අදට මෙපමණයි…

933

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්‍ෂණය සඳහා විශේෂ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට 2018 දී තීරණය කළේය. මේ සඳහා වසර 2020 දී රුපියල් කෝටි 8 ක වියදමින් රොබෝ යන්ත්‍ර තොගයක් සහ උපකරණ මිලදී ගන්නා ලදී. මේ මධ්‍යස්ථානය අදටත් ක්‍රියාත්මක වී නැත. ඒ නිසා එම යන්ත්‍ර දිරාපත්වෙමින් පවතී. එමතුද නොව මේ යන්ත්‍රවල අඩංගු වැදගත් මෘදුකාංග සඳහා මුරපද යොදා ඇති නමුත් ඒවා මොනවා දැයි කිසිකෙනෙක් දන්නේ නැත. එබැවින් මේ රොබෝ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා තවත් කෝටි ගණනක් වියදම් කළ යුතුව තිබේ. එම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට විධායක නිලධාරියකු බඳවාගෙන තිබේ. ඔහුගේ මාසික පඩිය රුපියල් හත්ලක්‍ෂ විසිපන්දහසකි. පසුගිය දෑවුරුද්දට ඔහුගේ වේතනය වශයෙන් රුපියල් දෙකෝටියකට වඩා ගෙවා ඇත.

ඉහත සඳහන් තොරතුරු අනාවරණය වන්නේ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කරන ලද ප්‍රකාශයකිනි. ලංකාව යනු දිරාපත් වූ රටකි. අපේ වැඩ, අපේ චින්තනය, අපේ නිර්මාණශීලීත්වය යන සියල්ලම දිරාපත් වෙලාය. කොළඹ කොටුවේ දුම්රිය අංගනය දෙමටගොඩ ස්ටේෂම දක්වාම තිබේ. එහි තිබෙන දුම්රිය පෙට්ටි සහ දුම්රිය එන්ජින්වලින් වැඩි හරියක් දිරාපත්වෙලා ය. ඒවායේ ඇති යකඩවලින් වැඩි හරියක් ගලවාගෙන ගොස් විකුණා දමා තිබේ. දුම්රිය පෙට්ටිවල ඇති බල්බ් සහ ෆෑන් කුඩුකාරයන්ගේ ගොදුරු බවට පත්ව ඇත. මේ ෆෑන්වල ඇති මෝටරයේ තිබෙන තඹ කම්බි ලොකු මිලකට විකිණිය හැකිය. යකඩ කිලෝව අද රුපියල් 200 ඉක්මවන අවස්ථා තිබේ. මෙහිදී රේල් පීලිවලට ආරක්‍ෂාවක් ලැබී ඇත. රේල් පීලි සාදා ඇත්තේ කාබන් බහුල වානේ වලිනි. ඒවා මේ රටේ උණු කිරීමට නොහැක. අනෙක කාබන් බහුල වානේවලින් ඒවාට ආවේණික දේවල් මිස වෙනත් යකඩ බඩු නිර්මාණය කළ නොහැක. ඒ නිසා මේ කියන HIGH CARBON රේල් පීලි දේව කරුණාවට යටත් වී දුම්රිය යාර්ඩ්වල සුරැකිව පවතී. හැබැයි සිල්පර කොටන්වලට එම චාන්ස් එක නැත. සිල්බර කොටන්වලින් විවිධ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කර විශාල ගණන්වලට අලෙවි කරනු ලැබේ. ඒ නිසා දුම්රිය යාර්ඩ්වලට රිංගන කුඩ්ඩෝ එහි කාර්ය මණ්ඩලයේ අයට කීයක් හෝ දී සිල්පර කොටන් කර තබාගෙන යති. සාමාන්‍යයෙන් සිල්පර කොටයක් එසවීමට හතරදෙනකුවත් අවශ්‍ය ය. බට ගසක් තරම් සිහින් වූ කුඩ්ඩා සිල්පර කොටය කර මත තබාගෙන දුන්නක් සේ නැවී ගෙන යෑම ආශ්චර්යයකි. ලංකාවේ ලංගම ඩිපෝ වැඩි හරියක බස් දිරායමින් පවතී. සමහර රාජ්‍ය ආයතනවල වටිනා මෝටර් රථ සහ දැවැන්ත කැණීම් යන්ත්‍ර දිරාපත්වෙමින් පවතී. මේ ගැන ඇසුවොත් කියන්නේ ඒවා කැඩී ඇති බැවින් අලුත් පාට්ස් නැතිව වැඩ කිරීමට නොහැකි බව ය. අලුත් පාට්ස් ගෙන්වීමට මුදල් නැත. එබඳු වේලාවල කළ යුතු හොඳම දෙය අලුත් පාට්ස් ගෙන්වා යන්ත්‍රය හදාගෙන පාවිච්චි කළ හැකි අයෙකුට එම යන්ත්‍රය විකිණීමය. එහෙත් මේ රටේ පවත්නා විවිධ හිතුවක්කාර නීති රීති නිසා රජයේ බඩු එසේ විකිණීමට නොහැක. අවසන් ඵලයේදී අවුරුදු තිහ හතළිහක ඇවෑමෙන් එම දැවැන්ත යන්ත්‍ර විශාල මළකඩ ගොඩවල් බවට පත්වෙයි. අවසන් විග්‍රහයේදී සිදුවන්නේ එම යන්ත්‍ර හා වාහන නවත්වා ඇති තැන්වල මළකඩ ගොඩවල් පිරිසිදු කිරීම සඳහා ටෙන්ඩර් එකක් කැඳවා ටෙන්ඩර්කරුත් ආයතනයේ නිලධාරියාත් ලාභය බෙදා ගැනීමය.

ලංකාව හරිම මෝඩ රටකි. එයින් හැඟෙන්නේ භූමියේ ඇති මෝඩකමක් නොව භූමියේ සිටින ජනයාගේ මෝඩකමය. මේ මෝඩකම දෙකට බෙදිය හැකිය. එවිට කපටිකම එක කොටසක් බවට පත්වෙයි. මේ රටේ හැම අමාත්‍යාංශයකම පරණ යකඩ ගොඩවල් තිබේ. ඒ පරණ යකඩ ගොඩවල් විකුණා මුදල් කළහොත් ඩොලර් බිලියන කිහිපයක් ලබා ගත හැකිය. ලංකාව වටා ඇති සාගරයේ ගිළුණු නැව් විශාල ප්‍රමාණයක් ඇත. නැව අපේ සාගර කලාපයේ ගිළුණු පසු නැව් හිමියාට විදේශීය රක්‍ෂණ සමාගමකින් අලාභය ලැබෙන අතර ගිළුණු නැව අපේ රටේ දේපළක් බවට පත්වෙයි. මේ නැව් ගොඩ ගෙන පරණ යකඩවලට වික්කොත් ඩොලර් බිලියනයකට වඩා සොයා ගත හැකිය. මේ නැව්වලින් සමහරක එන්ජින් කාමරයේ ඇති ජෙනරේටරය පමණක් ඩොලර් ලක්‍ෂ පහකට වඩා වටී. මේ ජෙනරේටරය ගලවාගෙන ගොඩට ගෙනවුත් අලුත්වැඩියා කර ක්‍රියාත්මක කිරීමෙන් සම්පූර්ණ නගරයකට විදුලිය සැපයිය හැකිය. එහෙත් මේ රටේ තිබෙන නීතිරීති නිසා නැව හොරෙන් කපාගෙන ගොඩට ගෙනෙනවා මිස නීත්‍යනුකූලව කපාගැනීමට නොහැක. නැවක් කපන විට ඒ සඳහා ධීවර අමාත්‍යාංශයෙන් අවසර ගත යුතුය. වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් ඊළඟට අවසර ගත යුතුය. නාවික හමුදාවෙන් ඊළඟ අවසරය ගත යුතුය. ගිළුණු නැව තිබෙන්නේ කොළඹ වරායට කිට්ටුවෙන් නම් වරායෙන් ද අවසර ගත යුතුය. ඊට අමතරව පළාතේ මන්ත්‍රීගෙන් ද, ප්‍රාදේශීය සභා සභාපතිගෙන් ද, වෙනත් දේශපාලන මගෝඩියන්ගෙන් ද අවසර ගත යුතුය. මෙසේ අවසර දෙන හැම කෙනෙක් ම ඒ සඳහා ජරාවක් බලාපොරොත්තු වෙයි. අන්තිමේදී නැව කැපීමට එන එකා නැව කැපීමට යන වියදම සහ ජරාව දීමට යන වියදම ගණන් බලා මේ නැව කැපුවහොත් ඒ සඳහා වැය කිරීමට මුදල් සෙවීම පිණිස තමන්ගේ ගේදොර ද විකිණීමට සිදුවන බව දැනගෙන නැව කැපිල්ල අත්හරී. මේ රටේ තිබෙන පරණ යකඩ ගොඩවල් විකිණිය යුතු බවට අය වැය යෝජනාවක් ද තිබේ. එහෙත් ඒ යෝජනාව අදටත් ක්‍රියාත්මක වී නැත. මේ රටේ දැනට තිබෙන මුදල් ප්‍රශ්නවලින් සෑහෙන කොටසක් ගොඩදමා ගැනීමට එකම එක ගැසට් නිවේදනයක් ප්‍රමාණවත් බව අපි ජනාධිපතිතුමාට අවධාරණය කරමු. අදට මෙපමණයි.

advertistmentadvertistment
advertistmentadvertistment