සොබාදම් වියමනේ අපි

22

කෘතගුණ දැක්වීම සෑම සමාජයකම, ආගමික විශ්වාසයකම වැදගත් තැනක් හිමිකර ගන්නවා. ඒක භූ අවකාශීය වශයෙන් නොවෙනස් පොදු මානව ධර්මතාවයක්. අපි දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට සහ උදව් උපකාර කළ අයට කෘතගුණ දක්වනවා. ඒ විතරක් නෙමෙයි අපි කාලාන්තරයක් තිස්සේ අපේ ජීවිතය පවත්වාගෙන යන්න උපකාරී වන සොබා දහමටත් කෘතවේදී වෙනවා. බුදුන් වහන්සේ තමාට බුදු වෙන්න සෙවන දුන් ගසට පවා අනිමිසලෝචණයෙන් කෘතගුණ දැක්වූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. මේ යහගුණ, හර පද්ධති විවිධ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සු ඔවුන්ගේ සංස්කෘතික වපසරියට ඇතුළත් කරගෙන තිබෙනවා. විශ්වාස, අභිචාර, කලාව, උත්සව, ජනශ්‍රැති, භාෂාව, දැනුම් පද්ධති ඒ සංස්කෘතිය මූර්තිමත් කරන කැටපතක් වගේ. ශ්‍රී ලංකාවේ සිංහල-දෙමළ අපි හැමෝම සමරන මේ අලුත් අවුරුද්ද කියන්නෙත් සොබාදහමට අපේ කෘතවේදීත්වය පෙන්වන සංස්කෘතික උත්සවයක්.

“සූර්ය මංගල්‍යය” මේ උත්සවයට කියන තවත් නමක්. ඇයි අපි එහෙම කියන්නේ? අපේ මුතුන් මිත්තන් දැනන් සිටියා සූර්යයා තමයි අපට ශක්තිය දෙන මූලාශ්‍රය කියලා. ගහ-කොළ හැදෙන්න වැඩෙන්න ආලෝකය, උෂ්ණත්වය වසර පුරා ලැබෙන්නේ හිරුගෙන්. හිරුගේ මේ දායකත්වය දන්න ගොවියෝ තමන්ගේ අස්වනු නෙලා ගත්තට පස්සේ ඒවා භුක්ති විඳීන්න කලින් සූර්යයාගේ දායකත්වයට තම කෘතවේදීත්වය පෙන්වන්න අමතක කළේ නැහැ. සූර්ය මංගල්‍යය කියන්නේ සූර්යයාට කෘතගුණ දක්වන උත්සවයක් විදිහට හඳුන්වන්නේ ඒ නිසා. ඇත්තටම එහිදී අදහස් වෙන්නේ සූර්යයා පමණක් නොවේ. සඳ, හිරු, තාරුකා, ග්‍රහලෝක එක්ක මුළු විශ්වයටම අපේ තිබෙන බැඳියාව මෙයින් ප්‍රකට වෙනවා.

අලුත් අවුරුද්දේ අපි වැඩ අල්ලන්නේ කොහොම ද? මහපොළවත් එක්ක, ගස්කොළන් එක්ක, ගින්දර එක්ක, එයින් සංකේතවත් කරන්නේ අපි ඒවා සමග ජීවිතය බෙදා හදාගන්නවා කියන එක. හින්දු දර්ශනයට අනුව කියවෙන්නේ මිනිසා විශ්වයට අයිති බව. මහපොළොව, ගංගා, කඳුවැටි, ගස් සහ වනාන්තර, ගින්න, සුළඟ පූජනීය වන්නේ ජීවිතයේ පැවැත්ම එහි ගැබ්ව ඇති නිසා බව ඔවුන් පිළිගන්නවා. අපි ගෙදර ළිඳ, වැව, ඇළ හෝ ජල මූලාශ්‍රය එක්ක තමයි මුලින්ම අලුත් අවුරුද්දේ ගනුදෙනු කරන්නේ. ජලය තමයි ජීවයේ උල්පත. ජලය නැතුව මිහිමත ජීවයක් නෑ කියලා මිනිස්සු දන්නවා. ජලයට විතරක් නෙමෙයි ගින්නටත් අපි කෘතවේදී වෙනවා. අපි සෑම අවුරුද්දකම නැකතට ලිප ගිනි මොලවා අපේ බලාපොරොත්තු, ජවය’ අලුත් කරගන්නවා. කෘතවේදී වීම අපේ ජීවන පුරුද්දක්.

සිංහල-දෙමළ අලුත් අවුරුද්ද ළඟ එන පණිවිඩය දැන් අපට කියන්නේ ජනමාධ්‍ය සහ ව්‍යාපාරිකයෝ වුණාට ඒ පණිවිඩය අපට මුලින්ම දනවන්නේ සොබාදහම. වැඩිවෙන පරිසර උෂ්ණත්වය, කොහාගේ නාදය සහ එරබදු මල්වල කළඑළි බැහීම අපිට අවුරුදු ළඟ එන බව කියන කසකාරයෝ වගේ. ඒ විතරක් නෙවෙයි, ගෙවල් මිදුල් වලට වවුලන්ගේ තෑගි විදිහට ලැබෙන කජු පුහුලන් අපට කියන්නෙත් දැන් අවුරුදු කාලය ඇවිත් කියලා. මේ සේරම දේවල් වලින් පේන දේ තමයි අපි සොබාදහම් වියමන එක්ක බැඳී ඉන්නවා කියන එක. මිනිසුන් වන අපි ලෝකය වෙනස් කර තිබෙන බවත්, තවදුරටත් එසේ කරමින් තිබෙන බවත්. නමුත් මිනිසාට සොබාදහම් වියමනෙන් කිසිදාක වියුක්ත වෙන්න බැහැ. එහෙම පැවැත්මකුත් මිනිසාට තියෙන්න විදිහක් නෑ. අපි සොබාදමේ කොටසක්. වෙනස් වීම හෝ වෙනස් කිරීම වරදක් නොවුණත්, මේ වියමන ඉරා දමන්න අපට අයිතියක් නැහැ. අපි එකිනෙකා මත යැපෙනවා. ඒ නිසා අනිකාගේ පැවැත්ම අපේ පැවැත්මටත් හේතු වෙනවා. ඒක ජෛව පරිසරයද’ අජෛව පරිසරයද කියා වෙනසක් නැහැ. එනිසයි අපි එකිනෙකාට ගරු කළ යුත්තේ. කෘතවේදී විය යුත්තේ. අනිකාගේ පැවැත්මටත් ඉඩ දිය යුත්තේ.

මේ වන විට දේශගුණික විපර්යාස අපේ ජීවිත වෙනස් කරමින් තිබෙනවා. අප කුඩා කල අත්දුටු කෘෂි අස්වනු නෙළීමේ කාල රටා නැත්නම් වගා කන්න වෙනස් වෙලා. ඉපනැළිවල අවුරුදු උත්සව තියන්න විදිහක් දැන් නෑ. කොහාගේ නාදය අවුරුද්ද පුරා ඇහෙන ඝෝෂාවක් වෙලා. දැන් ඒ නාදය පරිසරයේ විනාශකාරී වෙනස ගැන කරන අනතුරු ඇඟවීමක් වගේ. එරබදු මල් නම් නැති තරම්. මොකද එරබදු ගහකට තමන්ගේ ගෙවත්තක ඉඩ නොදෙන්න මිනිස්සු තීරණය කරපු නිසා. මී වද බැඳපු මී මැස්සෝ පලිබෝධනාශකවලට බියෙන් අපෙන් ඈතටම ගිහින්. වවුල් තෑගි පිළිගන්න දැන් දරුවෝ සූදානම් නැති නිසා වවුලොත් තරහ වෙලා. උන්ට කන්න දීපු, නවාතැන් දීපු රූස්ස ගස් ලී මෝල්වල දැති රෝද අභියස ගාල්වෙලා. හත්මාලුවට කොස් ඇටයක්, කජු මදයක්, වට්ටක්කා දල්ලක්, අට්ටික්කා ගෙඩියක්, කොටතිඹුලා ගෙඩියක් හොයාගන්නත් දැන් සුපර් මාර්කට් එකට දුවන්න වෙලා. හිස තෙල්
ගාන්න “නානු” හදන්න දළු, කොළ, මල් හොයන්න ගියාමයි අපි දන්නේ ඒ ගස්කොලන් පෙරළලා දාලා ගොඩක් කල් කියලා.

කොහොම වුණත් මේ සේරම දේවල් එක්ක අපට සිංහල-දෙමළ අලුත් අවුරුද්දක් උදාවෙලා. ඉතින් අලුත් අවුරුද්දේ මං ඔබට යෝජනා කරනවා, මේ අලුත් අවුරුද්ද කෘතවේදීත්වයේ අවුරුද්දක් කරගන්න මුලපුරමු කියලා. පරිභෝජනවාදයේ කරවටක් ගිලිලා, මාර්කටින් කැම්පේන් වල වල්මත් වෙලා සොබාදම් වියමනෙන් ඈත් වෙනවා වෙනුවට සොබාදහමට කෘතගුණ දක්වන්න කැපවෙමු කියලා.

අපි කොහොමද ඒක කරන්නේ? මේ මහ පොළොවේ පැළයක් රෝපණය කරන එක, අපි නිසාම අපවිත්‍රවෙලා තියෙන ජල පහරක් පවිත්‍ර කරන එක වගේ දෙයක් ඔබට මේ වෙනසට මුලපුරන්න හොඳ ආරම්භයක්. දරා ගන්න බැරි තරම් ඝෝෂා කිරීම අලුත් අවුරුද්දේ අනිවාර්ය අංගයක් කියලා හිතන එක වගේ දේවල් වලින් ඈත්වීමත් ඒ වගේම වෙනසක්. ඒ විතරක් නෙවෙයි, අපි මෙතෙක් කරගෙන ආපු පරිසරයට හානි කරන චර්යාවලින් ඈත් වෙන්නත් ඔබට පුළුවන්. පොලිතින්-ප්ලාස්ටික් ඇබ්බැහිය, මත්පැන්වලට ඇබ්බැහි වෙනවාට වඩා හානිකර බව තේරුම් ගන්න. කෘමිනාශක, වල් නාශක ඉසීම කෘෂිකර්මයේ අනිවාර්ය අංගයක් යැයි සිතන මනෝ ව්‍යාධියෙන් අත්මිදෙන්න. පුළුවන් තරම් සම්පත් උපයෝජනය හා නාස්තිය සංවර්ධනය හෝ දියුණුව යැයි සිතන මුලාවෙන් ගැලවෙන්නත් මේ අලුත් අවුරුද්දේ ඔබේ හිතට ගන්න පුළුවන්.

වඩා වැදගත් දේ තමයි, මොනවා නැතත්, කවුරු නැතත්, අපට ඉන්න පුළුවන්, අපි තමයි ලොක්කෝ අපිට ඉහළින් කවුරුවත් නෑ. කියන උඩඟු චින්තනය වෙනස් කරගන්න උත්සාහ කරන එක. මිනිසාගේ මේ උඩඟු චින්තනය තමයි මිහිතලයට මෙතරම් විනාශයක් කරන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ.

අපිට ඇත්තටම අනෙකෙකුට කෘතගුණ දක්වන්න පුළුවන් වෙන්නේ මේ උඩඟු චින්තනය වෙනස් කරගත්තොත් විතරයි. සිංහල-දෙමළ අලුත් අවුරුද්දේ සැබෑ අර්ථය වෙන්නේ සොබාදම් වියමනේ අපි හැමෝම එකයි කියන එක නැවත අපිට මතක් කරලා දෙන එක. ඉතිං, අපි සොබාදම් වියමන ශක්තිමත් කරමු. වර්ණවත් කරමු. සොබාදහමට කෘතවේදී වෙමු. අපේ පැවැත්ම තිබෙන්නේ එතැනයි. ඔබට සුබ නව වසරක් වේවා.’

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව
පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment