විදුලි බිලට එරෙහි පෙත්සමට විරෝධතා ගොනු කිරීමට පියවර

71

පසුගිය වසරේ දෙවරක්ම විදුලි බිල ඉහළ දමා තිබියදීත් පසුගිය සැප්තැම්බර් මස විදුලි බිල සියයට 18 කින් නැවත ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් විදුලිබල හා බලශක්ති පුනර්ජනනීය සංගමය, එම සංගමයේ සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගකෝන්, එම සංගමයේ ලේකම්වරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක්

ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කිරීමට පියවර ගන්නා බව, වගඋත්තරකාර පාර්ශ්වය ඊයේ (19 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩලය හා එහි සභාපතිවරයා ඇතුළු පිරිසක් නම්කොට තිබිණි.

මෙලෙස විටින් විට අසාධාරණ අයුරින් විදුලි බිල ඉහළ දැමීම මගින් තමන් ඇතුළු රටවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් එපමණක් නොව දැඩි ආර්ථික පීඩනයකට රටේ ජනතාව ලක්වී ඇති මෙම වකවානුවේ එලෙස විදුලි බිල වරින් වර ඉහළ දැමීමෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්වන බවත් එම පෙත්සම මගින් පෙන්වාදී තිබිණි. එබැවින් එලෙස විදුලි බිල නැවත වරක් ඉහළ දැමීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරනා ලෙසට ද පෙත්සම්කාර පාර්ශ්වය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment