නැකතක් හදන්නේ එකම වෙලාවක ලිප මොලවා ආහාර අනුභව කරන්නයි

53

පාරම්පරික ගුප්ත ගුප්ත ශාස්ත්‍රඥ රොෂාන් චානක තිසේරා

මෙදාපාර අවුරුදු නැකත වැරදියි කියල රටට කියූ ප්‍රධානියා ඔබ. 2024 අලුත් අවුරුද්ද ලබන වෙලාවේ ඔබට මොකක්ද රටට කියන්න තියෙන්නේ.

ඇත්තටම, පත්තර, යූටියුබ් හරහා මෙහි සිටි ප්‍රධානියා මම තමයි. හැබැයි තව බොහෝ පිරිසක් අපේ කණ්ඩායමේ ඉන්නවා. මේ විකෘතිකයන්ගෙන් මෙය මුදා ගන්න ප්‍රධාන තැනක් ගත් රවිශංක, කැලුම්, නුමින්ද, බෙන්තර සම්පත්, ජනක, දුමින්ද, ඩයස්, සමිත, ඉන්දික, මලින්ද, චරිත්, දිනේෂ්, තලගල හාමුදුරුවො ආදී බොහෝ පිරිසක් ඉන්නවා.

  • ඔබ මේක හොඳ නෑ කියන්නේ මහ රෑ 12ට නිසා ද?

රෑ 12 කියන එක, එක හේතුවක් විතරයි. කොහොමත් නැකතක් වුණාම ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. එක රටකට එක නැකතක් හදන්නේ ජාතියක් හැටියට එකම වෙලාවක ළිප ගිනි මොළවල එකම වෙලාවක ආහාර අනුභව කරන්න, එකට වැඩ කරන්න. ඉතිං මේ වෙලාවට රට එකට වැඩ කරනවා තියා ගෙදර අම්මා, තාත්තා, ළමයිටවත් එකට මේක කරන්න පුළුවන් ද? මේක චාරිත්‍රයක් හැටියට ගත්තත් මහ රෑ 12ට කිරිබත් කන චාරිත්‍රයක් අපිට තිබිල නෑ. අපි මේ අපේ අවුරුද්ද පටන් ගන්න යන්නේ වැරදි ආදර්ශයකින් නෙමේ ද? ඇයි අපි දැන දැනම වරද්ද ගන්නේ.

  • මහ රෑ නැකතේ තියෙන සාස්ත්‍රීය වැරැද්ද මොකක්ද?

නාරද සංහිතාවේ පැහැදිලිව සඳහන් වෙනවා මේ වගේ රාත්‍රී කාලයේදී අවුරුදු උදාව සිද්ධ වෙනවා නම් පසුදින සූර්ය උදාවෙන් පසු නැකැත් කටයුතු කරන්න කියලා. මීට පෙරත් රාත්‍රී අවුරුදු උදාව සිදුවූ බොහෝ අවස්ථාවලදී, එය කර ඇත්තේ පසුදින සූර්ය උදාවෙන් පසුවයි. උදාහරණ ලෙස 1993. අනිත් කාරණාව නම් අවුරුදු නැකැත් සාදන විට චන්ද්‍රයාගේ බලය ගැන අනිවාර්යයෙන් අවධානය යොමු කරන්න ඕනේ. එයත් නාරද සංහිතාවේ සඳහන් වෙලා තියෙනවා. රාත්‍රී නැකැත් දෙකේම චන්ද්‍රයා දුර්වල කරලා තියෙන්නේ. අපි දීපු උදෑසන නැකැත්වල චන්ද්‍රයා බලවත් කරලා දුන්නේ.

  • කොහොම හරි අන්තිමට වුණේ ජ්‍යොතිෂ්‍යය මිනිස්සුන්ට එපා වුණ එක නේද? සෙනඟට දැන් විශ්වාසයක් නෑ නේද?

එහෙම කියලා මේ බොරුව හැමදාම අනුමත කරන්න බෑ. හැමදාම බොරුව, වැරැද්ද බලාගෙන හිටපු නිසයි රටට අද මෙහෙම වෙලා තියෙන්නේ. මේකෙ ඉන්න හොරු පන්නන්න ඕනේ. එතකොට වැඩේ පිරිසිදුව කරන් යන්න පුළුවන්. හොරු එළෙව්වට පස්සෙ, මේක ගැන ජනතාවට තියෙන විස්වාසය තවත් වැඩිවෙනවා. හැබැයි බයේ කෑගහන්නේ, හොරු වැඩ නැතිවෙයි කියලා.

  • ඔබට තර්ජන තියෙනවාද?

ඔව්, මා යන්ත්‍ර මන්ත්‍ර ශාන්තිකර්ම කරනවා කියලා පෙනී සිටින හොරු හා එකී සිද්ධිය නිසා ජ්‍යොතිෂයේ යෙදෙන හොරුන් විරුද්ධයි. මම ජීවත් වෙලා හිටියොත් ඒ හොරුන්ට තර්ජනයක්.

  • ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

අපි සියලුම දෙනා රජයෙන් ඉල්ලන්නේ මේ අනීතික හොර නැකැත් කමිටුව විසුරුවා, සාධාරණ ශාස්ත්‍රීය විද්වත් කමිටුවක් පත් කරන ලෙසයි. එය ඉක්මනින් කළ යුතුයි. මොකද, ජුනි මස අන්තිම වෙනකොට 2025 අවුරුද්ද නැකැත් හදන්න ඕනේ මේ කමිටුව හිටියොත් ලබන අවුරුද්දටත් මේක තමයි වෙන්නේ.

  • අන්තිමට රටේ ජනතාවට මොකද්ද කියන්න තියෙන්නේ?

මම බොහොම වගකීමෙන් කියනවා රටේ ජනතාවට, ජාතික නැකැත් කමිටුව සැදූ උදෑසන නැකැත් භාවිත කරන්න. ළිප ගිනි දැල්වීම 2024.04.14 දින උදෑසන 6.17ට දකුණු දිශාව බලා, ආහාර අනුභවය හා වැඩ අල්ලා ගනුදෙනු කිරීම 2024.04.14 දින උදෑසන 7.07ට දකුණු දිශාව බලා සිදු කරන්න.

advertistmentadvertistment
advertistmentadvertistment