ඊශ්‍රායලය ගාසා මාර්ගයක් යුද පිටියක් කරයි

934

හමාස් සංවිධානයේ කඳවුරු ඉලක්ක කරගනිමින් ගාසා නගරය වෙත පැමිණෙමින් සිටින ඊශ්‍රායල යුද ටැංකි හා පාබල හමුදාවන් ගාසා නගරයේ උතුරු ප්‍රදේශයේ සිට නැගෙනහිර දක්වා විහිදෙන මහා මාර්ගය යුදබිමක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ. ඊශ්‍රායල යුද ටැංකි හා පාබල හමුදා භටයන් ගාසා නගරයට නැගෙනහිර දෙසින් නගරය වෙත ඊයේ (05දා) වන විට ඇදී එමින් තිබිණි. ගාසා තීරයේ හමාස් සංවිධානයේ පාලනය බිඳලන තෙක් සිය සටන අත් නොහරින බව පවසන ඊශ්‍රායලය දකුණු ගාසා තීරයේ යුනිස් කාන් නගරයේ සිටින හමාස් හා වෙනත් සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව දිගටම පහර දෙන බව ප්‍රකාශ කර තිබේ.

ඊයේ (05දා) දිනයේ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ගුවන් හා ෂෙල් වෙඩි ප්‍රහාරයන් හේතුවෙන් දකුණු ගාසා තීරයේ යුනිස් කාන් නගරය ආසන්නයේ විශාල පිපිරීම් ශබ්ද ඇසුණු බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඊයේ වන විට පවතින සටන් හේතුවෙන් ගාසා තීරයේ ජනගහනයෙන් පහෙන් එකකට පමණ සිටින ස්ථානවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී තිබිණි. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ පළ වන ‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ පුවත්පත විසින් වාර්තා කර ඇත්තේ ගාසා තීරය තුළ සිය සටන් සඳහා උමං මාර්ග භාවිත කරන හමාස් සහ වෙනත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් එම උමං මාර්ගවලින් ඉවතට ගැනීම සඳහා විශාල ජල පොම්ප යොදාගෙන උමං තුළ ජල ගැලීම් ඇති කිරීමට ඊශ්‍රායල හමුදා විසින් සැලසුම් කර ඇති බවයි. මේ අතර ඉකුත් දින දෙකේදී දිනකට මානුෂීය ආධාර රැගත් ලොරි රථ 100ක් බැගින් ඊජිප්තුවේ රෆා මංසන්ධියේ සිට ගාසා තීරය වෙත පැමිණ ඇතත් පවතින යුද්ධය හේතුවෙන් එම ආධාර අවශ්‍ය පිරිස් අතර බෙදා හැරීමේ කටයුතුවලට බාධා පැමිණ තිබේ. මේ අතර ගාසා තීරයේ සිටින සියලු වැසියන්ගේ ජංගම දුරකථන හා අන්තර්ජාල සබඳතා ඊයේ දිනයේ නැවත කපා දමා ඇති බව වාර්තා විය.

advertistmentadvertistment
advertistmentadvertistment