පල් ක්‍රියා මැදයි සියල්ල සිදු කරන්නේ. හොඳ අස්වැන්නක් ලැබෙනවා. යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දෙනවා. පොහොර මිලදී ගන්න අවශ්‍ය මුදල් සහන ලබා දෙනවා. කිව්. ආර්. කෝඩ් එකක් හදලා ගොවියාට අවශ්‍ය සහන ලබා දෙනවා ගොවියා අසරණ කරන්නේ නෑ.

පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ)

අපනයන වර්ධනය කරන්න ආයෝජකයන්

දිරිගැන්විය යුතුයි. ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය ගත යුතුයි.

නව පොලිස්පති පත් කිරීමේදී මූලික අයිතිවාසිකම් කඩ නොකළ හා චෝදනාවන්වලට ලක් නොවූ මධ්‍යස්ථ අයෙක් පත් කරන්න. නීතිඥයකුට ඕනම අයෙක් වෙනුවෙන් පෙනී සිටීමට අයිතිය තිබිය යුතුයි.

වැරදි කරපු අය අත්අඩංගුවට ගන්නවා ඔවුන් පැනලා යන්න ගියා කියලා වෙඩි තබනවා. මෙලෙස මරා දැමූ විශාල පිරිසක් ඉන්නවා. මොවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ. නමුත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ කුඩු ජාවාරම් පිටුපස ඉන්නේ කවුද කියා රටට හෙළි විය යුතුයි.

නීති රාමුව තුළ ක්‍රියා කරන්න හොඳ පුද්ගලයන් පොලිස්පති පුටුවට පත් කරන්න.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ)

ආනයන සීමා ඉවත් කරන්න කියලා මුල්‍ය අරමුදලේ ගිවිසුම් තියෙනවා. ජුනි වන විට තවත් ලිහිල් කරන්න වෙනවා.

අධ්‍යාපන ආයතනවලින් මුදල් හම්බ කරන්න පටන් අරන්.

පෑලියගොඩ මැනිං මාකට් එකේ වෙළන්දන්ට තිබූ අයිතිවාසිකම් දැන් අහිමි කරමින් යනවා. ආරම්භයේ සිට අයිතිය පරම්පරාවට ගියා. පිටකොටුවෙන් ඉවත් වනවිට හැමෝටම පෑලියගොඩ කඩ දෙනවා අයිතිය දෙනවා කිව්වා. කඩයක් වෙනුවට භාගයයි ලැබුණේ. දේශපාලන හිතවත්කම් මත කඩ කාමර දුන්නා. වැඩ ඉවර කරන්න කලින් විවෘත කළා. අදටත් ඇතුලේ තෙමෙනවා.

කඩ කාමර ගාස්තු සියයට 800 කින් විතර වැඩි කරලා. මෙහෙම කරන්න බැහැ. මූලික පහසුකම් නෑ. කුණු ඉවත් කරන්නේ නෑ. දැන් අයිතිය නැති කරන්න ගිවිසුම් අත්සන් කරනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර

වඩුන්නංගල බෞද්ධ පුරාවිද්‍යා ස්ථානයේ සිට දෙවියන්ගේ කෝවිලක් තිබූ බවට සමහරු කියනවා. මෙය බෞද්ධ විහාරයක් බවට 1970 දී සෙනරත් පරණවිතාන සටහන් කර තිබෙනවා. ක්‍රිස්තු පූර්ව සමයේදී ලෙන්ගතව සටහන් කර තියෙනවා. පැරණි වැව් 11 ක් මේ ආශ්‍රිතව තිබුණා. නමුත් 2018 දී මෙම ලෙන් විනාශ කරලා. ස්ථුපය විනාශ කරලා. 2020 දී ශ්‍රමදානයක් තියෙනවා කියලා පුරාවිද්‍යා පුවරුව ගලවලා කෝවිලක් හදලා. බෞද්ධ නටඹුන් ලෝක උරුමයන්. මේවා බෞද්ධයන්ට පමණක් අයත් ඒවා නොවෙයි. බෞද්ධ පුරාවස්තු විනාශයට අපි දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නවා.

පාර්ලිමේන්තුව නැවත ලබන 25දා පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment