විවේචනය කිරීමේ අයිතිය කතෝලික ලේඛකයන්ටද ඇතත් අන් අයට අගෞරවයක් නොවන ලෙස කටයුතු කළ යුතුයි – ජාතික කතෝලික ලේඛක සංවිධානයේ අනුශාසක ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා

41

යම් වගකිවයුත්තෙකුගේ අඩුපාඩුවක් දකින්නේ නම් විවේචනය කිරීමේ අයිතිය අන් සෑම ලේඛකයකුට මෙන්ම කතෝලික ලේඛකයන්ටද ඇතත් කතෝලික ලේඛකයා එකී විවේචන අන් අයට අගෞරවයක් වන ආකාරයෙන් ද්වේෂ සහගතව නොකර ඔවුන් නිවැරදි මගට යොමු කිරීමේ අරමුණින් පමණක් සිදුකළ යුත්තේ යැයි ජාතික කතෝලික ලේඛක සංවිධානයේ අනුශාසක ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා පැවසීය.

ගැඹුරු සොයාබැලීමකින් තොරව යමෙකු හෝ යම් කණ්ඩායමක් සිය පෞද්ගලික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමේ පටු අරමුණින් නැතහොත් අනෙකාට කෙලස හෝ රිදවීමේ අරමුණින් කතෝලිකයන් යැයි කියාගන්නා සමහර ලේඛකයන් එල්ල කරන දරුණු හා ද්වේෂ සහගත විවේචන නිසා විවේචනයට ලක්වන පුද්ගලයාට සිදුවන පීඩාව විශාල බවත්, විටෙක කතෝලික සභාවටද එවැනි නිර්ධන විවේචන නිසා අගතියක් සිදුවන බවත් අනුශාසක පියතුමා පැවසීය.

ජාතික කතෝලික ලේඛක සංවිධානයේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස්කර සැබෑ කිතුනුකම අමතක කර පුවත් පළකරන පුද්ගලයන් පිළිබඳව තමා ඇතුළු නිලධාරි මඬුල්ල දැඩි අවධානයෙන් පසුවන බවත්, යමෙකුට යම් ගැටලුවක් ඇතිනම් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට පෙර සුහදව සාකච්ඡා කිරීම වඩා සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ යැයිද උන්වහන්සේ පැවසීය. ජාතික කතෝලික සංවිධානයේ විධායක සහ කාරක සභා රැස්වීම පසුගිය 09 වැනිදා බොරැල්ල ජෝනෙත් ශ්‍රවනාගාරයේදී පැවැති අවස්ථාවේදී ජූඩ් ක්‍රිශාන්ත පියතුමා එලෙස පැවැසීය. දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවී ඇති එවැනි ක්‍රියා නිසා අනුශාසක පියතුමන්ට යම්කිසි සිත් රිදවීමක් සිදුවූයේ නම් තමන් ඇතුළු පිරිස අනුශාසක පියතුමන්ගෙන් සමාව අයැදින බවත්, මින් ඉදිරියට එවැනි වැරදි සිදුනොකර අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බවත්, ඒ සඳහා අනුශාසක පියතුමා ඇතුළු නිලධාරි මඬුල්ලේද නම්‍යශීලිත්වයද තමන් අපේක්‍ෂා කරනා බවත් විධායක කමිටු හා කාරක සභා සාමාජික පිරිසක් එහිදී පැවසූහ.

එම රැස්වීමට ජාතික කතෝලික ලේඛක සංවිධානයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ, ලේකම් විශේෂඥ වෛද්‍ය සචිත මෙන්ඩිස්, භාණ්ඩාගාරික අසංක ශ්‍රීමාල් යන මහත්වරුන් ඇතුළු නිලධාරි මණ්ඩලයද එක්වූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment