රුහුණ උපකුලපතිගේ මර්දනකාරී වැඩ නිසා සරසවියම බලපෑමට ලක් වෙලා

189

2019 වසරේ සිට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන සුජීව අමරසේන මහතාගේ මර්දනකාරී වැඩපිළිවෙළ හේතුවෙන් සරසවි ප්‍රජාව දැඩි බලපෑමට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) චෝදනා කළේය.

මෙම උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් කරුණු 05ක් යටතේ සාක්ෂි 86ක් සහිතව සකස් කෙරුණු සවිස්තර වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යවරයාට ලබා දී තිබෙන බවත්, මේ පිළිබඳව නිසි බලධරයන් පත් කොට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ඇමැතිවරයා පවසා ඇතැයි වාර්තා වන අතර මෙහි ප්‍රගතිය කෙසේදැයි විපක්‍ෂ නායකවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

මීට අමතරව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් සහ රුහුණ විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු වන රොහාන් ලක්සිරි මහතා ඝාතනයට තැත් කිරීම පිළිබඳව විශ්වවිද්‍යාලයේ පරිපාලනයට චෝදනා එල්ල වන බව පැවසූ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවල ප්‍රගතිය ද විමසීය.

විශ්වවිද්‍යාලයක පැවතිය යුතු නිදහස්, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමේ ඉඩකඩ නැති කර අත්තනෝමතික ලෙස මර්දනකාරී සංස්කෘතියක් ඇති කිරීමට උපකුලපතිවරයා කටයුතු කර ඇතැයි පැවසූ සජිත් ප්‍රේමදාස මහතා සිසුන්ට සමාජ ජාලා භාවිත කරමින් සන්නිවේදනය කිරීමට ද සීමා පනවා ඇතැයි පැවසීය.

ඊට පිළිතුරු දෙමින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ එම උපකුලපතිට එරෙහි චෝදනාවලට අදාළ නිර්දේශ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලැබෙන තෙක් බලා සිටින බවයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment