සැමියාගේ අනියම් හිතවතියගේ නිරුවත් ඡායාරූප ඇයටම වට්ස්ඇප් කළ කාන්තාවට ඇප

347

යුද හමුදා නිලධාරියකු වන සිය සැමියා සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය තරුණ කාන්තාවගේ නිරුවත් ඡායාරූප එම කාන්තාව වෙත ආපසු වට්ස්ඇප් මාර්ගයෙන් යවා අනියම් සබඳතාව නතර නොකළොත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා යැයි තර්ජනය කළ බව කියන තිස් එක් හැවිරිදි කාන්තාවක රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19 වැනිදා) පස්වරුවේ නියෝග කළේය.

සැමියාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සොයාගත් එම නිරුවත් ඡායාරූපය සැකකාරිය යවා ඇත්තේ අදාළ කාන්තාවටම බවත් අන්තර්ජාලයට මුදා හැරීමක් සිදු කර නොමැති බවත් අධිකරණයට පැවසූ නීතිඥ සුදර්ශන වික්‍රමරත්න මහතා සැමියා අනියම් සබඳතාවගෙන් බේරා ගැනීමට සැකකාරිය කර ඇත්තේ සොඳුරු තර්ජනයක් පමණක් යැයි අධිකරණයට පැවසීය. ඇය කළ කටයුත්තෙන් කිසිවකුට අගතියක් සිදුවී වී නැති බවට නීතිඥයා කළ කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකාරියට ඇප ලබා දුන්නේය. නඩුව ලබන 16 වැනිදා දක්වා කල් තැබිණි. නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා සමග සුදර්ශන වික්‍රමරත්න මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment