මහ බැංකුව ස්වාධීන වුණත් පාර්ලිමේන්තුවේ අනුමැතිය නැතිව සතයක්වත් පඩි වැඩි කරගන්න බැහැ – ඇමැති විජයදාස කියයි

75

ශ්‍රී ලංකා මහ බැංකුවට ස්වාධීනත්වයක් තිබුණත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ බලයක් නැතිව ඔවුන්ට සතයකින්වත් පඩි වැඩි කරගන්න අනුමැතියක් නැතැයි අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය.

මහ බැංකුව හිතුමතේ පඩි වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද දැඩි කතාබහක් ඇතිවුවත් එම තීන්දුව සම්බන්ධයෙන් මෙතෙක් කිසිම සාධනීය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වූ අතර ඊට පිළිතුරු දෙමින් අධිකරණ ඇමැතිවරයා එසේ පැවසීය.

එහිදී ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

එක් දහස් නවසිය පණස් ගණන්වල ජෝන් එක්ස්ටන් මහතා විසින් හදන ලද පනතක් අනුව තමයි මහ බැංකුව ක්‍රියාත්මක වුණේ. ඒක නරක පනතක් නොවෙයි. නමුත් පසුගිය කාලයේ සෑම ආණ්ඩුවක් යටතේම මහ බැංකුව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය නිසා තමයි ආර්ථිකය කඩා වැටුණේ. මේ රටේ ආර්ථිකයේ කඩා වැටීමට සියයට 75ක්ම වගකියන්න ඕනේ මහ බැංකුව. ඒත් ඒකටත් ඔවුන්ට නිදහසට කරුණු තිබුණා. ඒ තමයි දේශපාලන මැදිහත්වීම් තිබුණා කියන කාරණය. ඒ නිසා තමයි ගිය අවුරුද්දේ මහ බැංකුවට අලුත්ම පනතක් මගින් කිසිම බලඅධිකාරියකට මැදිහත් වෙන්න බැරි ස්වාධීනත්වයක් අපි ලබා දුන්නේ. එමගින් අපි බලාපොරොත්තු වුණේ මේ රටේ දේශපාලනඥයින්ට ඕනා විදිහට නොවෙයි රටේ අවශ්‍යතාව අනුව ආර්ථිකය හසුරවයි කියලා. නමුත් මහ බැංකුව අවාසනාවකට වගේ මුලින්ම කළේ තමන්ගේ පඩි වැඩි කර ගැනීමයි. ඒ කරගෙන දවසක් හෝ දෙකක් ඇතුළත දිවයින සහ අයිලන්ඩ් පුවත්පත්වල ඒ ගැන මම කියපුවා පළ වුණා ප්‍රධාන ශීර්ෂ විදිහට. මහ බැංකුව කළදේ වැරදියි. අපේ රටේ මූල්‍ය බලතල තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. නමුත් මහ බැංකුව කියනවා ඒ අය ස්වාධීන නිසා එහෙම තීන්දුවක් ගත්තා කියලා. එහෙම ස්වාධීනත්වයක් තිබුණත් ව්‍යවස්ථාවෙන් ඒගොල්ලන්ට බලයක් නෑ පාර්ලිමේන්තුවේ බලයක් නැතිව එක සතයක්වත් පඩි වැඩි කරගන්න.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment