දෙයියන්ගේ ලෙඩ හඳුනාගන්න

570

වෛරස,බැක්ටීරියා, මගින් පැතිර යන ලෙඩ රෝගවලට ගොදුරු වූ විට සහ අධිරුධිර පීඩන නිසා රුධිර නාළයන් පපුරා යෑමෙන් හෝ හෘදයාබාධයකට ලක්ව එකවරම මිය යන පුද්ගලයින් සම්බන්ධව අතීතයේ දී පැවසුවේ දෙයියන්ගේ ලෙඩ හැදිලා කියා ය. හෘදයාබාධයකට ලක්ව මිය ගිය විට යකෙක් ගහලා මිය ගොස් ඇතැයි පැවසූහ.

පැපොල, සරම්ප වැනි රෝග දෙයියන්ගේ ලෙඩ ලෙස සැලකූ නිසා එම ලෙඩ රෝග කිල්ලට හසු නොවිය යුතු යැයි ද විශ්වාසයක් පැවතුණි. එනම් මස් මාංශ අනුභවය සුදුසු නැත. රෝගය සුවපත්වී සතියක් පමණ යනතරු මළ ගෙවල්වලට යෑමට නොහැක.

එසේම දෙයියන්ගේ ලෙඩවලට ගොදුරුවූ විට නිවසේ ආරක්‍ෂාවට කොහොඹ කොළ අත්තක් එල්ලයි.

මේ සියල්ල තුළින් සිදු කළේ දේව ආරක්‍ෂාව ලබා රෝගය ඉක්මනින් සුවපත් කර ගැනීමත් අන් අයට රෝගය පැතිර යෑම වළක්වා ගැනීමත් ය.

මහා ඍෂි නාඩි වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේදී ද මෙය අනුගමනය කර තිබුණි. මෙය ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.

වෛරස්, බැක්ටීරියා රෝග ඇතිවූ විට සිරුර එම ආසාදනවලට එරෙහිව ක්‍රියා කිරීම නිසා ප්‍රතිශක්තිය දුර්වල වේ. එනිසා රෝගියා සතියක්වත් විවේකිව සිටිය යුතුය.

සිරුර දුර්වලව පවතිනවිට දිරවීමට අපහසු ආහාරපාන නොගත යුතුය. විශේෂයෙන්ම තෙල් අධික ආහාර දිරවීමට අපහසුය. එවැනි ආහාර වැඩිපුරගත්විට ජීර්ණය අපහසුවීම නිසා ආහාර අජීර්ණ ඇතිවිය හැකිය. එවිට උදරාබාධ බඩඑළිය යෑම, වමනය ආදී අපහසුතා ඇතිවිය හැකිය. එවිට පවතින රෝග තත්ත්වය තව තවත් උත්සන්නවේ. එබැවින් මෙැවනි රෝග වැළඳුනවිට ජීර්ණයට පහසු ආහාරපාන ගත යුතුය. එනම් වැටකොළු, පතෝල, කැකිරි, වැනි එළවළු වර්ග ගොටුකොළ සම්බෝල කතුරුමුරුංගා කොළ මැල්ලුම්, මුරුංගා දලු මැල්ලුම් ආදිය ද වැඩිපුර ආහාරයට එක්කර ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි.

වෛරස, බැක්ටීරියා රෝග වැළඳුනවිට දින පහක්වත් ඇඳ විවේකය අවශ්‍යය. එනිසා කොහොඹ කොළ අත්තක් එල්ලා සිදු කරන්නේ නිවසට ආගන්තුකයින් පැමිණීම වළක්වාලීම ය.

කොහොඹ කොළ විෂ නසන ඖෂධයකි. එනිසා රෝගියා සිටින පරිසරයේ තවදුරටත් අදාළ වෛරස, බැක්ටීරියා ගැවසේනම් ඒවා විනාශ කිරීමේ ගුණයක් කොහොඹ කොළවල පවතී.

හෘදයාබාධයක් හෝ රුධිර නාළක් පපුරා මිය ගියවිට සිරුර නිල් පැහැයක් ගන.ී එය සිදුවන්නේ රුධිරය පිටතට කාන්දුවීම නිසා ය. මෙය බොහෝ දෙනා පැවසුවේ යකා ගසා යැයි කියා ය.

මෙලෙස බොහෝ දෙනා රෝගයට ගොදුරුවී තිබුණේ ඇවිද ගෙන යනවිට සහ රාත්‍රි කාලයේදී ය.

ඇවිද ගෙන යනවිට වෙහෙස දැනේ. අධිරුධිර පීඩනය, හෘදයාබාධ ඇති අයට අධික වෙහෙස අහිතකරය. එවිට රෝගය උත්සන්වී මරණය පවා සිදුවේ. එසේම වර්තමානයේ හඳුනාගෙන ඇති නිහඬ මාරයා හෙවත් අධිරුධිර පීඩනයේ භායානක රෝග තත්ත්වය වනුයේ රාත්‍රි කාලයේ දී ඇතිවීමය. බොහෝවිට නිවසේදී ද අධිරුධිර පීඩනයට ගොදුරුව මියයයි. මෙලෙස මියගිය අයට අතීතයේ දී පැවසුවේ යකා ගහලා මියගොස් ඇති බවය.

එනිසා වර්තමානයේ දී අප මෙම සිරිත් විරිත් අපහායසයට ලක්නොකර එහි ඇති වටිනාකම හඳුනාගෙන නව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ද සමග භාවිත කළ හොත් වෛරස, බැක්ටීරියා තත්ත්ව පැතිරීම පාලනය කරගත හැකිය. වෛරස බැක්ටීරියා රෝගයක් වැළදුනවිට එය අන් අයට දැනුම් දෙන සංඥාවක් ලෙස කොහොඹ අත්තක් නිවසේ ප්‍රධාන දොරටුවේ එල්ලීම ලැජාවට කරුණක් නොවේ. එසේම එම රෝගියා දින කිහිපයක් සමාජයට නොගොස් ඇඳ විවේකයේ සිටීමෙන් රෝගය ඉක්මනින්ම සුවපත් කරගත හැකිය.

මෙවැනි රෝගවල දී හොඳින් ජලය පානය කළ යුතුය. එවිට රෝගය නිසා ඇතිවන උණ හමුවේ විජලනයට ලක්වීම වළක්වා ගත හැකිය.

සේර, රතුලූනූ, සුදුලූනූ, රම්පෙ, කරපිංචා, කුරුඳු යන ස්වභාවික රසකාරක මිශ්‍ර කර සකස් කරගත් තැම්බුම් හොද්දක් දිනකට තුන් වරක් උදේ දහවල් සහ සවස ප්‍රධාන ආහාර වේල් තුන සමග පානය කිරීම මගින් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරගත හැකිය.

දෙයියන්ගේ ලෙඩ හඳුනාගන්න

අගුලාන දුම්රියපොළ පාර ලියන්වෙල ඍෂි නාඩි මධ්‍යස්ථානයේ ඍෂි නාඩි වෛද්‍ය
මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

advertistmentadvertistment
advertistmentadvertistment