අපි ඉන්නේ දැඩි අවදානමක – තෙල් පෝලිමක සිට ශ්‍යාම් මීවිතට කියූ කතාව

365

ඔහු නමින් ශ්‍යාම් ප්‍රනාන්දු. වේදිකාව, සිනමාව වගේම ටෙලි නාට්‍යකරණයේ ද නියැළී සිටින දක්ෂ නළුවෙක්. වර්තමානයේ අපේ රටේ පවතින අර්බුද හමුවේ ඔහු ලංකාව දාල යන්න සූදානම් වෙනවා කියලා අපිට පුංචි ආරංචියක් ලැබුණා. ඇත්තටම ශ්‍යාම් එහෙම තීරණයක ඉන්නවද? අපි ඔහුව ඇමතුවා. ඒ වෙනකොටත් ඔහු හිටියේ කටුනේරියේ තෙල් පෝලිමක. ඒත් අපිත් එක්ක ටිකක් කතාබහ කරන්න ඔහු පැකිළුණේ නැහැ.

 මෙහෙමයි, පසුගිය දවස්වල වැඩ කිහිපයක් ඉවර කළා. චිත්‍රපට විදියට ගත්තම තිරගතවීමට නියමිත චිත්‍රපට කිහිපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන එකක් තමයි සංජය නිර්මාල්ගේ සීඩ්ස් කියන චිත්‍රපටය. ඒක ප්‍රාණ කියලා තමයි සිංහලයෙන් නම් කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ මම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළා. පසුගිය දවසක මේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ද නිකුත් කළා.

● ඔබට එහිදී ලැබුණු ප්‍රතිචාර එහෙම කොහොමද?

 ඔව් ඇත්තටම සමස්තයක් විදිහට ගත්තහම චිත්‍රපටයට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබෙනවා. ඒක භාෂා තුනකින් නිර්මාණය වුණ චිත්‍රපටයක්. නිෂ්පාදක කණ්ඩායමේ බලාපොරොත්තුවක් තිබෙනවා මේ චිත්‍රපටය ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ප්‍රවේශයකටත් අඩිතාලමක් වේවි කියලා. චිත්‍රපටයේ විශේෂ දර්ශන බලපු අයගෙන් විශේෂයෙන් මම ඉදිරිපත් කරපු චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා.

 ඊට අමතරව එහෙම තිරගත නොවුණ චිත්‍රපටවලින් එකක් තමයි පසුගිය දවස්වල මම වැඩකරපු ඉන්දියාවේ මනිරත්නම්ගේ චිත්‍රපටය. මේ අවුරුද්දේ සැප්තැම්බර්වල ලෝකය පුරා තිරගතවීමට නියමිතයි. චිත්‍රපටයේ නම පොන්නියන් සෙල්වන්. මේක දැවැන්ත නිර්මාණයක්. ඉන්දියාවේ දකුණේ, උතුරේ ඉන්න සියලුම තරු රඟපාන චිත්‍රපටයක්. අයිශ්චර්යා රායිගේ සිට විකුම්, ජෙයාට් රවී, කාර්ති, අයිශ්චර්යා ලක්ෂ්මී, ටී්‍රෂා ඇතුළු දැවැන්ත නළු නිළි පිරිසක් ඉන්න චිත්‍රපටයක්.

අපි ඉන්නේ දැඩි අවදානමක - තෙල් පෝලිමක සිට ශ්‍යාම්  මීවිතට කියූ කතාව



 ● එතකොට ශ්‍යාම් මේ පිරිසත් එක්ක රඟපෑවද?

 මාත් එක්ක මොවුන් රඟපෑවෙ නැහැ. හැබැයි දර්ශන තලයේදී අපට හම්බවුණා ඉන්දියානු ශිල්පීන් රැසක්. මම ඇත්තටම ඒකෙ රඟපාන්නේ සිංහල රජ කෙනකුගේ චරිතයක්.

 ● තුන්පනේ ටෙලි නාට්‍යයේ මාධ්‍යවේදියා ගේ චරිතය ලොකු වෙනසක් ඇතිකළා නේද?

 ඔව්, ඒකට ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා. මේ වෙනකොට මම කරල තිබුණේ නැති චරිතයක් නිසාත්, ඒකට ඇත්තටම හොඳ ප්‍රතිචාර තිබුණා. ඊට අමතරව දැනට විකාශනය වෙනවා මගේම ….. ටයිම් කළම්බෝ කියලා ටෙලි නාට්‍යයක්. එකෙ අවසාන කොටස් කිහිපයේ මම චරිතයක් නිරූපණය කරනවා. ඒත් එක්කම රනිල් කුලසිංහගේ ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලට දායක වෙලා ඉන්නවා.

 ● එතකොට ඔබ ලංකාව දාල යන්න හදනවා කියන කතාවේ තේරුම මොකක්ද?

 ඔව්, ඒකට මම ඇත්තටම සූදානම් වුණේ ටිකක් කල් ඉඳලාමයි. මම පෞද්ගලිකව හිතුවේ නැහැ ලංකාව මෙච්චර ලොකු අර්බුදයකට යාවි කියලා. සමස්තයම මෙච්චර ලොකු අර්බුදයකට යාවි කියලාත් සිතුවේ නැහැ. හැබැයි මම අනුමාන වශයෙන් හිතුවා, කලාව සම්බන්ධයෙන් මිනිස්සු ලේසියෙන්ම අත්හරින්නේ කලා රසවින්දනය නිසා, සමාජයත් ටිකක් පරිහානියට යනකොට එහෙම අර්බුදයකට අපිට මුහුණ දෙන්න වෙයි කියන අදහසකිනුත්, ඒක ප්‍රයෝජනයට අරගෙන මම චිත්‍රපට නිර්මාණකරණය පිළිබඳ ඉගෙන ගන්නත් හිතාගෙන තමයි ලංකාවෙන් යන්න ලෑස්ති වුණේ.

 දැන් තියෙන ප්‍රශ්නය අනුව සමස්තයක් විදිහට සමාජයම පුද්ගලිකව පවුලේ සමීපතමයන්, අම්මා, තාත්තා එහෙම අයව දාල මේ වගේ වෙලාවක යන්න පුළුවන්ද කියලා. ඒකත් එක්ක එහෙම හිරවෙලා ඉන්නවා. මිනිස්සුන්ව දාල යන්න බැරි ප්‍රශ්නයකුත් තියෙනවා. සමීප සම්බන්ධතා ඇති මිනිස්සුන්ව දාල යන්න බැරිකමක් දැන් වෙනකොට උදාවෙලා තියෙනවා. තවත් ඉස්සරහට මීටත් වඩා දුෂ්කර තත්ත්වයකට මුහුණ දෙන්න වුණොත් ඒ මිනිස්සුන්ව දාල මට කොහේ හරි ගිහිල්ලා ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ගැන සිතමින් ඉන්නවා.

 මම මූලික වශයෙන් සිතුවේ මේ වගේ වෙලාවක අපි කරමින් හිටපු කලා මාධ්‍යවලට ඒ විදිහටම පවතින්න බැහැ කියන කාරණාව. හැබැයි අපිට ඉස්සරහටත් වෙන විකල්ප හොයන්න වේවි, ලංකාවේ කලා භාවිතාව කොයි විදිහටද පවත්වා ගන්නේ කියලා. මට හිතෙන්නේ වෙනත් රටවල් එක්ක එකතුවෙලා සහයෝගයෙන් කරන නිෂ්පාදනවල වැඩ කරන්න වේවි ඉස්සරහට.

 ● මේ අර්බුදය හමුවේ කලා මාධ්‍යට අනාගතයේ තැනක් ඉතිරි වේවිද?

 ඒක තමයි, ඒක බරපතළම ප්‍රශ්නයක්. අපි අර්බුදයක් නැතිව හිටියා කියන කාලෙත් අපි අර්බුද ගොඩක හිටියේ. සිනමාවේ වුණත් හොඳ නිර්මාණ බිහිවුණා. හැබැයි ඒවාට හොඳ ප්‍රේක්ෂකාගාරයක් තිබුණේ නැහැ. ටෙලි නාට්‍ය පැත්තෙන් ගත්තොත් ටෙලි නාට්‍ය සංඛ්‍යාත්මකව නිර්මාණය වෙනවා. ගුණාත්මක ටෙලි නිර්මාණ බිහිවෙනවා අඩුයි. වේදිකා නාට්‍ය පැත්තෙන් ගත්තත් අපි යම් විදියකට අර්බුදයක තමයි හිටියේ. අපේ රටේ මිනිසුන්ගේ ආර්ථිකය හොඳට තියෙද්දිත් අවශ්‍යතා ලැයිස්තුවේ අවසාන කොටසෙනේ රසවින්දනය තිබුණේ. ඉතින් මේ වගේ කාලයක ඉක්මනටම අතහරින්නේ කලාව. අපිට මේ වෙලාවේ ලංකාවේ මනුස්සයෙක් එක්ක කලාව ගැන වචනයක්වත් කතා කරන්න බැරි ගාණට පත්වෙලා තියෙනවා. දැනටත් අපි ඉන්නේ දැඩි අවදානමක.

 ● දැන් ඔබ මේ කතා කරන මොහොතෙත් ඉන්නේ තෙල් පෝලිමක නේද?

 සාරාංශයක් විදියට ගත්තොත් මේ අවුරුද්දේ මුල් භාගයේදී මම බලාපොරොත්තුවෙන් හිටියා චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කිරීමට. ඒකට අපි පූර්ව සැලසුම් කරමිනුත් සිටියා. මම පෞද්ගලිකව සම්බන්ධ වෙන්න හිටපු නිර්මාණවලටත් අත්වෙලා තියෙන ඉරණම භයානකයි. නිර්මාණයකට අවශ්‍ය මූලික අවශ්‍යතාවයන් දැන් සපයන්න බැරි වෙලා තියෙනවා. කලාවේ අවම මට්ටමින් රැඳිලා ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ කවදාවත් මුහුණ දුන්නැති ප්‍රශ්නයක්. මේ වෙලාවේ. මමත් ඇත්තටම කලාකාරයෙක් විදිහට හෝ රංගන ශිල්පියෙක් විදිහට හිතනවාට වඩා සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මගේ පවුල, දෙමාපියොත් එක්ක අපේ සමීප සම්බන්ධතා ජාලය පවත්වාගන්නවත් බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

 ● හෙට දවසේ ඔබ මොනවා කරන්නද හිතාගෙන ඉන්නේ. වෙනත් වෘත්තියකට යන්න තීරණය කරලා තියෙනවද?

 නැහැ, ඇත්තටම එහෙම නම් නැහැ. මොකද වෙන දේවල් ගැන මම දන්නෙත් නැහැ. ඒවා ගැන හිතලත් නැහැ. හැබැයි අපේ ගාව මේ වෙනකම් ඉතුරුකරගත් ප්‍රාග්ධනයත් එක්ක ජීවිතය ගැටගහගන්න තමයි හිතාගෙන ඉන්නේ. එතැනිනුත් එහාට මොකද්ද කරන්න ඕනෑ කියන මතයේ ඉඳලා වෙන වෘත්තියක නියැළෙන්න අදහසක් ඇත්තටම නැහැ. එහෙම කරනවා නම් තියෙන්නේ කලාවට සම්බන්ධ වැඩකට තමයි. මම බලාපොරොත්තුවෙන් සිටියේ විදේශයකට ගිහිල්ලා අධ්‍යයන කටයුතුවල නියැළෙන්න පුළුවන්නම් වටිනවානේ කියලා. ජීවත්වෙන්න අවශ්‍ය මුදලක් විතරක් හොයාගෙන නැවත කාලයක් ලංකාව ඇතුළේ හෝ ලෝකෙ මොනයම් රටක් සමඟ හෝ එකතුවෙලා හරි වැඩ කරන්න පුළුවන් විදිහක් කල්පනා කරමින් තමයි ඉන්නේ.

 ● මේ වෙනකොට රට යන අදහස අත්හැරල ද තියෙන්නේ.

 අත්හැරලත් නොවෙයි. මම ඇත්තටම ක්‍රියාත්මක කරන්නේ හෘද සාක්ෂි ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. පවුලේ අයව දාල යන්න දුකයි. මම යනකොට මගේ සමීපතමයන් සියල්ල රැගෙන විදෙස්ගත වෙන්න බැහැනේ. මට මිට මාස හයකට කලින් තිබුණා ඒ හැකියාව ඉෂ්ට කර ගන්න, හිත හදාගෙන කිසිම ගැටලුවක් නැතිව දාල යන්න. හැබැයි මේ වෙලාවේ ඒ තීරණයත් අභියෝගයට ලක්වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරි අවධියක තමයි ඉන්නේ.

 ● දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment