සැකයේ බෝම්බය පුපුරන්න ඔන්න මෙන්න තිබියදී පොලිස් භටයාගෙන් වික්‍රමයක්

1042

අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ගම්පොළ රෝහල ඉදිරිපිට මාර්ගයේ නවතා තියුණු ආයුධයක් අතැතිව (කෙටේරියක්) එයින් බැසගත් පුද්ගලයෙක් පිටුපසින් පැමිණි ත්‍රිරෝද රථයක සිටි පිරිසකට පහර දෙන්න උත්සාහ ගත් අවස්ථාවේ ක්ෂණිකව එම ස්ථානයට පැමිණි ගම්පොළ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් (39885) කුලරත්න මහතා එම කෙටේරිය උදුරා ඔහු අත්අඩංගුවට ගැනීමෙන් සිදුවීමට ගිය මහා විනාශයක් වැළකී තිබේ.

කෙටේරිය අතැතිව සිටි පුද්ගලයා ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ අයෙකු බව පොලිසිය සඳහන් කරයි. මොහු යම් සිද්ධියකට සැකයෙන් ජීවත්ව සිට ඇති අතර එම නිසාම ගමන් බිමන් යෑමේදී අවධානයෙන් පසු වී ඇත. ඇත්ගාල ප්‍රදේශයේ සිට ගම්පොළ නගරය වෙත මෝටර් රථයෙන් එමින් සිටි මොහු දැක ඇත්තේ පිටුපසින් පැමිණෙන ත්‍රිරෝද රථයකි. මොහු සිතා ඇත්තේ එම ත්‍රිරෝද රථයේ අය තමාව ලුහුබඳිනවා කියාය. ගම්පොල රෝහල අසලට පැමිණි මෙම පුද්ගලයා එක්වරම මෝටර් රථය මාර්ගයේ මැද නවතා සඟවාගෙන සිටි කෙටේරියද රැගෙන එයින් බැස තිබේ. මෙය දුටු ඒ අසල සිටි අයෙකු ඊට පහළින් රථවාහන රාජකාරියේ නිරතව සිටි කුලරත්න පොලිස් නිලධාරියාට ඒ බව දන්වා තිබේ. ඔහු යතුරුපැදියෙන් ක්ෂණිකව එම ස්ථානයට පැමිණෙන විටත් මෙම පුද්ගලයා කෙටේරිය රැගෙන ත්‍රිරෝද රථය වෙත ගමන් කරමින් සිට ඇත. පොලිස් නිලධාරියා වහාම එම ආයුධය උදුරාගෙන ඔහු මෙල්ල කර තිබේ. මේ කිසිත් නොදත් ත්‍රිරෝද රථයේ පිරිස් හා අවට අය බිය වී ඒ දෙස බලා සිටියදී ඔහු පවසා ඇත්තේ ඔවුන් මාව මරන්න ආවා කියාය. පසුව සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ ත්‍රිරෝද රථයේ අය වාහන අමතර කොටසක් සොයා ගම්පොළට පැමිණ ඇති බවයි. සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන අතර මෙම පුද්ගලයා හා ආයුධය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment