ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් සටන අද සිලෙට්හිදී අරඹයි

133

ධනංජය තරගාවලිය ගැන ධනාත්මකව සිතයි

ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට අදාළව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද (22දා) පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 9.30ට සිලෙට්හි දී ආරම්භ වීමට නියමිත එම තරගය ධනංජය ද සිල්වා ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු ලෝක ශූරතා ටෙස්ට් තරගය වේ.

මෙවර ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගි වූ තරග දෙක පකිස්ථානය හමුවේ පරාජයට පත් වූ අතර ඒ අනුව මෙම තරගාවලියෙන් ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත් මෙවර ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය අවසන් වරට මුහුණදුන් ටෙස්ට් තරගාවලියේදී ප්‍රබල නවසීලන්තය හමුවේ තරග 1-1 ක් ලෙසින් සම තත්ත්වයෙන් තරගාවලිය නිමා කර ගැනීමට සමත් වූයේය.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව මෙතෙක් එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් පරාජයට පත්ව සිටින අතර පන්දු වාර 20-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළේය.

මේ අතර තමන් ඇතුළු කණ්ඩායමේ ඉලක්කය ටෙස්ට් තරගාවලිය ජය ගැනීම බව ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා කියා සිටියේය. එහිදී තවදුරටත් මෙසේ ද අදහස් දැක්වූ ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා “අපගේ ඉලක්කය ටෙස්ට් තරගාවලිය ජය ගැනීමයි. මෙහි පවත්නා තත්ත්වයන් කෙසේ වුවත්, සියලු දේ රඳා පවතින්නේ අපි ක්‍රීඩා කරන ආකාරය මතයි. මීට පෙර ඇෆ්ගනිස්තානය සමඟින් ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියත් අපි ජයගත්තා. ඒ අනුව බංග්ලාදේශයටත් ප්‍රභල අභියෝගයක් එල්ල කරමින් තරගාවලිය ජයගත හැකි වෙතැයි අපි අපේක්ෂා කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ඕනෑම ආකෘතියක අත්දැකීම් ඉතාමත් වටිනා සාධකයක්. ඒ අනුව අපේ කණ්ඩායම සතුව විශාල අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.”

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වන විට ටෙස්ට් තරග 24 ක් පවත්වා ඇති අතර ඉන් තරග 18 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූයේය. බංග්ලාදේශය ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි. තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වී ඇත.

අවසන් වරට 2022 වසරේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරගාවලියෙන් ද තරග 1-0ක ජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ලහිරු උදාර, වනිඳු හසරංග, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, නිෂාන් පීරිස්, කසුන් රාජිත, විෂ්ව ප්‍රනාන්දු, ලහිරු කුමාර, චාමික ගුණසේකර.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment